හොර ලිපි ලේඛන හදමින් කුඹුරු ගොඩ කරන මහ පරිමාණ ජාවාරමක් | දිනමිණ

හොර ලිපි ලේඛන හදමින් කුඹුරු ගොඩ කරන මහ පරිමාණ ජාවාරමක්

කණ්ඩලම ගොවි සංවිධානයෙන් හෙළිදරව්වක්

රටේ ආහාර නිෂ්පාදනයට ඇති කුඹුරු ඉඩම් සූක්ෂ්ම ලෙස රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය ඇතිව හොර රහසේ ගොඩ කිරීමක් සිදු වන බවට කණ්ඩලම ශ්‍රී සුමංගල ගොවි සංවිධානය හෙළි කර සිටී. රාජ්‍ය සේවකයන්ගේ අත්සනින් යුතු ලිපි ලේඛන සකසමින් කුඹුරු ඉඩම් ගොඩ කිරීමේ මහා පරිමාණ ජාවාරම ගැන ජනාධිපතිවරයා දක්වා හෙළිදරව් කිරීමට කණ්ඩලම තම ගොවි සංවිධානය සූදානම් වන බවත් එහි සභාපති ඉනාමළුවේ ශ්‍රී සුමංගල හිමියෝ පවසා සිටියහ.

ගොවි සංවිධානයේ වාර්ෂික සංවත්සරය අමතමින් නාහිමියෝ ලිපි ලේඛන රැසක් රාජ්‍ය නිලධාරීන් වෙත ඉදිරිපත් කරමින් මේ බව පැවසූහ. දඹුල්ල අතුපාරයාය අටේ ඇළ ආදි ගොවි සංවිධාන බල ප්‍රදේශයේ විශාල පිරිසක් කුඹුරු ගොඩ කිරීමට ගොවි සංවිධානයට ඉල්ලීම් කර තිබෙනා බව ද නාහිමියෝ පවසති. කෙසේ වෙතත් ගොවීන් සිය ගොවිතැනින් ඉවත්ව කුඹුරු ඉඩම් ගොඩ කිරීම බරපතළ ප්‍රශ්නයක් බවත් කිසිසේත් තම ගොවි සංවිධානය කුඹුරු ඉඩම් ගොඩ කිරීමට අනුමැතියක් නොදුන්න ද ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා ගොවි සංවිධානවලින් කිසිදු සොයා බැලීමකින් තොරව කුඹුරු ඉඩම් ගොඩ කිරීමට ලිඛිත අවසර දීමේ වැඩපිළිවෙළක් රට තුළ ක්‍රියාත්මක වන බවත් උන්වහන්සේ ලිපියක් ඉදිරිපත් කරමින් පෙන්වා දුන්හ.

එමෙන්ම ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් අදාළ ඉඩම් හිමියාට දී ඇති අවසර ලිපිය පිළිබඳව උන්වහන්සේ තොරතුරු දැනගැනීමේ පනත අනුව එවැනි ලිපියක් ඉදිරිපත් කළේ ද යන්න විමසූ බවත් ඒ අනුව තමන්ට තොරතුරු පනත අනුව ඊට පිළිතුරු ලැබී ඇත්තේ එවැනි කිසිදු ලිපියක් මාතලේ ගොවිජන සේවා කොමසාරිස් කාර්යාලයට නොලැබී ඇති බවත් උන්වහන්සේ එම ලිපිය ද සභාවට ඉදිරිපත් කරමින් පවසා සිටියහ.

ගොවි සංවිධාන කුඹුරු ඉඩම් ආරක්ෂා කර ගැනීමට දැඩි වෙහෙස මහන්සියක් දැරුවද විවිධ ක්‍රියාමාර්ග මඟින් රාජ්‍ය නිලධාරීන් මේ කුඹුරු ගොඩ කිරීමට අවශ්‍ය පහසුකම් සපයා ගැනීම පිළිබඳව තම ගොවි සංවිධානය ජනාධිපතිවරයා දක්වා මේ ප්‍රශ්නය රැගෙන යන බව සඳහන් කර සිටියහ. අනතුරුව රාජ්‍ය නිලධාරීන්ට ද ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් කියා සිටියේ කඩිනමින් මෙවැනි කටයුතු පිළිබඳව සොයා බලා කටයුතු කරනා ලෙසටය.

සීගිරිය විශේෂ
 

නව අදහස දක්වන්න