දස්කොන් - ප්‍රමිලා‍ ප්‍රේම කතාව ඇත්තක්ද? | දිනමිණ

දස්කොන් - ප්‍රමිලා‍ ප්‍රේම කතාව ඇත්තක්ද?

 

සෙංකඩගලපුර ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුට එරෙහිව එදා කුමන්ත්‍රණ දෙකක් ක්‍රියාත්මක විය. ඉන් එකක් වූයේ රජ බිසව ප්‍රමිලා සහ මහ අධිකාරම වූ දස්කොන් (ගැස්කොන්) අතර අනිසි ප්‍රේමයක් ඇතැයි උඩරට පුරා ප්‍රචලිත කර හැරීමේ කුමන්ත්‍රණයයි. එය නරේන්ද්‍රසිංහයන්ට ලජ්ජාවක් අත්කර දීමටත්, දස්කොන්ට මරණීය දණ්ඩනයට ලක්වීමටත් සිදුවූ ඛේදජනක ජනප්‍රවාදයකි. සැබැවින්ම එය, විදේශිකයන් උඩරටට පැමිණ විවිධ වරප්‍රසාද ලබා ගැනීමත්, භික්ෂූන් වහන්සේට අනුග්‍රහයක් ‍ෙනාදැක්වීමත්, රාජ්‍ය පාලනය පිළිබඳව රජු උනන්දුවක් නොදැක්වීමටත් එරෙහිව ගිය කුමන්ත්‍රණයකි. ඇත්තෙන්ම දස්කොන් - ප්‍රමිලා පෙම් කතාව ඒ වෙනුවෙන් ගෙතූ ප්‍රබන්ධයක්ද?

සිංහල විශ්වකෝෂයට අනුව අධිකාරම යනු වර්තමාන අගමැති ධුරයට සමාන තනතුරකි. දස්කොන් නොහොත් පේඩ්රො ගැස්කොන් ද උඩරට රාජධානි සමයේ එවන් තනතුරක් දැරුවෙකි. ඔහු මහ අධිකාරම තනතුර දැරුවේ සෙංකඩගලපුර රජ කළ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ සමයේය. ඔහු පිළිබඳ මූලාශ්‍රයක් ආර්.එච්. බැසට් රචිත Romantic Ceylone කෘතියේ එයි. එහි කියැවෙන පරිදි දස්කොන්ට තිබී ඇත්තේ දුටුවන් සිත් ගන්නා සුළු රූපයකින් යුතු ආරෝහ පරිනාහ දේහයකි.

ගැස්කොන් යනු ප්‍රංශ පියකුට දාව පෘතුගීසි මවකට උපන් දරුවකු බව කියැවේ. දෙවැනි රාජසිංහ රජ සමයේ ප්‍රංශ නැව්පතියකු වූ ‘ද ලාහේ’ නමැත්තා සමඟ සෙංකඩගලපුරයට පැමිණි පිරිසක් උඩරට ප්‍රදේශයේම සිරගත කෙරිණි. එම පිරිස අතර සිටි ගැස්කොන් නමැත්තා පේඩ්රො ගැස්කොන්ගේ පියා ලෙස සැලකෙයි.

ළමා වියේදී ඔහුට පෘතුගීසි භාෂාව ඉගැන්වූයේ ජාකොමෙ ගොන්සාල්වේස් පියනමය. ගැස්කොන්ට මූලික අධ්‍යාපනය ලබා දී ඇත්තේ දෙවන විමලධර්මසූරිය රජ දවස මෙරටට පැමිණ කතෝලික දහම ව්‍යාප්ත කරලීමට උර දුන් ජුසේ වාස් පියනමය. ගැස්කොන්ට සිංහල භාෂාව උගන්වා ඇත්තේ එකල සූරියගොඩ පන්සලේ වැඩ විසූ සූරියගොඩ රාජසුන්දර ස්ථවිරයන් බව “සරණංකර සංඝරාජ සමය” කෘතිය සඳහන් කරයි.

නරේන්ද්‍රසිංහ රජුට සිහසුන උරුම වන්නේ 17 වැනි වියේදීය. ඊට පෙර, පියරජු වූ දෙවැනි විමලධර්මසූරිය රජු මියයාමට පෙර නරේන්ද්‍රසිංහ කුමරුට සහකාරියක සොයනු සඳහා වර්ෂ 1705 දී දූත පිරිසක් මදුරාපුරයට යැවූ බව ඓතිහාසික ලේඛන පෙන්වා දෙයි. නරේන්ද්‍රසිංහ රජු ‘ප්‍රමිලා’ සමඟ විවාහ වන්නේ ඒ අනුව විය හැකිය.

