කොළඹටම කොළ බෙදන උපාධිධාරි මහ ගොවියා | දිනමිණ

කොළඹටම කොළ බෙදන උපාධිධාරි මහ ගොවියා

තැපැල් නයින්ටියේ පිටුපස ලී කීර පෙට්ටිය බැඳගත් ප්‍රියංකර ළඳු කැලෑ මැදින් වැටී තිබූ කුඩා කළල් මඟෙන් තේක්ක මණ්ඩිය පසු කළේය. ඒ මඟෙහි ඇවිද යමින් සිටි කිහිපදෙනකු සමඟම ප්‍රියංකර ළෙන්ගතුව හිනැහුණු ද, ඔවුන් සියලු දෙනාම පාහේ ප්‍රියංකරට හිනැහුණේ ඔච්චමටය.

"මැල්ලුම් බිස්නස් හරියනව ද මේ ලංකාවට!"

මුහුණට මුහුණ කතා කරන්නන් ද ඇසුවේ එසේය.

"ඕක සාර්ථක වෙන පාටක් නෑ..."

නිකමට කතා කළ අය ද කීවේය.

මෙසේ බොහෝ උපදෙස් බාහිරින් ලැබුණ ද ප්‍රියංකරගේ හෘදය අභ්‍යන්තරය කියා සිටියේ තමාගේ කර්තව්‍යය කවරදාක හෝ රටම ජය ගන්නා ව්‍යාපාරයක් වන බවය. ඒ නිසාම හේ තමා විශ්වාස කරමින්, ව්‍යාපාරයේම නියැළුණේය. පැමිණි බාධක ජයග්‍රහණයේ පදනම බවට පත් කරගත් ප්‍රියංකර අද වන විට ශ්‍රී ලංකාව පමණක් නොව, ලෝකයම දන්නා ගොවි මහතකු වී හමාරය.

එදා කෘෂි රසායනික පොහොර යෙදූ කීර-පලා වෙනුවට අද ඔහු මුළු රටටම බෙදා දෙන්නේ වස-විසෙන් තොර සහතික කරන ලද කාබනික කීර වර්ගය.

එදා තැපැල් නයින්ටි බයිසිකලය ගාල් කළ තැන අද ගාල්කොට ඇත්තේ ප්‍රාඩෝ වර්ගයේ සුපිරි මෝටර් රථයකි. එදා ප්‍රියංකරට සමච්චලයට හිනැහුණු අය අද ඔහු සමඟ හිත පුරා සිනා සෙන්නේ මේ අභියෝගය ජය ගත් මිනිසා ආදර්ශයට ගනිමිනි.

කොළඹටම කාබනික කොළ බෙදන උපාධිධාරී මහ ගොවියා ඔහුය. ව්‍යාපාරිකයකු ලෙස හඳුන්වනවාට වඩා ඔහු ගොවියකු ලෙස හඳුන්වනවාට අදට ද ඉතා ප්‍රිය ප්‍රියංකර කතාව අරඹන්නේ අප කතාව ඇරඹූ තැපැල් නයින්ටියේ නොමැකෙන සුන්දර මතක කාලය සමඟිනි.

"මිනිසුන්ගේ දෛවය කියන්නේ හරිම වෙනස් එකක්. ඒ ඒ මිනිසාගේ උත්සාහයට, වාසනා ගුණයට සහ කැප වීමට විශ්ව ශක්‍තිය එකතු වුණාම මේ ලෝකයේ කරන්න බැරි දෙයක් නෑ කියල මම විශ්වාස කරනවා. මමත් එහෙම කෙනෙක්. මට ඕනැ වෙලා තිබුණා මගේම දෙයකින් මේ ලෝකේ ජයග්‍රහණය කරන්න. ඒකට අඩිතාලමක් හොයමින් ඉන්න මොහොතක තමයි මම කීර බිස්නස් එකට යොමු වුණේ. කීර කිවුවම කවුරුත් ගණනකට ගන්නෙ නැති කාලයක් තමයි ඒක. මං හිතුව කීරත් ටිකක් අලුත් ක්‍රමයකට මිස්සුන්ට දෙන්න ඕනැ කියල. ඒ අරමුණ ඇතිව තමයි කීර කඩෙන් අරන් මැල්ලුම වගේ කපල පැකට් කරන්න හිතුවෙ. ඒත් මේක සාර්ථක වෙවි ද කියල එකපාරටම හිතා ගන්න බැරි වුණා. මේක අලුත්ම අත්දැකීමක් නිසා පරීක්ෂණ කරල තිබ්බෙත් නෑ. මමයි මගේ නෝනයි මේක ගැන හොයාගන්න මහන්සි වුණා. ඒත් කීර මැල්ලුම් කල් තබාගැනීමේ තාක්ෂණය ගැන කවුරුත් දැනගෙන හිටියේ නෑ."

