මාධ්‍යකරුවාගේ හෙට දවස | දිනමිණ

මාධ්‍යකරුවාගේ හෙට දවස

ජන මාධ්‍යයට සම්බන්ධ ඕනෑම කෙනකුට මේ දිනවල අසන්න ලැබෙන වැදගත්ම ආරංචිය වන්නේ වරලත් ජනමාධ්‍ය ආයතනයක් පිහිටුවීමට රජය සැලසුම් කර තිබීමය. ජනමාධ්‍ය අමාත්‍යාංශය ඉටු කළ යුතු බරපතළ රාජකාරියක් ලෙස ද එය දැක්විය හැකිය. ගෙවී ගිය දසක තුන හතරක කාලය පුරා ජනමාධ්‍ය නිදහස, ආචාරධර්ම, ජනමාධ්‍ය‍ෙව්දීන්ට විශ්‍රාම වැටුප් ආදි මාතෘකා ගැන දීර්ඝ වශයෙන් සංවාද පවත්වා ඇත. එහෙත් මාධ්‍යකරුවාගේ වෘත්තීයභාවයට අදාළ වැදගත්ම දේවල් එම සංවාදවලින් ගිලිහී ගියේ යැයි කිව හොත් එය නිවැරැදිය. වරලත් ජනමාධ්‍ය ආයතනයක් පිහිටුවා පුහුණුව, පරීක්ෂණ හා සහතික හිමි කර දිය හැකි නම්, ශ්‍රී ලාංකේය ජනමාධ්‍යකරුවා ලෝකය පිළිගත් වෘත්තිකයකු බවට පත් වනු ඇත.

අපේ විශ්වවිද්‍යාල කිහිපයකම ජනමාධ්‍ය උගන්වන අංශ තිබේ. ජනසන්නිවේදන අධ්‍යයන අංශය හෝ ජනමාධ්‍ය අධ්‍යයන අංශය හෝ ලෙස ඒවා හඳුන්වනු ලැබේ. මෙහිදී විද්‍යාර්ථියාට ජනමාධ්‍ය ඉතිහාසය, ජනමාධ්‍යයට අදාළ න්‍යාය ධර්ම හා ජනමාධ්‍යයට අදාළ ආකෘති ගැන දැනුමක් ලැබෙන'මුත් ජනමාධ්‍ය භාවිතය ගැන ප්‍රායෝගික පුහුණුවක් ලැබෙන්නේ නැත. අපේ ජනමාධ්‍ය ආයතන විධිමත් පුහුණුවක් දෙන පාසල් ලෙස පවතින්නේ ද නැත. ජනමාධ්‍ය බලවත් තරගයක යෙදී සිටින අතර, එම ආයතනවලට ද පුහුණුව සඳහා කාලය හා ධනය වැය කිරීමට අවකාශයක් නැත. මෙයින් අර්ථවත් වන්නේ ස්වදේශික මාධ්‍යකරුවා ස්වයං අධ්‍යයනයක යෙදෙමින් පරිපූර්ණත්වය අත් කර ගත යුතු බවය. එලෙස ස්වයං අධ්‍යයනයක් තිබුණ ද ඊට පිළිගත් සහතිකයක් නැත.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන ජනමාධ්‍යකරුවකුට අවශ්‍ය මූලික සුදුසුකම් පිළිබඳ කාරණයේදී පොදු නිර්ණායකයක් භාවිත කරන්නේ නැත. එබඳු පොදු නිර්ණායක භාවිත කළ හැකි තත්ත්වයක් ද අපේ ජනමාධ්‍ය සමාජයේ නැත. ජනමාධ්‍ය සඳහා වූ වෘත්තීය සහතිකයක් හෝ පුහුණුවක් හෝ කිසිදු ආයතනයක් වෙතින් ගත නොහැකිය. පත්තර කලාව උගන්වන ජනමාධ්‍ය පාසලක් පවත්වාගෙන යන්නේ වුව ඊට නිසි පහසුකම් හා සුදුසුකම් සහිත ගුරුවරු නැත. එම පාසලෙන් දෙන ඩිප්ලෝමා සහතිකය රටේ මාධ්‍ය ආයතන අතර පිළිගැනීමකට ලක් වන්නේ ද යන්න ගැටලුවකි. ජනමාධ්‍ය සඳහා වරලත් ආයතනයක් පිහිටුවීමෙන් මේ සියලු අඩුපාඩු සකස් කර ගත හැකි බව අපගේ ද පිළිගැනීම වෙයි.

වත්මන් ජනමාධ්‍ය අමාත්‍යවරයා දීර්ඝ කාලයක් මාධ්‍යකරුවකු කටයුතු කළ තැනැත්තෙකි. 1980 ගණන්වල පැවති භීෂණ සමය යටතේ ද ඔහු ජනමාධ්‍ය කරුවකු ලෙස සිය ජාතික වගකීම ඉටු කර ඇත. මේ පරිණතභාවය නිසාම ස්වදේශික ජනමාධ්‍යකරුවාගේ සැබෑ තත්ත්වය පිළිබඳ පූර්ණ වැටහීමක් ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයාට තිබේ. ඔහු ස්වකීය කාර්යභාරය පටන් ගන්නේ ක්ෂේත්‍රයට අතිශය වැදගත් තැනකින් යැයි සහතික කළ හැකිය. වරලත් ජනමාධ්‍ය ආයතනයක් පිහිටුවීම යනු එක්වර කළ හැකි පහසු දෙයක් නොවේ. එය පියවරෙන් පියවර ඉදිරියට ගෙන යෑමට අමාත්‍යවරයා අදහස් කරයි. පළමු පියවර වන්නේ ජනමාධ්‍ය පුහුණුව සඳහා පහසුකම් සහිත පාසලක් ආරම්භ කිරීමය.

