ලෝක නීති සමුළුවට අධිකරණ ඇමති එක්වෙයි | දිනමිණ

ලෝක නීති සමුළුවට අධිකරණ ඇමති එක්වෙයි

කොලොම්බියාවේ බැරන්ක්විලාහි පසුගිය 02වනදා සහ 03 වනදා පැවති  2021 වසරේ ලෝක නීති සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සහභාගී විය.
 
එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ ක්‍රියාත්මක වන ලෝක නීතිඥ සංගමයේ  උපදේශනය යටතේ සමුළුව සංවිධානය කර තිබු අතර මෙම සමුළුව 1965 වසරේ සිට පවත්වනු ලබයි. සියලු ජාතීන් සදහා නිදහස සහ සංවර්ධනය සහතික කිරීම හා නීතියේ ආධිපත්‍ය ප්‍රවර්ධනය කිරීම කෙරෙහි මෙම සමුළුවේදී අවධානය යොමු කෙරුණි.
 
මෙම සමුළුවේදී ලෝකය තුළ පවතින වර්තමාන නීතිමය තත්වයන් පිළිබඳව මෙන්ම පවතින නීතිමය ගැටළු පිළිබඳව සාකච්ඡා සිදු කරමින් නීතිය පිළිබදව පවතින දැනුම එකිනෙකා අතර බෙදා ගැනීමේ අවස්ථාව හිමි කර දී ඇති අතර ලොව පුරා සම්භාවනීය පුද්ගලයින් මෙම සමුළුව සදහා සහභාගීවිය.
 
ලෝක නීති සම්මේලනය තුළ සාකච්ඡාවට ලක්වන නීතිමය කරුණු රාජ්‍ය නායකයින්, විනිශ්චයකාරවරුන්, නීති ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන්, නීතිඥයින්, හා නීති ශිෂයින් අතර පොදුවේ බෙදා ගැනීමේ අවස්ථාව ලබා දී තිබුණි.
 
මානව හිමිකම්, මූල්‍ය නඩු , අධ්‍යාපන, ව්‍යවස්ථා කටයුතු,  බුද්ධිමය දේපළ, නිදහස් මාධ්‍ය වේදය, ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය හා සම්බන්ධ මාතෘකා පිලිබදව සාකච්ඡා සිදු කරනු ලබන අතර ලොව පුරා සිටින කීර්තිමත් නීතිවේදීන්ට අමතරව මාධ්‍ය වේදීන්, දේශපාලනඥයින්,ව්‍යාපාරිකයින්,තානාපතිවරුන්, සහ වෙනත් විද්වත් වෘත්තිකයින් ද සමුළුවට සහභාගි වේ. 
 
නීතියේ ආධිපත්‍යය ,ආරක්ෂක උපායමාර්ග,නෛතික සහතිකය යන මැයෙන් පැවැත්වු සමුළුවට අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා, හිටපු ප්‍රංශ අග්‍රාමාත්‍ය Manuel Valls, තානාපති  Itamar Rabinovich, ඇමෙරිකානු එක්සත් ජනපදයේ හිටපු ආරක්ෂක ලේකම් හා මධ්‍යම බුද්ධි ඒජන්සියේ අධ්‍යක්ෂක Leon Edward Panetta, ස්පාඤ්ඤයේ සහ ඉතාලියේ ආරක්ෂක අමාත්‍යවරුන් වන Maria Dolores de Cospedal  සහ  Giampaolo Di Paola යන මහත්වරුන් ද එක් වූහ.
 

නව අදහස දක්වන්න