ප්‍රියංකරගේ දිගු ගැඹුරු හුස්මක් පරිසරයට එක් වේ. එදා ඔවුන් විඳි ඒ අභියෝග පිළිබඳ ඒ උණුසුම් සුසුමේ ගැබ්ව තිබේ. දීප්තිමත් හිරු රැසින් දිදුලන ඔහුගේ තියුණු දෑස් ජය ගත් අභියෝගයක ආඩම්බරය කියා පායි. පෙති නුග අත්තේ වැසූ බත්කූරකු දෙස එක එල්ලේ බලාගත් වනම ඔහු නැවතත් කතාව ගොනු කරයි.

"කපපු කීර කල් තබාගන්න විද්‍යාත්මක ක්‍රමයක් නැතිම තැන අපි දෙන්න අපේම ක්‍රමයක් හොයාගත්තා. කීර වර්ග අරගෙන අපි මැල්ලුමට ලියුවා. ඒකේ දිනේ ගහල ෆ්‍රිජ් එකේ දැම්මා. දවසින් දවස ආහාරයට ගත්තා. එහෙම එක දවස දවස් දෙක, තුන වගේ තියල බැලුවම රහේ, පෙනුමෙ වෙනසක් තිබ්බෙ නෑ. මෙහෙම කාලයක් අපි අපේම විදියට පරීක්ෂණ, අත්හදාබැලීම් කළා.

අන්තිමට අපි තීරණය කළා මේක වෙළෙඳපොළට දාන්න. ඒ වෙන කොටත් අපි වෙළඳපොළට බිම්මල් දානවා.

පළමුවැනි දවසේ ඇග්‍රි ස්කොඩ් කියන සුපිරි වෙළෙඳ ජාලයට තමා දැම්මේ. පැකට් පහක් දැම්මා. ඒ වෙළෙඳපොළේ කූලර් නොතිබුණ නිසා එක දවසින් විකුණන්න තමා දැම්මේ. එක දවසට කොළ මැල්ලුම් පැකට් තුනක් විකිණිලා තිබුණා. මම තීරණය කළා ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම දාපු ගණනින් බාගයක් විකිණෙන බව. ඒක තමා මගේ දිගු සාර්ථක ගමනේ ආරම්භය. ඊට පස්සෙ මිටි දහය පහළොව අරන් කපල වැඩේ කරගෙන ගියා. ඔන්න ඕක තමයි සරලව කතාව."

ඔහු එවර කුරුලු පියාපතක් තරමට සැහැල්ලු වේ. අතිරස කැවුමක් අපට පිළිගන්වන හෙතෙම ආ-ගිය කතාන්දර අතර අපේ ප්‍රධාන මාතෘකාවට පැමිණෙයි.

"අපි පොළෙන් ගෙනැල්ල තමා කීර මැල්ලුම් කැපුවෙ. ඒ දවස්වල පුංචි අපේම කර්මාන්තය ශාලාවක් තමයි තිබුණෙ. කීර කපල ඉවර වුණාම උහුල ගන්න බැරි ගඳක් වහනය වෙනවා. මේ ගඳ මොකක්ද හොයල බැලුවා. ඒ තමයි කීරවලට ගහන කෙමිකල් ගඳ. මං තීරණය කළා රටේ ජනතාවට හොඳම සහ වස-විස නැතිම දේ දෙන්න. එදා ඉඳන් තමයි අපි ඕගනික් වවන්න පටන් ගත්තේ. වස-විස කවලා සල්ලි හොයනව වෙනුවට, වස-විස නැති එක ආහාරයක් හරි දෙන්න තමයි පරමාදර්ශයක් විදියට ගොවිතැනට බැස්සෙ.

"ඒකෙත් තියෙනවා කියන්න නියම කතා!" ඔහු එවර අහස දෙසත් පොළොව දෙසත් වරින් වර බලයි.

