සාලිය කුමරුට රජකම අහිමි වූයේ අශෝකමාලා නිසා ද? | දිනමිණ

සාලිය කුමරුට රජකම අහිමි වූයේ අශෝකමාලා නිසා ද?

 

මෙරට ඉතාම ජනප්‍රිය අතීත පෙම්කතා අතරින් සාලිය - අශෝකමාලා පෙම්කතාවට හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි. ඒ ඔහු ගැමුණු රජුගේ පුත්‍රයා වීමත්, ඔහුගේ පෙම්වතිය සැඩොල් තරුණියක වීමත් නිසාය. ඊළඟ රජකමට ඔහු සුදුස්සකු වුවත් ඔහුට රජකම නොලැබී යන්නේ මේ පෙම්පුවත නිසා බව ප්‍රකට කරුණකි. දුටුගැමුණු රජුගේ අභාවය පිළිබඳව කරුණු දක්වන විටය වංශකතාකරුවන් දුටුගැමුණු රජුට සාලිය නම් පුත්‍රයකු සිටි බවක් පවසනුයේ. සැඩොලියක පාවා ගත් හේතුවෙන් ඔහුට රාජ්‍යය හිමි නොවන බව පමණක් වංශකතා මඟින් ඉදිරිපත් කොට තිබේ. එනමුත් 'සද්ධර්මාලංකාරය ' මේ පෙම්පුවත හා සාලියට ලැබිය යුතු රජකම පිළිබඳව සඳහන් කරන්නේ වෙනත් අදහසක් බව ලේඛකයා පවසයි. මේ ඒ පිළිබඳ කෙටි විමසුමකි.

දුටුගැමුණු රජ චරිතය පිළිබඳව නොදන්නා අයකු නොමැති තරම් බව අපි දනිමු. වසර 44ක් තිස්සේ අනුරාධපුර රාජධානියේ පැවති එළාර පාලනය බිඳ දමා නැවතත් සිංහල - බෞද්ධ පාලනයක් අරඹන්නේ දුටුගැමුණු රජුය.

වංශකතා අතර දුටුගැමුණු රජ පුත් සාලිය කුමරු පිළිබඳව සඳහන් වන්නේ තොරතුරු අංශු මාත්‍රයකි. දුටුගැමුණු රජුගේ අවසන් මොහොතේදී ඔහුට සාලිය නමින් පුත්‍රයකු සිටි බව වංශ කතා සඳහන් කරයි.

රජ කෙනෙකුගෙන් පසු ඔහුගේ වැඩිමහල් පුත්‍රයා රජු බවට පත් වීම මෙරට සාමාන්‍ය සම්ප්‍රදාය විය. එහෙත් දුටුගැමුණු රජුගේ වැඩිමහල් පුත් සාලිය කුමරුට එලෙස සම්ප්‍රදායානුකූලව ඊළඟ රජු ලෙස අභිෂේක ලැබීමට වරම් හිමි වූයේ නැත.

මහාවංශය සඳහන් කරන්නේ සාලිය කුමරුට රජකම අහිමි වන්නේ ඔහු අශෝකමාලා නම් සැඩොල් තරුණියක සරණපාවා ගැනීම නිසා බවය.

එනමුත් සද්ධර්මාලංකාරය කෘතිය රචනා කළ ධර්මකීර්ති හිමියෝ මේ සිදුවීම පිළිබඳව වෙනස් අදහසක් පළ කරති.

දිනක් දුටුගැමුණු මහරජු සාලිය කුමරු හා අශෝකමාලා කැඳවා 'පුත, මා ඇවෑමෙන් ලෝ සසුන් දෙක යෙහෙන් රැක දැහැමෙන් රාජ්‍ය කරව' යැයි පැවසූ බව එහිමියෝ සද්ධර්මාලංකාරයේ සඳහන් කරති. දුටුගැමුණු රජු එලෙස සාලිය කුමරුට පවසන විට අශෝකමාලාවන් සැඩොල් කුලයක උපන් අයකු බව රජු නොදැන සිටියා නොවේ. එසේ නම් සාලියට රජකම අහිමි වූයේ ඇයි?

මහාවංශය අශෝකමාලා හඳුන්වන්නේ චණ්ඩාලියක නොහොත් සැඩොල් කුල කතක ලෙසිනි. සැඩොල් කුලය යනු කසළ ශෝධක කටයුතුවල නිරත වූවන්ගේ කුලයයි. එම කුලය එදා සැලකුනේ පහත් කුලයක් ලෙසය.