එනමුත් නරේන්ද්‍රසිංහ රජු ස්ත්‍රීන්ට, මත්පැනට හා විනෝදයට ලොල් වූ අයෙක් බව තත්කාලීන උඩරට ජනතාව අතර ප්‍රචලිතව තිබිණි. සැබැවින්ම ඔහු රාජ්‍ය පාලනයේ යෙදුණේ මහනුවර රජ මාලිගයේ සිට නොව කුණ්ඩසාලේ තැනූ රජ මැදුරේ සිටය. කෙසේ වුවද ළා බාල නරේන්ද්‍රසිංහ රජුට තම පියා තුළ වූ රණශූරත්වය හෝ උපක්‍රමශීලී බව උරුම වී නොතිබිණි. ඒ හේතුව නිසාම ඇතැම් උඩරට රදල ප්‍රධානීහු රජුට රහසින් සතුරු වූහ.

නරේන්ද්‍රසිංහයන්ගේ රාජපදවිප්‍රාප්තියෙන් වසර දෙකක් ඉක්ම යාමට මත්තෙන් ඔහුට එරෙහිව “මරණීය කුමන්ත්‍රණයක්” ආරම්භ වූයේ එහෙයිනි. රජුට සමීපව සිටි රදල නිලමේවරුන් කිහිප දෙනෙකු සාකච්ඡා කර රජු සිහසුනෙන් පළවා හැරීමට කුමන්ත්‍රණයක නිරත වූහ. ඒ අනුව මහමළුවේ ඇත් පොරයක් සංවිධානය කෙරිණි. ඊට මුල් වූයේ යාලේගොඩ මහ අධිකාරම, කිරිවවුලේරාල සහ ඒදඬුවාවේරාල යන තිදෙනාය.

ඇත්පොරය නැරඹීම සඳහා නරේන්ද්‍රසිංහ රජුට ආරාධනය කොට එහි පැමිණි පසු ඔහු ඝාතනය කරවීම ඔවුන්ගේ අපේක්ෂාව විය. අනතුරුව ‘පට්ටියේ බණ්ඩාරට’ සිහසුන උරුම කර දීම ඔවුන්ගේ සැලසුම විය.

එනමුත් මේ කුමන්ත්‍රණය රජුගේ හිතවතුන්ගේ කනට ගියේය. රජුට සමීපව සිටි දස්කොන්, දෙවන අධිකාරම වූ රන්මොළක, මාදන්වල, ඇහැලේපොල, මොනරවිල, මාම්පිටියේ, හීනටිකුඹුරේ සහ රන්නැකරාල මේ කුමන්ත්‍රණය හෙළි කිරීම නිසා රජු උඩවත්ත කැලයට පලාගොස් දිවි බේරා ගත්තේය. එහිදී රජුගේ දිවි බේරා දීමට කැපවීමෙන් ක්‍රියා කළේ දස්කොන්ය.

කුඩා කල නරේන්ද්‍රසිංහ කුමරුට අශ්වයන් පිට යාමට පුහුණු කරමින් රජවාසලේ නිතර ගැවසුනු දස්කොන් මෙවර රජුගේ දිවි බේරා දීමට ඉදිරිපත් වූ බැවින් ඔහුට මහ අධිකාරම තනතුර පිරිනැමිණි. කුමන්ත්‍රණය මෙහෙය වූ හිටපු මහ අධිකාරම යාලේගොඩ ඇතුළු පිරිසට මරණ දඬුවම නියම කෙරිණි. එහෙත් නරේන්ද්‍රසිංහයන්ට එරෙහි කුමන්ත්‍රණ එයින් නැවතුණේ නැත. ඒ ආසන්නයේම දෙවැනි කුමන්ත්‍රණය ද ඊට වෙනස් අයුරින් ක්‍රියාත්මක කෙරිණි. ඒ වනවිට රජු, ප්‍රමිලා බිසවගේ ඥාතීන්ට වඩාත් සමීප වී සිටියේය. බෞද්ධාගමට අනුග්‍රහයක් නොදක්වා අන්‍යලබ්ධිකයන්ට සෙංකඩගලපුරට පිවිසීමේ ඉඩකඩ ද ඒ වනවිට වැඩිපුර විවෘත කර තිබිණි.

