නව කොවිඩ් ප්‍රභේදය 'ඔමික්‍රෝන්' වෙයි | දිනමිණ

නව කොවිඩ් ප්‍රභේදය 'ඔමික්‍රෝන්' වෙයි

දකුණු අප්‍රිකාවෙන් හදුනා ගත් නව කොවිඩ් - 19 ප්‍රභේදය 'ඔමික්‍රෝන්' (Omicron ) ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර ඇත. 
 
බහුවිධ විකෘති සහිත නව කොවිඩ් වෛරස් ප්‍රභේදය B.1.1.529  ලෙස හඳුනාගෙන ඇති අතර එය සීග්‍රයෙන් ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති වෛරස් ප්‍රභේදයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි. 
 
මෙම ප්‍රභේදය ප්‍රථම වරට ලෝක සෞඛ්‍ය සංවිධානයට නොවැම්බර් 24 වැනි දින දකුණු අප්‍රිකාවෙන් වාර්තා වූ අතර බොට්ස්වානා, බෙල්ජියම, හොංකොං සහ ඊශ්‍රායලයේ ද හඳුනාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
 
“අපි තවම මේ ගැන වැඩිය දන්නේ නැහැ. අප දන්නා දෙය නම් මෙම ප්‍රභේදයේ විකෘති විශාල සංඛ්‍යාවක් ඇති බවයි. තවද කනස්සල්ලට කරුණ නම්, ඔබට බොහෝ විකෘති ඇති විට, එය වෛරසය හැසිරෙන ආකාරය කෙරෙහි බලපෑමක් ඇති කළ හැකි බවයි, ”කොවිඩ් -19 පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික ප්‍රධානී ආචාර්ය මාරියා වැන් කර්කොව්, සංවිධානයේ සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව පැවති වැඩසටහනක දී පැවසීය.
 
මෙම තත්ත්වයත් සමඟ දකුණු අප්‍රිකාවට සහ ඉන් පිටතට ගමන් කිරීම තහනම් කිරීමට හෝ සීමා කිරීමට රටවල් ගණනාවක් දැන් තීරණය කර ඇත.
 
මේ අතර අමෙරිකා බලධාරින් පැවසුවේ දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, නැමීබියාව, ලෙසතෝ, එස්වාටිනි, මොසැම්බික් සහ මලාවි යන රටවලින් පැමිණෙන ගුවන් ගමන් ලබන සදුදා සිට නතර කරන බව ය.

නව අදහස දක්වන්න