සෙලන්දිවා සමාගමේ රජයේ කොටස් විකිණීම අත්හිටුවන නියෝගයක් ඉල්ලා පෙත්සමක් | දිනමිණ

සෙලන්දිවා සමාගමේ රජයේ කොටස් විකිණීම අත්හිටුවන නියෝගයක් ඉල්ලා පෙත්සමක්

නෙල්කා මැදගෙදර

අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් ස්ථාපිත කළ සෙලන්දිවා ලෙෂර්ස් ඉන්වෙස්මන්ට් නමැති සමාගමට රජයට අයත් දේපොළ පැවරීම හෝ විකීණීම නවතාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ ලේකම් රේණුක පෙරේරා විසින් ගොනු කර ඇති සංශෝධිත මූලික අයිතිවාසිකම් පෙත්සමට එරෙහිව විරෝධතා ගොනු කිරීමට නීතිපතිවරයා ඇතුළු පාර්ශ්ව කිහිපයකට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (3 ) අවසර දුන්නේය.

ඒ අනුව එම විරෝධතා ලබන ජනවාරි මාසයේ ගොනු කරන ලෙස නියම කෙරිණ.

එල්.ටී.බී. දෙහිදෙණිය, ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ සූම් තාක්ෂණය ඔස්සේ මේ පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය සඳහන් කළේ මේ සංශෝධිත පෙත්සමට එරෙහිව සීමිත විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවය.

ඒ සඳහා කල් දෙන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

ඒ අනුව ඊට අවසර දුන් අධිකරණය පෙත්සම ජනවාරි මස කැඳවීමට නියම කළේය.

මේ පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නීතිපති, අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍යාංශ ලේකම් හා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල, විනිමය සුරැකුම් කොමිෂන් සභාව, කොළඹ කොටස් වෙළෙඳපොළ, සෙලන්දිවා ලෙෂර්ස් ඉන්වෙස්මන්ට් සමාගම ඇතුළු 19 දෙනෙක් නම් කරනු ලැබ සිටිති.

නීතිඥ දර්ශන වේරදූවගේ මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය.

නව අදහස දක්වන්න