"අපි මුලින්ම කාබනික වවන්න කෘෂිකාර්මික නිලධාරීන්ගෙන් උපදෙස් ගත්තා. ඔවුන් කිවුවා කොම්පොස්ට් ගහලා යූරියා පොඩ්ඩක් උඩින් ඉහින්න කියල. මේ අයගේ දැනුම ගැන මට පුදුම හිතුණා! ඒ මොහොතෙම කාබනික පොහොර සහ වගාව ගැන අධ්‍යයනය කරන්න හිතාගත්තා. මුලින්ම මූලික දැනුම ලබාගත්තා නුවර ගලහ ‘ගැමිසේවා සෙවණ‘ කියන ආයතනයෙන්. ඉන් පස්සෙ කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඩිප්ලෝමාව හැදෑරුවා. ඒක නැවතුණේ උපාධියත් නිමා කරලා. මේක හදාරන්න පටන් ගත්තාම තමා තේරුණේ ඉමක් නිමක් නැති දැනුම් සාගරයක් බව. දැන් රුහුණු විශ්වවිද්‍යාලයේ මාස්‍ටර් එක කරනවා. මම හිතන්නේ ඒ දැනුම තමා මාව මෙතනට ගෙනාවේ."

ඔහු කාබනික වගාව ගැන අප නොදන්නා බොහෝ දේ පැහැදිලි කරයි. මේ අතර ගිරා නිලෙන් බබළන පලා පලස ක්‍රමයෙන් කැපී වෙන් වී ඉස් මිටි බවට පත් වේ. ඒවා ක්‍රමානුකූලව සීතලේ අසුරා කර්මාන්ත ශාලාවට රැගෙන යනු ලැබේ. කර්මාන්ත ශාලාව තුළදී කීර ඉතා හොඳින් පවිත්‍ර වන අතර, විශාල බඳුන් සයකින් සය වරක් පිරිසුදු වේ. එය ප්‍රියංකරගේ ගමන සේම ඉතා විධිමත් ක්‍රියාවලියකි.

"ත්‍රී ස්‍ටාර් ඕගනික් කියන බිස්නස් එක විශාල කැප කිරීමක ප්‍රතිඵලයක්. ඒ නිසාම අපි වෙළෙඳාමකට වසා සමාජ සේවයක් විදියටයි මේක කරන්නේ. ශ්‍රී ලංකාවේ සියලු සුපිරි වෙළෙඳසල් අපේ නිෂපාදනය දැන් මිල දී ගන්නවා. කොහොමත් අපේ විශ්වාසය තමයි ප්‍රමිතිය. මම මේ තැනට ආවේ ප්‍රමිතිය හැම දාම රකින නිසා."

ඔහු කතා කරන්නේ තමා පිළිබඳ අනගි අභිමානයකිනි.

"මම කරන දේ කොච්චර හොඳට කරනවා ද කිවුවොත්: ගොවියෙක් විදියට ලබා ගන්න පුළුවන් කාබනික සහතික සහ නිෂ්පාදනාගාරයක් විදියට ලබාගන්න පුළුවන් සියලු සහතික හිමි කරගෙන තිබෙනවා. අදටත් මම කියන්නෙ මගේ නිලය ගොවිකම කියල. හොඳ ගොවියෙක් කියන්නේ රටක් නීරෝගිව තියන මිනිහෙක්. ඒ අභිමානය වස-විස නැති ගොවිතැන කරන හැමෝටම තිබෙනවා.

මට පුළුවන් වුණා රටේ මිනිස්සු සතියකට එක වෙලක් කාපු මැල්ලුම දවස් හතටම පිඟානේ තියන්න. ඒ වගේම රටේ මිනිස්සුන්ට සමබල ආහාර වේලක් ලබාගැනීම වෙනුවෙන් ඉතා අඩු මිලකට මැල්ලුමක් ලබා දෙන්න. රුපියල් හැත්තැපහක් කියන්නේ අද ඉතා කුඩා මුදලක්. ඒ වගේ මිලකට කාබනික කීර මැල්ලුමක් දෙන්න ලැබීම සතුටක්."

"මොනව ද වවන පලා වර්ග?" පැනය මගෙනි.

"මුකුණුවැන්න, ගොටුකොළ, කංකුං, කතුරුමුරුංගා තමයි වවන්නේ. කාබනික පොහොර විතරයි අපි මේ සඳහා යොදාගන්නේ. හොඳ ඵලදාවක් ලබනවා. ඒ නිසාම මුළු කොළඹටම කාබනික මැල්ලුම් දෙන්නෙ මම කියල බය නැතුව කට ඇරල කියන්න පුළුවන්."

ඔහු එවර කීර මණ්ඩියන් මතු වන වල් පැළයක් උදුරා දමයි. මී මැසි ගුම් නදින් පිරුණු ඒ සරුසාර වගා බිම නිවැරැදි කාබනික ගොවිතැන ගැන අපට ආදර්ශ සපයයි.

