අප සැවොම ශ්‍රී ලාංකිකයන් ලෙස සිතුවොත් රට දිනුම් | දිනමිණ

අප සැවොම ශ්‍රී ලාංකිකයන් ලෙස සිතුවොත් රට දිනුම්

ජීවන් ත්‍යාගරාජා ආණ්ඩුකාර, උතුරු පළාත

  • යුද්ධය වෙලාවෙත් උතුරේ ගොවියෝ ගොවිතැන් කළා
  • රාජ්‍ය සේවකයා බලගැන්විය යුතුයි
  • පළාතෙන් පළාතට නීති වෙනස් වෙන්නෙ නැහැ
  • ජනතාව බෙදා වෙන් නොකළ යුතුයි

උතුරු පළාත සංවර්ධනය වෙත යොමු කරන්නේ කෙසේද? ඒ සඳහා උතුරු පළාත් සභාවේ සැලසුම් මොනවාද? නව ලෝකයට ගැලපෙන ලෙස උතුරු පළාත ගොඩනඟන්නේ කෙසේද? යන්න ගැන උතුරේ ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා සමඟ සිදුකළ සංවාදයකි මේ.

 උතුරු පළාත කියන්නේ රටේ ජාතික සමඟියට ඉතා වැදගත් පළාතක්. තිස්වසරක යුද්ධයෙන් පසු එය සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වා ගෙන යනවා. ජාතික සමඟිය ගොඩනැඟීමට රජය ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ මොකක් ද?

සියල්ලන්ටම සමාන තැන දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ජනතාව බෙදා වෙන්කිරීමට වඩා, එකතු කිරීම කළ යුතුයි. එනිසා සංහිඳියා රාමුව ශක්තිමත් කිරීම අනිවාර්යෙන්ම කළ යුතු දෙයක්. සිංහල, දෙමළ, මුස්ලිම් කියලා පමණක් සිතනතුරු, රටක් ලෙසට අපට ඉස්සරහට යන්න බැහැ. ඒ නිසා අපි සියලු දෙනා ශ්‍රීලාංකිකයන් ලෙස සිතීම ඇරැඹිය යුතුයි. එය එසේ නොවුණොත්, සිදු වන්නේ එකිනෙකා බෙදෙමින් කුලල් කා ගැනීමක් පමණයි. ඒත් රටකට එහෙම ඉන්න බෑ ඒ නිසා අපි සෑම දෙනා එකට එකතු විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය ආදර්ශය සහ ශක්තිය අප උතුරු පළාත් සභාව විදිහට ලබා දීමට සූදානම්. රජයත් ඒ සඳහා යොමුවී සිටිනවා. ඒ ගැන අපටම සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම ද්වි භාෂාවෙන් ඉගෙනුම සහ කාර්යාල කටයුතු සඳහා පහසුකම් සැපයීම කළ යුතුයි. එහෙම කළොත්. බොහෝ ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ ගැන සිතීම මූලික දෙයක් විදිහට සැලකිල්ලට ගෙන වැඩ කළ යුතුයි. ඒ විදිහට වැඩ කිරීමෙන් අපට අලුතින් සිතන පරපුරක් බිහි කරන්න හැකියාව ලැබෙනවා.

දැන් අප අතීතයේ සිදුවූ දේවල් ගැන තව දුරටත් කල්පනා කරමින් පසුතැවීම වැඩක් නැහැ. අනාගතය ගැන සිතා එකමුතුව වැඩ කරන්න ඕනෑ. එහෙම කළොත් තමයි අපට රට වඩා සාර්ථකව ඉදිරියට ගෙන යෑමට පුළුවන්කම ලැබෙන්නේ.

රාජ්‍ය සේවය පළාත් මට්ටමට ගෙන ඒමේදී ඒ පළාත්වලට අවශ්‍ය ආකාරයට සහ පළාතට ආවේනික ආකාරයට හැඩ ගැස්සවීමට ඔබගේ ධුර කාලය තුළ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ මොන වගේ වැඩපිළිවෙළක්ද?

රාජ්‍ය සේවය කියූ පමණින් අප සිත තුළ මැවෙන්නේ, පැරැණි චිත්‍රයක් ඒ චිත්‍රය එතරම් සුන්දර නැහැ. ඒත් ඒක සාම්ප්‍රාදයික කන්තෝරුවලට සීමා වූ දෙයක්. දැන් ලෝකයේ ගොඩක් රටවල් රාජ්‍ය සේවයද පවත්වාගෙන යන්නේ පුද්ගලික සේවය ක්‍රියාත්මක කරන ආකාරයට. එදා තිබූ රාජ්‍ය සේවය අදට ගලපන්න බැහැ. එය නවීන තත්ත්වයන් එක්ක ගලපන්න ඕනෑ. එහෙම නොවුණොත් රාජ්‍ය සේවයෙන් ජනතාවට සිදු කළ හැකි සේවය පහළ යනවා. ඒ නිසා ආණ්ඩුවේ කන්තෝරුවකින් සිදුවෙන්න ඕනෑ සේවය නිසි ලෙස සපයන්න පුළුවන් වැඩපිළිවෙළක් ආරම්භ කරන්න ඕනෑ.

ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ මම උතුරු පළාතෙන් ආරම්භ කරනවා. මැලේසියාව වැනි රටවල රාජ්‍ය සේවය ඉතා යහපත් ලෙස ක්‍රියාත්මක වෙනවා. පුද්ගලික අංශය අරන් බලන්න ඒ අයගෙන් බහුතරයක ඇඳුමේ තම තමන්ගේ නම් ඇතුළත් බැජ් එකක් පලඳිනවා. එයින් තමන් කවුද කියලා දැන ගැනීමට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම රාජ්‍ය අංශයේ සේවය කරන අයට නිසි වටිනාකමක් ලබා දෙන්න පුළුවන්. ඒ සඳහා අප ඔවුන්ට අවශ්‍ය නිදහස ලබා දෙන්න සූදානම්. උදාහරණයක් විදිහට ගනිමු රජයේ සේවකයකුට දවල් ළමයා පාසලෙන් රැගෙන ඒමට තියෙනවා. ඒ සඳහා ඔහුට හෝ ඇයට අවස්ථාවක් දෙන්න ඕනෑ. ඔහුට සවස තමන් ලබාගත් කාලය වැඩකරලා හිලවු කරන්න පුළුවන්. එහෙම වුණොත් තමයි අපට සේවකයාද සතුටින් තබා ගනිමින් රාජ්‍ය සේවය පවත්වා ගෙන යෑමට හැකියාව ලැබෙන්නේ. එහෙම සේවකයන් සතුටින් සිටියදී මහජන සේවයද සාර්ථකව ඉටු කරන්න ඔවුන් පෙළඹෙනවා. ලබා දෙන නිදහස අයුතු ලෙස පාවිච්චි නොකිරීම රාජ්‍ය සේවකයින්ගේ යුතුකමක්.

උතුරු පළාත කියන්නේ දරිද්‍රතාවය මෙන්ම විවිධ ගැටලු රැසකට මුහුණ දුන් පළාතක්. යුද්ධය නිසා තත්ත්වය උග්‍ර වුණා. මේ තත්ත්වය ජය ගැනීමට පළාත් සභාවක් විදිහට ගෙන ඇති පියවර සඳහන් කළ හැකිද.?

නිවාස නැති අයට නිවාස ලබාදීම ප්‍රමුඛයි. එතැනදී ගොඩක් අය හිතනවා බිත්ති හතරක් තිබුණාම ඒක ගෙයක් කියලා. ඒත් පිළිගත් ප්‍රමිතියකින් මේ ඉදිකිරීම් කළ යුතුයි. අපි පළාත් සභාවක් විදිහට මැදිහත් වෙලා නිවාස ප්‍රශ්නය වගේම ඒ අයගේ වෙනත් ජීවන ගැටලු විසඳීමට කටයුතු කරනවා.

මේ හැම දෙයක් ගැනම අවධානය යොමු කර මධ්‍යම ආණ්ඩුවත් සමඟ සහයෝගයෙන් වැඩ කිරීමෙන් දුගී බව පරාජය කිරීම සඳහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.

ඔබ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනතා සේවය සිදු කිරීමට ආරම්භ කරන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කියන්නේ මොනවාද?

මම ඉන්නේ දේශපාලනයෙන් එහා ගිය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. පරිපාලනය සංවර්ධනය සහ ජනතා සේවය සැලසීම එහි මූලික පරමාර්ථයයි. දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු කියන්නේ, මගේ නියෝජිතවරු. ජනතාවට පුළුවන් ඔවුන් මුණගැසී තමන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්න. විසඳන්න බැරි ප්‍රශ්න මා ළඟට රැගෙන එන්න පුළුවන්. මේ අතර උතුරු පළාත හරිත පළාතක් බවට පත් කිරීමටත් අවශ්‍ය සැලසුම් සහ පිරිසුදුකම අතින් අංක එකට උතුරු පළාත පත් කිරීමට අපි සූදානම්. ඒ වගේම කොළඹ සමඟ තරගකාරී ලෙස වැඩ කිරීමට අපි සූදානම්.

පසුගිය කාලයේදී උතුරු පළාත, එහෙමත් නැත්නම් යාපනය අර්ධද්වීපය තුළ පිහි සහ කඩු, කිණිසි කල්ලි බිහි වුණා. මේ කල්ලි මෙල්ල කරන්නේ කොහොමද.?

රටේම තියෙන්නේ එක නීතියක්. පළාතෙන් පළාතට නගරයෙන් නගරයට නීති වෙනස් වෙන්නේ නැහැ. කාටවත් ඕනෑ ඕනෑ ආකාරයට වැඩ කරන්න බැහැ. ඒ නිසා, ඒ අය වැරැදි නවත්වලා පුනරුත්ථාපනය වෙලා සමාජගත වෙන්න ඕනෑ. නැති නම් ඒ වැරැදි කරලා සිරගත වෙන්න සූදානම් වෙන්න ඕනෑ. එහෙම නැතුව හිතුමතේ වැඩ කරන්න කාටවත් බැහැ.

