හේමසිරිට සහ පූජිත්ට එරෙහි නඩුවක් අවසන් | දිනමිණ

හේමසිරිට සහ පූජිත්ට එරෙහි නඩුවක් අවසන්

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම යන චෝදනා සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්වරුන්ට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති නඩු කටයුතු ඊයේ (27) අවසන් කෙරුණි.

හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන සැකකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ නඩු පවරා ඇති බැවින් මේ නඩු කටයුතු අවසන් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කරන ලද ඉල්ලීම සලකා බලා එම නඩු කටයුතු අවසන් කිරීමේ නියෝගය කොළඹ වැඩ බලන මහේස්ත්‍රාත් නීතිඥ සංජය ගමගේ මහතා ඊයේ (27) නිකුත් කළේය.

පසුගිය 2019 අප්‍රේල් මස 21 දා පාස්කු ඉරු දින වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැර මිනී මැරීමක් සිදු කළා යැයි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ගොනු කර තිබිණි.

පසුව කරන ලද විමර්ශන අවසානයේ නීතිපතිවරයා විසින් සැකකරුවන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණි.

ඒ අනුව ලබන 22 දා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ එම නඩුව කැඳවීමට නියමිත අතර, එදින සාක්ෂි ලබා දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට සිතාසි නිකුත් කර තිබිණි.

සිරන්ජනි කුමාරි

නව අදහස දක්වන්න