එංගලන්තය පහසුවෙන් දිනයි | දිනමිණ

එංගලන්තය පහසුවෙන් දිනයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ බංග්ලදේශය සමඟ පැවැති පළමු කාණ්ඩයේ තරගයෙන් කඩුලු 8ක ජයක් හිමි කර ගැනීමට එංගලන්තය සමත් විය.

මේ වටයේදී එංගලන්තය හිමි කර ගත් දෙවැනි ජය මෙන්ම බංග්ලාදේශයට අත් වූ දෙවැනි පරාජය ද මෙයයි.

අබුඩාබියේදී ඊයේ පස්වරුවේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ පිල ලකුණු 124කට සීමා කළ එංගලන්ත ක්‍රීඩකයෝ ඕවර 14.1කදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 2ක් පමණක් අහිමි කර ගනිමිනි.

එංගලන්ත ඉනිමට සාර්ථක ආරම්භයක් දුන් ජේසන් රෝයි පන්දු 38කින් ලකුණු 61ක් රැස් කළේ හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟිනි. ආරම්භක පිතිකිරු ජොෂ් බට්ලර් ලකුණු 18කට දැවී යෑමෙන් පසු රෝයිට එක් වූ ඩේවිඩ් මාලන් දෙවැනි කඩුල්ලට ලකුණු 73ක සබඳතාවක් ද ගොඩනඟමිනි. රෝයි දැවී යෑමෙන් එම සබඳතාව නිමා වූ අතර, මාලන් නොදැවී ලකුණු 28ක් ඉනිමට එක් කළේය.

පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ ඉනිමේ මුල් කඩුලු 3 ලකුණු 26ක් තුළ බිඳ දැමීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වූහ. ලිටොන් දාස් (9), මෙහොමඩ් නයීම් (5) සහ ජ්‍යෙෂ්ඨ පිතිකරු ශකීබ් අල් හසන් (4) අඩු ලකුණු ගණනකට දැවී යද්දී පන්දු 30කින් ලකුණු 29ක් රැස් කළ මුෂ්ෆිකූර් රහීම් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය.

රහීම් දැවී යෑමෙන් පසු එංගලන්ත පන්දු යවන්නන් හමුවේ ඉනිම ගොඩනැඟීමට සෙසු පිතිකරුවන්ට නොහැකි වූ අතර, නසුම් අහමඩ් පමණක් පන්දු 9කින් ලකුණු 19ක් ඉනිමට එක් කළේය.

පන්දු යැවීමේදී ටයිමල් මිල්ස් කඩුලු 3ක් බිඳ දැමූ අතර, ලියම් ලිවිංග්ස්ටන් සහ මොයින් අලි කඩුල 2 බැගින් දවා ගත්තේය.

බංග්ලාදේශය - 124/9 (ඕවර 20) මුෂ්ෆිකූර් රහීම් 29 (ටයිමල් මිල්ස් 27/3, ලියම් ලිවිංග්ස්ටන් 15/2, මොයින් අලි 18/2)

එංගලන්තය -126/2 (ඕවර 14.1) ජේසන් රෝයි 61.

නව අදහස දක්වන්න