මහාවංශ ටීකාව නොහොත් වංසත්ථප්ප කාසිනියේ ඇයව හඳුන්වන්නේ 'කම්මාරධිතා ' නමිනි. 'කම්මාරධිතා ' යනු කම්මල්කරුවකුගේ දියණිය යන්නයි.

සද්ධර්මාලංකාරයේ සාලිය-අශෝකමාලා හමුව විස්තර කර ඇත්තේ මෙලෙසිනි. අශෝකමාලා හමුවූ විට සාලිය කුමරු 'ඔබ කවුදැයි ' අසයි. එවිට අශෝකමාලා පවසන්නේ 'ස්වාමිනී ' මම ඓශ්චර්යවත් කම්කරුවකුගේ දියණියක බවය.

තමන් ඓශ්චර්යවත් කම්කල්කරුවකුගේ දියණියක බව අශෝකමාලාම හඳුන්වා දීමෙන් තේරුම් ගත යුතුව ඇත්තේ ඇය සාමාන්‍ය කම්මල්කරුවකුගේ දියණියක නොව යමක් කමක් ඇති ධනවත් කම්මල්කරුවකුගේ දියණියක බවය.

එසේම සද්ධර්මාලංකාරයේ, අශෝකමාලාව තමන් සාලිය කුමරුට හඳුන්වා දීමේදී 'කම්මාරඨිකා චණ්ඩාලි ' යනුවෙන් ද තවත් තැනෙක හඳුන්වා දී තිබේ. එම හැඳින්වීමෙන් තේරුම් ගත හැක්කේ අශෝකමාලා ධනවත් කම්මල්කරුවකුගේ දියණියක මෙන්ම චණ්ඩාලියක ද බවය. එහෙත් මෙතැනදී අශෝකමාලා, චණ්ඩාලියක ලෙස හඳුන්වා ගත්ත ද එහි වචනාර්ථයෙන් පමණක් එහි අර්ථය විමසීමේ නිගමනයකට එළඹීම නුසුදුසුය.

අශෝකමාලා, තමන් චණ්ඩාලියක ලෙස එලෙස හඳුන්වා ගන්නට ඇත්තේ එකල තිබු බමුණු අධ්‍යාපන ක්‍රමය මත යැයි උපකල්පනය කළ හැකිය. එදා බමුණෝ 'ඉන්දීය බමුණු මත' එදා අධ්‍යාපනයට එකතු කළ වග අමතක කළ යුතු නැත.

ඉන්දීය කුල ක්‍රමයට අනුව සියලුම ශිල්පීන් අයත් වන්නේ ශුද්‍ර හෙවත් චණ්ඩාල කුලයටය. ලාංකීය කුල ක්‍රමයට අනුව කම්මල්කරුවෝ පහත් කුලයෙහිලා සැලකුනේ නැත. එහෙත් ඉන්දීය ක්‍රමයට අනුව නම් ඔවුහු පහත්ය.

මහාවංශ කතුවරයාණෝ අශෝකමාලාවන් චණ්ඩාලියක ලෙස හඳුන්වා ඇත්තේ මේ හේතුවෙනි.

අශෝකමාලාවන් ධනවත් කම්මල්කරුවකුගේ දියණියක සේම ඇය රාජකීය මුළුතැන්ගෙයි ආහාර පිසීමේ කටයුතුවල ද නිරත වී ඇතැයි ඇතැම් මූලාශ්‍රයක සඳහන් වේ. ඇය 'මධුර හස්තරසා ' යනුවෙන් ද හඳුන්වනු ලැබ තිබේ. ඒ ඇය විසින් පිළියෙල කරන ලද ආහාර පාන මිහිරි රසයකින් යුතු වූ නිසාය.

රාජකීය මුළුතැන්ගෙයි කාර්යයන් කිරීමට එලෙස අවසර ලැබෙන්නේ විශ්වසනීය සේවක සේවිකාවන්ට පමණි. ඇය රජ මාළිගයේ නිතර ගැවසෙන්නියක වූ නිසා එම රාජකීය පවුලට ඇය අමුත්තියක ද නොවන්නට ඇත. වංශකතාකරුවන් සාලිය කුමරුට අශෝකමාලා හමුවන්නේ අහම්බයෙන් බව කීව ද එය එසේ විය නොහැකි බවටත් සාධක සොයා ගත හැකිය.

