නඩු ලක්ෂ 8ක් පමණ ඇති රටේ විනිසුරුවන් ඉන්නේ 335යි නඩු විසඳීම ප්‍රමාද වන්නේ ඒකයි | දිනමිණ

නඩු ලක්ෂ 8ක් පමණ ඇති රටේ විනිසුරුවන් ඉන්නේ 335යි නඩු විසඳීම ප්‍රමාද වන්නේ ඒකයි

අධිකරණ ඇමැති ජනාධිපති නීතීඥ අලි සබ්රි

මැදවච්චිය දිසා / මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය ඊයේ (26) අධිකරණ ඇමැති ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා අතින් විවෘත කෙරිණ.

යල්පැනගිය නීතිවලින් බැට නොකා ජනතාවට පීඩාවකින් තොරව ජීවත්වීමට අවශ්‍ය පරිසරය ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රය තුළ ගොඩනගන බව මෙහිදී අධිකරණ ඇමැති ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා සඳහන් කළේය.

වෙනත් රටවලට සාපේක්ෂව මෙරට සිටින විනිසුරුවන්ගේ සංඛ්‍යාව ඉතාමත් අඩු බවද ඇමැතිවරයා මෙහිදී අවධාරණය කළේය. දැනට ලංකාවේ නඩු ලක්ෂ 8 ක් පමණ පැවතියත් විනිසුරුවන් සිටින්නේ 335 ක් පමණයි. නඩු විසැදීම් ප්‍රමාද වීමට මෙය ප්‍රධාන හේතුවක් වී තිබේ. අධිකරණ ක්ෂේත්‍රයේ පවතින ඌනතා දුරලීම සඳහා යටිතල, ඩිජිටල්කරණ, සිවිල් නීති, අපරාධ නීති හා වාණිජ නීති වශයෙන් කමිටු පහක් ඔස්සේ කටයුතු කරමින් සිටින බවද ඇමැතිවරයා පැවසිය.

පවතින නීති 60 ක් පමණ සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතියට ඉදිරිපත් කර ඇතැයි ද ඇමැතිවරයා පැවසීය.

මැදවච්චිය දිසා/ මහේස්ත්‍රාත් අධිකරණ ගොඩනැඟිල්ල ඉදිකිරීමට රුපියල් මිලියන 157ක මුදලක් වැයකර තිබේ.ඇමැති එස්.එම් චන්ද්‍රසේන, රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන කේ.එච් නන්දසේන, උද්දික ප්‍රේමරත්න මහත්වරුන්ද ජනතා නියෝජිතයන් හා අධිකරණ අමාත්‍යංශයේ නිලධාරීන්, විනිසුරුවරුන්, නීතීඥවරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

තවද කහටගස්දිගිලිය දිසා/ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය ඊයේ(26) අධිකරණ ඇමැති ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා අතින් විවෘත කළේය.

අමිල ප්‍රභාත් වනසිංහ- අනුරාධපුර අතිරේක

නව අදහස දක්වන්න