ජනමාධ්‍යයට ප්‍රවේශ වන ආධුනිකයන්ට ලිවීමේ හැකියාව තිබුණත්, මාධ්‍යයට අදාළ නීතිය ගැන, ආචාරධර්ම ගැන හා සම්ප්‍රදායයන් ගැන නිසි වැටහීමක් නැත. මාධ්‍යකරුවාට අවශ්‍ය සියල්ල ජනමාධ්‍යය ඔස්සේ සමාජගත කිරීමේ හැකියාවක් නැත. සිද්ධියක් වාර්තා කිරී‍ෙම්දී ඊට අදාළ සාක්ෂි තිබිය යුතුය; එය සත්‍යයක් බව තහවුරු කළ යුතුය. ඇතැම් මාධ්‍යකරුවන් ප්‍රවෘත්තියෙන් අගතියක් සිදු වන පාර්ශ්වය ගැන බලන්නේ නැත. වාර්තා කළ යුත්තේ කුමක් ද? වාර්තා කළ යුත්තේ කෙසේ ද? වාර්තාව කා සඳහා ද යන ගැටලුවලට නිශ්චිත පිළිතුරක් වාර්තාකරුවා ළඟ තිබිය යුතුය. ඒවා නිශ්චය කිරීම සඳහා වෘත්තීය ඥානයක් ඔහුට තිබිය යුතුය. එය ඉබේ පහළ වන්නේ නැත. මෙහිදී වඩා වැදගත් වන්නේ පුහුණුව හා අභ්‍යාසයයි. එය මාධ්‍යකරුවන් වෙත දීමේ වගකීමක් ද රජයකට තිබේ.

ජනමාධ්‍ය ආයතන යනු මහජන සේවය සඳහා වෙන් වූ පුණ්‍යායතන නොවේ. ඒවා සාර්ථක ව්‍යාපාර ලෙස පැවතිය යුතුය. එසේ නොවුණ හොත් එම ආයතනවලට පැවැත්මක් නැත. පෞද්ගලික ජනමාධ්‍ය ආයතන ලාභදායි ව්‍යාපාර ලෙස පවත්වා ගැනීමේ වගකීම ඒවායෙහි හිමිකරුවන් විසින් දරනු ලැබේ. එහෙත් රාජ්‍ය මාධ්‍ය ආයතනවල තත්ත්වය ඊට වඩා වෙනස්ය. ඒවායින් බහුතරයක ව්‍යාපාරික පැත්ත දුර්වලය. ඇතැම් ආයතන පවත්වා ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කිරීමට සිදු වේ. අමාත්‍යවරයා පෙන්වා දෙන ලෙස මේ තත්ත්වය වෙනස් විය යුතුය. රාජ්‍ය ජනමාධ්‍ය ආයතන ලාභදායි ව්‍යාපාර ලෙස පවත්වා ගත හැකි යැයි කියන අමාත්‍යවරයා එය කළ හැකි නිර්මාණශීලි පුද්ගලයන් එම ආයතනවල සිටින බව ද විශ්වාස කරයි. එය සාධනීය අදහසකි.

ජනමාධ්‍ය හා රාජ්‍ය පාලනය අතර ද ඍජු සම්බන්ධයක් පවතී. එක් අතකින් රාජ්‍ය පාලනයට අවශ්‍ය තොරතුරු හා මතවාද ජනමාධ්‍ය ඔස්සේ ලැබෙන අතර, තව අතකින් මහජනයා දැනුම්වත් කිරීම හා සංවිධාන කිරීම ද ජනමාධ්‍ය ඔස්සේ සිදු වෙයි. දියුණු රාජ්‍යවල උසස් මානවීය ගුණයෙන් යුතු ජනමාධ්‍ය භාවිතයක් දැක ගත හැකිය. එලෙසම එම රටවලට ජනමාධ්‍යයට අදාළ තාක්ෂණය ඉතා දියුණුය. මේ කාල පරිච්ඡේදය හඳුන්වන්නේ ඩිජිටල් යුගයක් හැටියටය. ඒ අනුව ඩිජිටල්කරණය කෙරෙහි අපගේ ජනමාධ්‍ය ආයතන යොමු විය යුතුය. අමාත්‍යවරයාගේ අවධානය ඒ කෙරෙහි යොමු වී ඇත. වෘත්තීය මාධ්‍යකරුවන් සඳහා 'ඇසි-දිසි' නමින් රක්ෂණයක් ආරම්භ කිරීමට ද අමාත්‍යවරයා පියවර ගෙන තිබේ. එය ලබන දෙවන දා නිල වශයෙන් ආරම්භ වෙයි.

ජනමාධ්‍ය ආයතනවලට බලපෑම් කරනු වෙනුවට මාධ්‍යකරුවාගේ අනාගතය දෙස බලා කටයුතු කිරීම හැම අතින්ම යහපත්ය.

නව අදහස දක්වන්න