Swisstek Aluminium හරිත බලශක්තියට හැරේ | දිනමිණ

Swisstek Aluminium හරිත බලශක්තියට හැරේ

කිලෝවොට් පැය 1,500ක සූර්යබල ව්‍යාපෘතිය අවසන්

පසුගිය වසර 12ක කාලයේදී ශ්‍රී ලාංකික ඇළුමිනියම් නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛයකු බවට පත්ව දේශීය වෙළෙඳපොළට මෙන්ම විදේශීය වෙළෙඳපොළටද සැපයුම්කරුවකු ලෙසින් ක්‍රියා කරන ආයතනයක් වන Swisstek Aluminium තම කම්හල් සංකීර්ණයේ සූර්යබලය නිපදවීමේ පහසුකම් ස්ථාපිත කොට, ජාතික තිරසර මෙහෙයුම වෙනුවෙන් වන තම දායකත්වය ප්‍රකාශ කර සිටී. අන්තර්ජාතික වෙළෙඳපොළ තුළ වඩාත් පරිසර හිතකාමි නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන සඳහා වැඩි නැඹුරුතාවක් පවතින නිසා පුනර්ජනනීය බලශක්තියට යොමු වීම හේතුවෙන් තම අපනයන වෙළෙඳාමටද ධනාත්මක බලපෑමක් එල්ල වනු ඇති බවට Swisstek Aluminium ආයතනය විශ්වාසය පළ කරයි.

පුනර්ජනනීය බලශක්තිය සඳහා යොමු වීමේදී සූර්යබල ජනන පැනල පද්ධතිය වඩාත්ම සුදුසු විකල්පය ලෙසින් තෝරා ගනු ලැබුනේ. Swisstek Aluminium කම්හලෙහි විශාලත්වය නිසා එහි වහල මත විශාල අවකාශයක් හිරු එළියට සෘජුවම නිරාවරණය වීම හේතුවෙනි. ඒ අනුව, රු. මිලියන 156.6ක ආයෝජනයක් සමඟ ලංකා විදුලිබල මණ්ඩලයෙහි Net Plus ව්‍යාපෘතිය යටතේ photovoltaic පැනල 3,340 ක් ස්ථාපිත කරනු ලැබූ අතර, මේ යටතේ වාර්ෂිකව කිලෝවොට් පැය මිලියන 21කට අධික දායකත්වයක් ජාතික විදුලිබල පද්ධතියට සැපයීමට Swisstek Aluminium ආයතනයට හැකි වී ඇත. මෙලෙස ස්ථාපිත කළ සූර්යබල ජනන පැනල මඟින් කම්හලට අවශ්‍ය විදුලිබල අවශ්‍යතාවයෙන් සියයට 30ක් දක්වා තිරසර අන්දමට උත්පාදනය කරනු ලබන නිසා නිෂ්පාදන මෙහෙයුම් හේතුවෙන් පරිසරයට කාබන් විමෝචනය වීම විශාල ප්‍රමාණයකින් අඩු වී ඇත.

සමාගමේ කළමනාකාරීත්වය පෙන්වා දෙන ආකාරයට, extruded ඇළුමිනියම් නිෂ්පාදනවල power coating සහ anodizing treatment ක්‍රියාවලියන් හසුරුවන මේ කම්හලෙහි විශාල බලශක්ති පරිභෝජනයක් සිදු වෙයි. විදුලිබල ගාස්තු ඉහළ යමින් පැවතීම මෙන්ම ආයතනික තිරසරත්වය වෙනුවෙන් ගෝලීයව පවතින ඉහළ ඉල්ලුම සලකා බැලූ ආයතනයේ කළමනාකාරීත්වය තීරණය කළේ පුනර්ජනනීය බලශක්ති උත්පාදන පහසුකම් ස්ථාපිත කොට ආයතනයේ මෙහෙයුම් වියදම් අඩු කිරීමට හා පාරිසරික බලපෑම පහත නැංවීමටයි.

නව අදහස දක්වන්න