එකල කොලොම්පුරයේ බලය අල්ලාගෙන සිටියේ ලන්දේසීහුය. ඔවුහු උඩරට අල්ලා ගැනීමේ චේතනාවෙන් පසු වූහ. ඒ සඳහා මඟක් සොයමින් සිටි ලන්දේසීහු ඊට තානාපතියකු ලෙස යොදවා ගත්තේ ජාකොමෙ ගොන්සාල්වේස්ය. ඔහු නරේන්ද්‍රසිංහ රජුත් සමඟ සමීප සම්බන්ධයක් ඇති කර ගැනීමට සමත් විය. එහෙයින් ඔහුට ද වරප්‍රසාද ලැබිණි. ඊට අමතරව ජෝසප් වාස්, ඉග්නේෂස් අල්මේදා, කර්වල් හෝ කැල්වින්වාදී ක්‍රිස්තියානුවන් වූ එම්.ඩී. ද ලැනරෝල් ආදීන්ට ද නගරය විවෘත වූවා පමණක් ‍ෙනාව ආගම් ව්‍යාප්තිය සඳහා ද රජුගේ අනුග්‍රහය ලැබිණි.

මේ නිසා ඒ වන විට උඩරට සිංහල ප්‍රධානීන්ටත්, භික්ෂූන්ටත් රාජ්‍ය පාලන කටයුතු කෙරෙහි පැවති බලතල අඩු වී යමින් පැවතිණි. පේඩ්රො ගැස්කොන්ට මහ අධිකාරම තනතුර ලබාදීම නිසා රාජ සභාව තුළ පක්ෂ හා විපක්ෂ කණ්ඩායම් දෙකක් ගොඩනැගිණි. රජුට පක්ෂ වූයේ ප්‍රමිලා බිසවගේ නායක්කාර් වංශික ප්‍රධානීන්ය. සිංහල රදල ප්‍රධානීන් මෙසේ දෙපිලකට වෙන්වීම උඩරට රාජධානියේ පැවැත්මට ද බෙහෙවින් බලපෑ කාරණාවක් විය. මේ අභ්‍යන්තර කලබගෑනිවල අවසන් ප්‍රතිඵලය වූයේ තවත් කුමන්ත්‍රණයකට මඟ පෑදීමය.

මහ අධිකාරම ලෙස දස්කොන් නිතර රාජවාසල තුළ සිටියේය. ලන්දේසීන්ට හිතවත් ගොන්සාල්වේස් පියනමගේ වුවමනාවන් රජුට සැල කර සිටියේත් දස්කොන්ය. මෙනිසා දස්කොන් රජ මැදුරින් පලවා හැරීමේ මෙකී කුමන්ත්‍රණය සැලසුම් කෙරුණේ රජුගේත් ගුරුවරයා වූ සූරියගොඩ රාජසුන්දර තෙරුන්ගේ මූලිකත්වයෙනි. ලෙව්කේ බණ්ඩාර ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

කුමන්ත්‍රණකරුවන්ගේ සැලසුම වූයේ නරේන්ද්‍රසිංහ රජුගේ මදුරා මෙහෙසිය වූ රූමත් ප්‍රමිලා බිසව සමඟ මහ අධිකාරම් දස්කොන් ප්‍රේම සම්බන්ධයක් පවත්වන බව උඩරට පුරා ප්‍රචලිත කර හැරීමය. එක් ප්‍රධානියෙක්, එය රජුගේ කනට ද යොමු කළේය. එය සැබෑවක් ද යන්න සොයා බැලීමට රජුට අවශ්‍ය විය. ඒ සඳහා කල් යල් බලමින් සිටි රජුට ලැබුණු උපදේශයකින් කියවුණේ බිසවට වැලඳී ඇති රෝගයකට බලි ශාන්තිකර්මයක් කළ යුතු බවය. ඒ සඳහා බිසවගේ රූපයට සමාන බලි රූපයක් ඇඹිය යුතු විය. එම බලිය බිසවගේ රූ සපුවට අතිශයින්ම සමාන වන තරමට ශාන්තිකර්මයේ ගුණ ලැබෙන බව බලි ඇදුරන්ගේ විශ්වාසය විය.

බලි රූපය අඹද්දී රූපයේ කලවයකට ලපයක් තබන ලෙස වරක් ඇදුරන්ට උපදෙස් ලැබිණි. ඒ පිළිබඳව විමසූ විට රජුට දැන ගන්නට ලැබුණේ ලපය තැබීමට උපදෙස් ලැබුණේ දස්කොන්ගෙන් බවය.

