විනිසුරු පිලපිටියට එරෙහි නඩු විභාගය තහනම් කර රිට් ආඥාවක් | දිනමිණ

විනිසුරු පිලපිටියට එරෙහි නඩු විභාගය තහනම් කර රිට් ආඥාවක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමඟ ආන්දෝළනාත්මක දුරකථන සංවාද පැවැත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගය තහනම් කරන රිට් ආඥාවක් ඊයේ (25) නිකුත් කළ අභියාචනාධිකරණය එම නඩුව ඇසීමෙන් මහේස්ත්‍රාත්වරයා වළක්වන ප්‍රොහිබිෂන් ආඥාවක් ද නිකුත් කළේය.

එසේම එම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස විනිසුරු ගිහාන් කුලතුංග මහතා නම් කිරීමට නීතිපතිවරයා ගත් තීරණය බල රහිත කරන නියෝගයක්ද අභියාචනාධිකරණය ඊයේ (25) නිකුත් කළේය.

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමේ තීන්දුව දෙමින් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය නිකුත් කළේය.

රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක දුරකථන හඬපට සිද්ධියෙන් පසුව මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම සඳහා නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට මීට පෙර උපදෙස් දී තිබුණි. ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මහාධිකරණ විනිසුරුවරයාට එරෙහිව කරුණු වාර්තා කළ අතර එම කරුණු සලකා බැලූ නුගේගොඩ මහෙස්ත්‍රාත්වරයා විත්තිකාර ගිහාන් පිලපිටිය විනිසුරුවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කර තිබුණි.

නෙල්කා මැදගෙදර

නව අදහස දක්වන්න