පාඩු පිට පාඩු ලැබීම! | දිනමිණ

පාඩු පිට පාඩු ලැබීම!

සුරාසල් වසා තැබීම නිසා සුරා බදු දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි දෙදහස් හත්සියයක පාඩුවක් විදින්නට සිදු වී ඇති බව කියති. එම දෙපාර්තමේන්තුව වසරකට රුපියල් කෝටි දස දහසක් හෝ ඊට වැඩි මුදලක් හෝ රජයට උපයා දෙන නමුදු මේ වසර තුළ එම ඉලක්කය සපුරා ගත නොහැකි බව ද ප්‍රකාශ වී ඇත. රාජ්‍ය ආයතන සියල්ලක්ම ලාභ ලබන්නේ නැත. ඇතැම් ආයතනවල පාඩුව ඉතා බරපතළය. ඇතැම් ආයතන පවත්වාගෙන යෑමට සිදු වී ඇත්තේ මහා භාණ්ඩාගාරයේ මැදිහත් වීම මතය. තවත් ආයතනවලට සේවක වැටුප් ගෙවීමට තරම්වත් ආදායමක් නැත. එහෙත් රජය මැදිහත්ව එම ආයතන පවත්වාගෙන යනු ලැබේ. මේ වැය බර බොහෝ දෙනකුට පෙනෙන්නේ නැත.

කොවිඩ් තත්ත්වය මත ලංගමයට ආදායම් අහිමි විය. දුම්රිය දෙපාර්තමේන්තුවට ආදායම් අහිමි විය. විදුලිබල මණ්ඩලයේ ආදායම් අඩු විය. තෙල් සංස්ථාවේ පාඩුව තවත් ඉහළ යන්නට පටන්ගෙන තිබේ. ඒ අතර ලෝක වෙළෙඳ පොළ තුළ බොරතෙල් හා ගෑස් මිල ඉහළ යන්නට පටන්ගෙන තිබේ. ඉන්ධන සහන මිලකට ජනතාව වෙත ලබාදීම රජයේ ප්‍රතිපත්තිය වී ඇති බැවින් තවත් අමතර බරක් දැරීමට මහා භාණ්ඩාගාරයට සිදු වී ඇත. ලෝක බැංකුව පෙන්වා දෙන අන්දමට ධනවත්ම රටවල් පවා ආර්ථික අර්බුදයක් අබිමුව සිටී. දුප්පත් රටවලට අර්බුදයේ බලපෑම වැඩි බව අමුතුවෙන් කිව යුතු නැත. සමස්තය දෙස බලන විට පෙනී යන්නේ ඉතා පරෙස්සමෙන් කටයුතු කළ යුතු කාලයක් එළැඹී ඇති බවය.

ආර්ථිකය දෙස බලන විට පෙනී යන සත්‍යයක් වන්නේ පව-පින ආදිය ගැන ඕනෑවට වඩා කල්පනා කළහොත් ව්‍යාපාර පවත්වාගෙන යා නොහැකි බවකි. රටේ සුරාසල් වසා දැමුණේ ප්‍රධාන කරුණු දෙකක් මත යන්න අපගේ පිළිගැනීමය. එක කරුණක් වන්නේ විපක්ෂය හා තවත් දේශපාලන කණ්ඩාම් නඟන ලද චෝදනාය. දෙවැනි කරුණ වන්නේ මහජනයාගේ නොමනා හැසිරීම්ය. විපක්ෂයේ චෝදනා දෙකක් තිබිණි. එක; සුරාසල් නිසා කොවිඩ් ව්‍යාප්තිය ශීඝ්‍ර වන බවය. දෙක; රජය සුරාසල් හිමියන් පොහොසත් කරන බවය. සුරාසල්වල අයිතිකරුවන් ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන් යැයි අසත්‍ය චෝදනාවක්ද ඔව්හු ඉදිරිපත් කළහ. මෙයින් රජයට ලැබෙන ආදායම ගැන කිසිවකු කතා කළේ නැත. දැන් සුරාසල් විවෘත කර තිබුණ ද සිදු වූ පාඩුව මකාගත නොහැකිය.

රටේ සංචාරක ක්ෂේත්‍රයට සිදු වී ඇත්තේ ද මේ ඇබැද්දියමය. විදේශිකයකු දුටු සැනින් විපක්ෂය චෝදනා කරන්නේ අන්න කොවිඩ් නව ප්‍රභේදයක් ගෙනත් යනුවෙන්ය. සංචාරක ක්ෂේත්‍රය බලගන්වන ආයතන රටට සංචාරකයන් ගෙන්වා ගන්නේ නිසි සෞඛ්‍ය ක්‍රමවේද භාවිත කරමින්ය. සංචාරකයන්ගෙන් කොවිඩ් ව්‍යාප්තියට අවකාශ සැලසෙන්නේ නැත. සංචාරකයන්ට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ව්‍යාප්ත වීමට ද ඉඩක් නැත. සංචාරක ක්ෂේත්‍රය පවත්වාගෙන යනු ලබන්නේ එම සුරක්ෂිතතාව තහවුරු කරමින්ය. විපක්ෂයට, වෘත්තීය සමිතිවලට හා රාජ්‍ය නොවන සංවිධානවලට අවශ්‍ය ලෙස රාජ්‍ය පාලනය කළ යුතු නැත. එසේ කරන්නට නම් ආණ්ඩුවක් තිබිය යුතු ද නැත. විවේචන-අවලාද පසෙක තබා තම ඉලක්ක කරා හඹා යෑමේ ශක්තියක් ආණ්ඩුවට තිබිය යුතුය.