කාබනික ගොවිතැන සම්බන්ධයෙන් විවිධ මත මෙන්ම විරෝධතා පළ වෙන බවක් පේනවා. යාපනය දිස්ත්‍රික්කය ඇතුළු උතුරු පළාත තුළ කාබනික ගොවිතැන සහ සම්ප්‍රදායික ගොවිතැන ක්‍රියාත්මක වන්නේ කෙසේ ද?

එය ඉතා වැදගත් ප්‍රශ්නයක්. යාපනයේ ඔවුන්ටම ආවේනික ගොවිතැන් ක්‍රම තියෙනවා. ඒ ක්‍රම ඉතා සාර්ථකව සිදුවෙනවා. අප රටක් විදිහට මේ ගැන අවධානය යොමු කරලා, උතුරේ ගොවීන් සමඟ කතා කර අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කළ යුතුයි. ඒ අනුව උතුරේ ගොවීන් වැඩකරන ආකාරය ගැන අවධානය යොමු කිරීම පමණක් නොවෙයි, ඒ අනුව වැඩ කරන ක්‍රමයකුත් ඇති කළ යුතුයි. යුද්ධය පැවැති කාලය තුළත් උතුරේ ගොවිතැන සිදු වුණා. ඒත් ඒ අයට රසායනික පොහොර ලැබුණේ නැහැ. ඒත් කාබනික පොහොරවලින් තමන්ගේ ගොවිතැන සාර්ථක කර ගත්තා.

උතුරේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට සැලසුම් කර තිබෙන්නේ කවර ආකාරයේ සැලසුමක් ද?

අධ්‍යාපනය කිව්වාම ගොඩක් අය හිතන්නේ පාසල් පද්ධතිය ගැන විතරයි. වෘත්තීය අධ්‍යාපනය ගැන සැලකිලිමත් වන්නේ නැහැ. ඒත් සාර්ථක වෘත්තීය ජීවිතයක් ආරම්භ කර ජීවිතය සාර්ථක කර ගැනීමට නම් තොරතුරු තාක්ෂණය, කාර්මික, වඩු, මේසන් වැනි විවිධ අංශ ඔස්සේ ඉගෙනුම ක්‍රියාත්මක කළ යුතුයි. එයින් අධ්‍යාපනයේ ප්‍රතිඵල සැමට එක ලෙස බෙදා දීමට පුළුවන්. අපි පළාත් සභාවක් විදිහට මේ ගැන සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවනවා.

උතුරු සංවර්ධනයට ගත හැකි ක්‍රියාමාර්ග ගැන ඔබට ඇත්තේ කුමන අදහසක්ද?

ආයෝජකයන් ආකර්ශණය කර ගැනීමට අප කටයුතු කරනවා. එතැනදී දේශීය ආයෝජකයන් මෙන්ම විදේශ ආයෝජකයන් ද ආකර්ශණය කර ගත යුතුයි. ඒ සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි.

උතුර කියූ සැණින් මතුවන තවත් ප්‍රශ්නයක් වන්නේ ඉන්දු ලංකා ධීවර ගැටලුව. අපේ ධීවර ජනතාව කියනවා, ඉන්දියානු ධීවරයන් මෙරට සීමාව ආක්‍රමණය කරනවා කියලා. ඒ තත්ත්වය පාලනය කරගැනීමට කළ හැක්කේ කුමක් ද?

අපට ගැටුම් හදාගෙන මේ වැඩේ කරන්න බැහැ. අප උත්සාහ කළ යුත්තේ, ඉන්දියාව සමඟ සාකච්ඡා කොට ගැටලු විසඳා ගැනීමයි. එහෙම කරද්දි අපට පුළුවන් පොදු එකඟතාවකට එන්න. මෙතැනදී අපට තුවක්කුවලින් වෙඩි තියාගෙන මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ.

අප බුද්ධිමත් සහ රාජ්‍ය තාන්ත්‍රික විදිහට මේ ගැටලුව ගැන අවධානය යොමු කරන්න ඕනෑ. එහිදී මත්ස්‍ය ජනනය කිරීම ගැන අප සිතන්න ඕනෑ. ඒ වගේම දෙරටේ ධීවර සමිති නියෝජිතයන් අතර සාකච්ඡාවක් මඟින් බොහෝ දුරට ප්‍රශ්නවලට විසඳුම් සොයා ගන්න ඕනෑ. එහෙම වුණොත් අපට ධීවර ගැටලු ගැන අවධානය යොමු කිරීම පමණක් නොවෙයි ඒවාට අවශ්‍ය විසඳුම් ලබා දීමට හැකියාව ලැබෙනවා.

උදිත ගුණවර්ධන

ඡායාරූප - රුවන් ද සිල්වා

 

නව අදහස දක්වන්න