"හොඳ කාබනික ගොවි බිමක ලක්ෂණයක් තමයි මීමැස්සො කියන්නෙ. රසායනික පුසුඹ එන කොට මීමැස්සන්ට ඉන්න බෑ. යන්තම් හරි දුමක් වැදුණොත් උන් යන්න යනවා. වගා බිමක් පවත්වාගෙන යන්න මීමැස්සො විශාල සේවයක් කරනවා.

බොරුව කළොත් ඒ බොරුවට තමන්ටම මුහුණ දෙන්න වෙනවා කියල මං තරයේම විශ්වාස කරනවා. ඒක නිසා මේ ව්‍යාපාරය කරන්නෙ ඇත්තතම. ගොවියෙක් ප්‍රාඩෝ එකක යනව කිව්වම සමහරු හිතනවා මම රත්තරන් හිටවනවද කියල. නෑ, අපට තියෙන්නෙ රත්තරන් පොළොවක්. ඒකේ මොනව හිටෙවුවම ලැබෙන්නෙ රත්තරන් ඵලදාවක්.

කෘෂිකර්මාන්තය ආශ්‍රිත ව්‍යාපාරවලට අලුතින් යොමු වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට දෙයක් කියන්න මම කැමැතියි. මේක හොඳ කර්මාන්තයක්. විවිධ අදහස්වලට වහල් නොවී තමන් විසින්ම සොයාගත්ත අධ්‍යයනය කළ ක්‍රමවේද එක්ක ගමනක් යනවා නම් කීර පලා වෙළෙඳාමෙනුත් ගොඩ යන්න පුළුවන්."

ඔහු කියනා උදාහරණය මා අසලය. එනිසා ඔහු සමඟ එකඟ විය යුතුමය. එදා එක් අයකුගෙන් ඇරඹි කම්හල අද විසි දෙනකුට වඩා රැකියා සපයා තිබේ. එයම ඔහුගේ දියුණුවට සරල උදාහරණයකි.

"මම මේ වැඩේ පටන්ගත්තේ මමම වවල අපේම නිෂ්පාදනයක් විදියට. ඉදිරියේදී මෙවැනි නිෂ්පාදන කිහිපයක් අපේ රටට වගේම ලෝකයටත් එක් කිරීමට සූදානම් වෙමින් ඉන්නෙ. ඒ වගේම මේ රටේ හැමෝටම කාබනික ආහාර දෙන්න දායක වෙන්න පුළුවන් නම්, ඒක ලොකු පිනක් කියල මට හිතෙනවා. කාබනික වගාව ගැන ගොවියන්ට නිසි අවබෝධයක් දුන්නොත් ඒක කරන්න අමාරු නැහැ."

එය කාලීන අවශ්‍යතාවකි. කාබනික පොහොර භාවිතයෙන් වස-විස නැති ආහාර නිෂ්පාදනය සඳහා මේ මොහොතේ රජය සහ බලධාරීන් විවිධ සැලසුම් ආරම්භ කොට තිබේ. සැමදෙනා එක් වී ඒවා ද සාර්ථක කරගැනීම නීරෝගි ජනතාවකගෙන් සැදුම් ලත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමට හේතු වේ.

"ලෝකයේ කාලයෙන් කාලයට විවිධ අවශ්‍යතා මතු වෙනවා. අපි වැඩකටයුතු කළ යුත්තේ ඒ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට. කාබනික ආහාර නිෂ්පාදනවල අවශ්‍යතාව දැනගත්ත අපි මීට වසර ගානකට උඩදී ඒ දේ ආරම්භ කළා. ඉන් පස්සේ නාගරීකරණය එක්ක එන කාර්යබහුලත්වය කලින්ම දැකපු මම ඕනෑම වෙලාවක පිළියෙල කරගන්න පුළුවන් මැල්ලුම් නිපැයුමක් හඳුන්වා දුන්නා. මම හිතනවා ගොවියෙක් කියන්නෙ හොඳ ව්‍යවසායකයෙක්, ව්‍යාපාරිකයෙක්. ඔහුට පුළුවන් සමාජයක යහපත වෙනුවෙන් කැප වෙන්න. මම හැම දාම කරන්නේ ඒ කැප වීම. සමාජයේ සුභසාධනය වෙනුවෙන් කැප වන මිනිස්සුන්ට විශ්වය ආශිර්වාද කරනවා."

එය සත්‍යයකි. මේ මහ ගොවියා බිහි වී ඇත්තේ ඒ විශ්වාසයේ ශක්තියෙනි. ඒ ශක්තිය සමාජයේ යහපත වෙනුවෙන් ඔහු තවත් දුරක් රැගෙන යනු ඇත.

 

චතුර ගීතනාත් බණ්ඩාර

ඡායාරූප - සමන්ත වීරසිරි

නව අදහස දක්වන්න