මේ අතර ගුරු-විදුහල්පති වර්ජනය නිසා ද, ගොවියන්ගේ විරෝධතා නිසා ද රටට බරපතළ පාඩුවක් සිදු වී ඇත. ගොවියෝ මේ කන්නයේ වගාව පමා කළහ. තවත් විටෙක වගාව විනාශ කළහ. ඒ පාඩුව ගණනය කළ හැකිය. එහෙත් ගුරුවරුන් 'ඔන්ලයින් ' අධ්‍යාපනය වර්ජනය කිරීමෙන් සිදු වූ පාඩුව ගණනය කළ නොහැකිය. එය අපේ අනාගතයට බලපාන ගැටලුවක් ලෙස පවතී. දින සියයකට වැඩි කාලයක් එම වර්ජනය පැවැතිණි. දැන් පාසල්වලින් කොටසක් විවෘත කර ඇතත්; ගුරු-විදුහල්පති විරෝධතාව නතර වී නැත. ගුරුවරුන්ගේ වැටුප් විසමතාව විසැඳීමට රජය යෝජනා කර ඇති වැඩපිළිවෙළ වෘත්තීය සමිති පිළිගත යුතුය. රටේ ආර්ථික තත්ත්වය දෙස බලන විට රජයේ විසැඳුම් යෝජනා යුක්ති සහගතය. එය ප්‍රතික්ෂේප කොට විරෝධතා දැක්වීම සුදුසු නැත.

බොහෝ දේවල් දේශපාලනීකරණයට ලක්වීම අවාසනාවන්ත තත්ත්වයකි. ගුරු-විදුහල්පති විරෝධතා යට දේශපාලන අරමුණු හා ඉලක්ක තිබේ. ගොවියන්ගේ පෙළපාලී හා විරෝධතා මෙහෙය වන්නෝ දේශපාලකයෝය. පොහොර නොදුන්නත් වැරැදිය. පොහොර ගෙන්වන්නේ කුමන රටින්දැ'යි විමසන අය ද සිටිති. චීනයට විරුද්ධ අය චීන පොහොරවලට විරුද්ධ වෙති. ඉන්දියාවට විරුද්ධ අය ඉන්දීය පොහොරවලට විරුද්ධ වෙති. පොහොර ගෙන්වන ක්‍රමවේදය ගැන සොයන අය ද සිටිති. එහි මිල ගණන් විමසන අය ද සිටිති. පවතින තත්ත්වයට අනුව රජයට කිසිවක්ම කළ නොහැකිය. කුමක් කළ ද එහි අඩුවක් දකින්නෝ සිටිති. විවේචනය කරන්නෝ සිටිති.

රට ඉදිරියෙහි ප්‍රධාන අභියෝග තුනක් ඇති බව පැහැදිලිය. පළමු අභියෝගය කොවිඩ් වසංගතය ජය ගැනීමය. එය බොහෝ දුරට සාර්ථක කර ගැනීමට ආණ්ඩුව සමත් වී ඇත. මේ වන විට කොවිඩ් සම්බන්ධයෙන් විපක්ෂයෙන් නැඟෙන චෝදනා ද නතර වී ඇත. දෙවැනි අභියෝගය ආර්ථිකය ජය ගැනීමය. එය පහසු නැත. අපේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ඕනෑම රටකින් සහයෝගය ලබා ගත යුතුය. චීනය ද, අමෙරිකාව ද, ඉන්දියාව ද යන්න ප්‍රශ්නයක් නොවේ. තෙවැනි අභියෝගය වැරැදි මතවාද පැතිරවීම හා බොරු විවේචන පරාජය කිරීමය. තවම අපේ රටේ ඇත්තේ පරණ තාලයේ දේශපාලන සංස්කෘතියකි. එය වෙනස් විය යුතු කාලය පැමිණ තිබේ. එබඳු වෙනසකින් තොරව රට ඉදිරියට තල්ලු කිරීම අමාරුය.

සුබ-සාධන රාජ්‍යයක් තුළ සෑම රාජ්‍ය ආයතනයක්ම ලාභ ලබන තැනකට ගෙන යෑම අපහසු විය හැකිය. එහෙත් හොඳින් ලාභ ඉපැයිය හැකි ආයතන ගණනාවක් රජය සතු වේ. එහි කළමනාකරණය හොඳින් පවත්වා ගතහොත් රාජ්‍ය ආදායම වැඩිකර ගත හැකිය.

නව අදහස දක්වන්න