ශ්‍රී ලංකාවේ කුරුඳු ඉරණම | දිනමිණ

ශ්‍රී ලංකාවේ කුරුඳු ඉරණම

බොහෝ විදේශිකයන් ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇත්තේ ලොව ගුණයෙන් සහ රසයෙන් උසස්ම තේ නිෂ්පාදනය කරන රටක් ලෙසය. බ්‍රිතාන්‍යයන් පැමිණ තේ වගාව ආරම්භ කිරීමට පෙර අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාව ප්‍රසිද්ධියට පත්ව තිබුණේ ලොව උසස්ම සහ රසවත් ම කුරුඳු නිෂ්පාදනය කරන රට ලෙසය. පෘතුගීසීන් සහ ලන්දේසීන් ශ්‍රී ලංකාවට පැමිණීමට මූලික හේතුවක් වූයේ යුරෝපයේ සහ අනෙකුත් රටවල ඉහළ ඉල්ලුමක් පැවති කුරුඳු ලංකාවේ නිෂ්පාදනය වීමයි. ඔවුන්ගේ පැමිණීමට බොහෝ කලකට පෙර ශ්‍රී ලංකාව කුරුඳු වෙළඳාම තුළින් විදේශ වෙළඳාමට ප්‍රවිෂ්ටව සිටියේය.

ශ්‍රී ලංකා කුරුඳු ලොව ජනප්‍රිය වීම සඳහා බොහෝදුරට හේතු වූයේ ඒවා ගුණාත්මකභාවයෙන් ඉහළ මට්ටමක පැවැතීම, පැහැය, රසය සහ සුවඳයි. ලන්දේසි යුගය වන විට ශ්‍රී ලංකාව ලොව එකම සහ ප්‍රධාන කුරුඳු නිෂ්පාදකයා සහ සැපයුම්කරු විය. එකල කුරුඳු වැඩි ප්‍රමාණයක් ලබා ගන්නා ලද්දේ කැලෑවලින්ය. ඒවා කැලෑවල ඉබේම වැවුණේය. ලන්දේසි යුගයේදී අපනයනය කරන ලද කුරුඳුවලින් පහෙන් තුනක්ම ලබා ගන්නා ලද්දේ කන්ද උඩරට රාජධානියට අයත්ව තිබූ ප්‍රදේශවලිනි. 1691 සිට 1794 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ වාර්ෂික කුරුඳු නිෂ්පාදනය රාත්තල් හාර ලක්ෂයක් වූ අතර, එය ලෝකයේ මුළු කුරුඳු පරිභෝජනයට ද සමාන විය. වෙනත් කිසිදු රටක් ශ්‍රී ලංකාව හා තරඟ කිරීමට තරම් තත්ත්වයක සිටියේ නැත.

කැලෑවල සහ ගම්වල ඉබේටම වැවුණු කුරුඳු ගසෙන් කුරුඳු නිෂ්පාදනය කළ ද ලන්දේසීන්ට එය ප්‍රමාණවත් නොවීය. අනෙක් අතට තම කුරුඳු අවශ්‍යතාව සඳහා කන්ද උඩරට රජු මත යැපෙන්නට ද ඔවුහු අකමැති වූහ. ඒ නිසා ලන්දේසීහු කුරුඳු වගාව මහා පරිමාණ වතු වගාවක් ලෙස පවත්වා ගෙන යෑමට ඉදිරිපත් වූහ. අක්කර 4000ක කුරුඳු වගාවක් කොළඹ මරදානේ ඔවුන් විසින් ආරම්භ කරන ලදී. අද ද කුරුඳුවත්ත ලෙස හඳුන්වන්නේ ඔවුන්ගේ ප්‍රථම කුරුඳුවත්තයි. ඊට අමතරව මුහුදුබඩ ප්‍රදේශවල තවත් කුරුඳු වතු හතරක් ඔවුහු ආරම්භ කළහ. බ්‍රිතාන්‍යයන් විසින් මුහුදුබඩ ප්‍රදේශ යටත් කර ගැනීමෙන් පසු මෙම වතු නඩත්තු කිරීම පිළිබඳ උනන්දුවක් දැක්වූයේ නැත.

පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ජාතිකයන් ලංකාවේ කුරුඳු ලොවට අලෙවි කිරීම මඟින් විශාල ලාභයක් අත්කර ගත්හ. ඔවුන්ගේ ලාභය සියයට 200ක මට්ටමක පැවතුණි. මෙම ජාතීන් තුනම කුරුඳු වෙළඳාම ශ්‍රී ලංකාව පාලනය කළ එම රටවලට අයත් වෙළඳ සමාගම්වල හෝ රජයේ ඒකාධිකාරයක් ලෙස පවත්වාගෙන ගියහ. වෙනත් කිසිදු පුද්ගලයකුට හෝ ආයතනයකට කුරුඳු මිලදී ගැනීම හෝ අලෙවි කිරීම තහනම් විය. බ්‍රිතාන්‍ය රජය විසින් පවත්වාගෙන ගිය ශ්‍රී ලංකාවේ කුරුඳු ඒකාධිකාරය අත්හරින ලද්දේ කෝල්බෘක් සාමිවරයා ශ්‍රී ලංකාවට පැමිණ රජය විසින් එවැනි ඒකාධිකාරයක් පවත්වාගෙන යාම වැරදි බව පෙන්වා දීමෙන් පසුවය. විදේශීය පාලකයෝ ශ්‍රී ලංකාවේ කුරුඳු ඉහළ මිලකට අලෙවි කළහ. ඉංග්‍රීසීහු කුරුඳු සඳහා අපනයන බද්දක් පැනවීමට ද කටයුතු කළහ. අධික ලාභයක් ලබාගත හැකි කුරුඳු වගාවට පිවිසීමට අනෙක් රටවල් ද පෙළඹිණි. කැසියා නමින් හඳුන්වන කුරුඳුවලට සමාන ආදේශකයක් දකුණු ඉන්දියාව සහ ජාවා දූපත්වල නිෂ්පාදනය කර ලෝක වෙළඳපොළට ඉදිරිපත් කරන ලදී. ඒ නිසා එතෙක් ශ්‍රී ලංකාවට හිමි ව තිබූ කුරුඳු පිළිබඳ ලෝක ඒකාධිකාරය ක්‍රමයෙන් අහිමි වන තත්ත්වයක් ඇතිවිය. 1825දී ලන්දේසි ජාතිකයකු විසින් ශ්‍රී ලංකාවේ කුරුඳු පැළ 3000ක් හොර රහසේම ජාවා දූපත්වලට ගෙන යන ලදී. 1835දී ජාවාහි කුරුඳු නිෂ්පාදනය රාත්තල් 2500ක් විය. 1848දී එය රාත්තල් 250,000ක් දක්වා වැඩිවිය. ක්‍රමයෙන් කුරුඳු නිෂ්පාදනය තරඟකරුවන් විසින් පැහැර ගන්නා ලදී. එසේ වුව ද උසස්ම තත්ත්වයේ රසවත්, පැහැපත්, සුවඳවත් කුරුඳු නිෂ්පාදන අවශ්‍ය නම් ශ්‍රී ලංකාවේ කුරුඳු මිලදී ගත යුතුය යන කීර්තිය නැවත වරක් ශ්‍රී ලංකාව වෙත පැමිණියේය. දැන් ලෝක කුරුඳු නිෂ්පාදනයෙන් සියයට 90කට ආසන්න ප්‍රමාණයක් සපයන්නේ ශ්‍රී ලංකාව විසින් බව අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කර සිටී.

