දෙවැනි බැඳුම්කර වෙන්දේසිය: නීතිපති පරිගණක සාක්ෂි ලේඛන උසාවියට දෙයි | දිනමිණ

දෙවැනි බැඳුම්කර වෙන්දේසිය: නීතිපති පරිගණක සාක්ෂි ලේඛන උසාවියට දෙයි

වැඩිදුර විභාගය නොවැම්බර් 19

යහපාලන ආණ්ඩුව සමයේ කළ දෙවැනි මහ බැංකු බැඳුම්කර වෙන්දේසියට අදාළව හිටපු ඇමැති රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පැවරූ අධි චෝදනා නඩුවේ ‘පරිගණක සාක්ෂි ලේඛන‘ කොළඹ මහාධිකරණ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවට නීතිපතිවරයා ඊයේ (27) ඉදිරිපත් කළේය.

නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා මේ පරිගණක සාක්ෂි මහාධිකරණයට ඉදිරිපත් කළේය.

මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත, මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්ත, මහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉසර්ඩීන් මහත්වරුන් ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේ මේ ලේඛන අධිකරණයට ඉදිරිපත් කළ අතර, විත්තියේ නීතිඥවරුන්ටද අදාළ ලේඛන පිටපත් දුන්නේය.

පරිගණක සාක්ෂි පරීක්ෂා කිරීමට විත්තියට අවශ්‍ය නම් එම යන්ත්‍ර සූත්‍රවලට ප්‍රවේශය දෙන ලෙස විනිසුරු මඬුල්ල පැමිණිල්ලට දන්වා සිටියේය.

දැනට රටින් පලා ගොස් ඇතැයි කියන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ ගාර්ධි පුංචිහේවා යන විත්තිකරුවන් නැතිව නඩුව විභාග කරන අතර, රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් අට දෙනකු ඊයේ අධිකරණයේ පෙනී සිටියේය.

විත්තිකරුවන්ට ඉදිරිපත් කර ඇති අධි චෝදනා පොදු දේපොළ පනතට නොගැනෙන බවත්, ඒ සම්බන්ධයෙන් විත්තිපාර්ශ්වය මූලික විරෝධතාවක් මතු කරන බවත් විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.

විත්තිය යම් මූලික විරෝධතාවක් මතු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් කල්වේලා ඇතිව පැමිණිල්ලද දැනුම්වත් කරන ලෙස විනිසුරු මඬුල්ල විත්ති පාර්ශ්වයට දන්වා සිටියහ.

රජයට රුපියල් බිලියන තිස්හයකට අධික පාඩුවක් කිරීම, රජයේ මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධි චෝදනා යටතේ හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් දස දෙනකුට එරෙහිව මේ නඩුව පවරා ඇත.

2016 මාර්තු 29 දා කළ දෙවැනි මහ බැංකු බැඳුම්කර වෙන්දේසියෙන් රජයට රුපියල් බිලියන 36.98ක පාඩුවක් කරමින් රජයේ මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණය හා පොදු දේපොළ පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදවල් කිරීම යන චෝදනා 32ක් යටතේ නීතිපතිවරයා විසින් පර්පචුවල් සමාගම ඇතුළු විත්තිකරුවන් 11 දෙනකුට එරෙහිව මේ නඩුව පවරා ඇත.

නඩුවේ වැඩිදුර විභාගය නොවැම්බර් 19 දා පැවැත්වීමට නියමිතය.

 

රෝෂන් තුෂාර

නව අදහස දක්වන්න