මහාවංශයේ සඳහන් ආකාරයට සාලිය කුමරුට දුටුගැමුණු පිය රජ ඇවැමෙන් රාජ්‍යය හිමි නොවන්නේ අශෝකමාලා සමඟ විවාහ වීමය. එනමුත් සද්ධර්මාලංකාර කතුවරයාණෝ මේ සිදුවීම ගෙනහැර දක්වන්නේ වෙනස් ආකාරයකටය. එනම් අශෝකමාලා කෙරෙහි දුටුගැමුණු රජු විරුද්ධත්වයක් නොතිබූ බවය. දුටුගැමුණු රජු තම පුත් සාලියට ඊළඟට රාජ්‍යය බාර ගන්නැයි පවසන්නේ එබැවිනි.

මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ට අනුව ඉසුරුමුණි විහාරයේ එන කැටයමක දැක්වෙන්නේ මෙම රජ පවුලය. එහි මැද දුටුගැමුණු රජුය. වම් පස සිටින්නේ සාලිය කුමරුය. ඒ සමඟ රජතුමාව අස්වසන ලීලාවෙන් සිටින්නේ දුටුගැමුණු රජ බිසවය. එහි එක් මුල්ලක කුඩා රූපයෙන් දැක්වෙන්නේ අශෝකමාලාවන්ය. පරණවිතාන සූරීන්ගේ නිගමනය වී ඇත්තේ, එම රූපය කුඩාවට නිරූපණය කර ඇත්තේ අශෝකමාලාවගේ (රජුට ඇති) බිය පක්ෂපාතිත්වය දැක්වීම සඳහා බවය.

දුටුගැමුණු රජු තරුණ වියේ මාගමින් බැහැර සිටියදී පියා වූ කාවන්තිස්ස රජු මිය යයි. ඒ අවස්ථාවේ ගැමුණු කුමරුගේ සහෝදර තිස්ස කුමරු සමඟ භික්ෂුන් වහන්සේලාගේ ඇති සම්බන්ධය හේතුවෙන් ඔහු 'සද්ධාතිස්ස 'වෙයි. ඒ අනුව භික්ෂුන් වහන්සේලාගේත් අනු දැනුමින් තමන්ගේ බාල සහෝදරයා ඉස්මතු වේ යැයි ද එසේ වුවහොත් ගැටුමක් ඇතිවේ යැයිද ගැමුණු රජතුමා එදා සිතන්නට ඇත.

එදා තමන්ට අත් විඳින්නට සිදු වූ දේ තම පුතු වූ සාලිය කුමරුටත් අත්විඳින්නට සිදු වේ යැයි අනුමාන කළ දුටුගැමුණු රජු තම පුතු කැඳවා තම ඇවෑමෙන් රජකම බාර ගන්නැයි පවසන්නට ඇත.

අවසන , දුටුගැමුණු රජු මිය යයි. රජුගේ සහෝදර සද්ධාතිස්ස ඊළඟට රජ වෙයි. දැන් සාලිය කුමරුට ප්‍රශ්නයකි. ඔහු තම පියාගේ සහෝදරයා සමඟ ගැටෙනවා ද? නැතිනම් තමන්ගේ ආදරය රැකගෙන රජකමට ඇති උරුමය අත හරිනවා ද? යන්නය.

අවසානයේ සාලිය කුමරු තෝරාගත්තේ තමන්ගේ ආදරය වූ අශෝකමාලාවය. සහෝදරයාගෙන් සහෝදරයාට රජකම උරුම වන සම්ප්‍රදායක් ද එදා තිබිණි. සංඝයා වහන්සේලාගේ කැමැත්ත ද සද්ධාතිස්සටය. එබැවින් සාලිය කුමරු තම නුවණින් රජ උරුමය අත්හැරීමට තීරණයක් ගත් බව පැහැදිලිය. ඒ අනුව සාලියට රජකම අහිමිවූයේ අශෝකමාලා චණ්ඩාලියක වීම නිසා නොවන බව කිව යුතුව තිබේ.

 

මිතිල ප්‍රනාන්දු

 

නව අදහස දක්වන්න