ලන්දේසීන් සහ බ්‍රිතාන්‍යයන් විසින් කුරුඳු වගාව කොතරම් වැදගත් ලෙස සැලකුවේ ද යන්න ඔවුන් එම වගාව ආරක්ෂා කිරීම සඳහා පනවන ලද නීති රීති මඟින් අවබෝධ කරගත හැකි වේ. රජයේ සේවකයන් හැර වෙනත් අය විසින් එක කුරුඳු කූරක් හෝ අලෙවි කිරීම හෝ අපනයනය කිරීමත් වුවමනාවෙන්ම කුරුඳු ගස්වලට තුවාල සිදු කිරීමත් මරණ දඬුවම ලැබිය හැකි වරදක් බවට ඔවුන් විසින් නීති පනවන ලදී. ඒ ඔවුන්ට ආදායම් ගෙන දුන් කර්මාන්තයක් ආරක්ෂා කරගැනීම සඳහාය.

අද වන විට ලෝක කුරුඳු නිෂ්පාදනයෙන් වැඩි ප්‍රමාණයක් සපයන ප්‍රධාන සැපයුම්කරු වුවද තේ සම්බන්ධයෙන් මෙන් කීර්ති නාමයක් ශ්‍රී ලංකාවට ලැබී නැත. තේ ගැන කතා කරන විට ‘සිලෝන් ටී’ යන්න නිතැතින්ම කියැවෙන නමුත් කුරුඳු සම්බන්ධයෙන් එවැනි කීර්ති නාමයක් ප්‍රමාණවත් තරමින් ශ්‍රී ලංකාවට ලැබී නැත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ "රට හදන සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශයේ ශ්‍රී ලංකාවේ කුරුඳු වගාව වැඩි දියුණු කිරීම පිළිබඳ විශේෂයෙන් සඳහන් කර ඇත. කුරුඳු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ලැබී ඇති කීර්ති නාමය ප්‍රයෝජනයට ගනිමින් තත්ත්වයෙන් ඉහළ කුරුඳු නිපදවීමට වගාකරුවන්ට පහසුකම් සැලසීමට ද, නූතන තාක්ෂණ ක්‍රම කුරුඳු තැලීමට සහ සැකසීමට යොදා ගැනීමට ද කුරුඳු තැලීම, සැකසීම ගෞරවණීය රැකියාවක් බවට පත් කිරීමට NVQ සහතිකයක් ලබා දීමට ද අක්කර 5ට අඩු කුරුඳුවතු හිමියන් සඳහා සැකසීම් මධ්‍යස්ථාන ඉදිකිරීමට සහන ලබාදීමට ද කුරුඳුවලින් අපතේ යන කොටස් පදනම් කරගෙන නව නිෂ්පාදන ආධාර ක්‍රම හඳුන්වාදෙන බවට ද එහි සඳහන් කර ඇත.

මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා අතිවිශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍ය නොවනු ඇත. එහෙත් තැලීම්කරුවන්ගේ හිඟය වැනි එම කර්මාන්තය මුහුණ දී සිටින ගැටලු රැසකට මෙම යෝජනා මඟින් විසඳුම් ලැබෙනු ඇත. 'සිනමන්' නමින් හෝටල් සහ විවිධ ව්‍යාපාරික ස්ථාන නම් කර ඇත්තේ විදේශිකයන්ගේ ආකර්ෂණය සඳහා ශ්‍රී ලංකාව සතු මෙම අනර්ඝ නිෂ්පාදනය හේතුවන නිසාය. කුරුඳු කර්මාන්තය සංවර්ධනය කිරීම මඟින් රටේ ආර්ථිකය ඉහළ නැංවීමටත් රටේ කීර්ති නාමය ලොවපුරා ගෙන යාමටත් ඉඩ ලැබෙනු ඇත. 2022ට අදාළ අය වැය ලේඛනය ඉදිරිපත් කිරීමට ඇත්තේ තවත් දින කිහිපයක් බැවින් ඒ සඳහා හොඳම අවස්ථාවක් රජයට ලැබී ඇත.

මහාචාර්ය

සුනන්ද මද්දුමබණ්ඩාර

නව අදහස දක්වන්න