රජුට සැකය තහවුරු වෙයි. දස්කොන් සිරගත කිරීමට රජු නියෝග කරයි. නමුත් ප්‍රමිලා බිසවගේ ලපය පිළිබඳව සැබැවින්ම දස්කොන් දැන සිටියාද? එය දැනගත්තේ බිසවගේ මෙහෙකාරියකගෙන් ද? බලි ඇදුරන් කුමන්ත්‍රණකරුවන්ගේම ඉත්තන්ද? මේ සියල්ලම කුමන්ත්‍රණකරුවන්ගේ වැඩ පිළිවෙළට අයත් ඒවා ද යන්න පිළිබඳව ඇත්තේ කුකුසකි.

මෙම සිදුවීම වූයේ 1721 වසරේදී බව කියැවේ. දස්කොන්ට මරණීය දණ්ඩනය නියම කරන තුරු සිර ගෙයි සිටියදී ඔහුගේ නිර්දෝෂීභාවය ගැන කියමින් ඔහු කාව්‍ය කෘතියක් රචනා කරන ලද බව ද, එය ‘නෝක්කඩුමාලය’ නම් වූ බව ද කියැවේ.

එහෙත් එය රජු වෙත යවන්නට පෙර කුමන්ත්‍රණකරුවන් අතට පත් වෙයි. රජු දස්කොන්ගේ නිරවද්‍යභාවය එමඟින් දැන ගන්නට පෙර රජුගේ නියෝගයෙන් දස්කොන් මරණ දඬුවමට යටත් වෙයි. ඔහුගේ හිස ගසාලන්නේ කුමන්ත්‍රණයට සම්බන්ධ වූ ලෙව්කේ බණ්ඩාර විසිනි. එබැවින් දස්කොන් - ප්‍රමිලා ප්‍රේම කතාව අනුවේදනීය කතාවක් පදනම් කරගෙන කුමන්ත්‍රණකරුවන් පිරිසක් විසින් තැනූ ප්‍රබන්ධයක් විය නොහැකිද?

මැදගම ධම්මානන්ද හිමියෝ සිය ලිපියක මෙසේ සඳහන් කරති. ‘බිසවගේ බලි රූපයේ ලප තැබීම වුව ද දස්කොන් අමාරුවේ දමන්නට සිදු කළ කුමන්ත්‍රණයක් විය හැකිය.’

කෙසේ වුවද මෙය කිහිප දෙනකු ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණයක් බව රජුට වැටහෙන්නේ දස්කොන් මරණීය දණ්ඩනයට යටත් කොට දින කිහිපයකට පසුවය. එහි සුලමුල හෙළි කර ගන්නා විට එහි මුලටම සිටියේ තමන්ගේම ගුරුවරයා වූ සූරියගොඩ රාජසුන්දර තෙරුන්නාන්සේය. දෙවනුව, දස්කොන්ගේ හිස ගසා දැමූ ලෙව්කේ බණ්ඩාරය.

එහෙයින් රාජද්‍රෝහියකු ලෙස නම් කළ සූරියගොඩ හිමියන්ගේ හිස ගසා දැමීමට රජු පසුබට නොවීය. ලෙව්කේ බණ්ඩාර මාකෙහෙල්වල සිරගත කෙරිණි. ඔහු නොමැරීමට රජු තීරණය කළේ ඇයිදැයි යන්න අනාවරණය නොවූ රහසකි.

සූරියගොඩ හිමියන් සතුව තිබූ විහාර ‍ෙද්පොළ සහ නින්දගම් සියල්ල උඩපොළ අප්පු නමැත්තාට පවරා දෙනු ලැබූ බව ද ඒ හිමියන්ගේ ඥාතීහු බින්තැන්නට ගෙන ගොස් සිරගත කෙරුණු බව ද “සරණංකර සංඝරාජ සමය’’ කෘතිය සඳහන් කරයි.

එසේ බලන විට දස්කොන් නිවැරැදිය. එහෙයින් දස්කොන් - ප්‍රමිලා ප්‍රේම කතාව රජුත්, දස්කොනුත් අමාරුවේ දැමීමට කුමන්ත්‍රණකරුවන් විසින් ගොතන ලද ප්‍රබන්ධයක්ද?

 

(සංවාදයට විවෘතයි)

 

  බන්ධුල ගුණරත්න

නව අදහස දක්වන්න