වැලිකඩ සිරකරු ඝාතනය : හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන්ට මරණ දඬුවම | දිනමිණ

වැලිකඩ සිරකරු ඝාතනය : හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන්ට මරණ දඬුවම

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ රැදවියන් 27දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (12) මරණීය දණ්ඩනය නියම කළේය. 
 
එම නඩුවේ චෝදනා ලැබ සිටි පළමු විත්තිකරු වූ එවක පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක ලෙස කටයුතු කළ නියෝමාල් රංගජීව මහතා අධිකරණය විසින් චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරනු ලැබීය.
 
ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේය.
 
2012 වසරේ නොවැම්බර් මස 09 වන දින පොලිස් විශේෂ කාර්යය බළකාය වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුර ඇතිවූ නොසන්සුන්තාවයේදී රැඳවියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර එවකට පොලිස් විශේෂ කාර්යය බළකායේ අණදෙන නිලධාරියාව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක්ද තුවාල ලැබීය.
 
කෙසේවෙතත් අදාළ සිදුවීමේදී රැඳවියන් 08 දෙනෙකු බන්ධනාගාරය තුළ පිහිටි කාර්මික අංශය නැමති ප්‍රදේශයට රැගෙන ගොස් මරාදැමීම, කුමන්ත්‍රණය කිරීම, නීතිවිරෝධි ජන ඒකරාශිය ඇතුළු චෝදනා 33ක් යටතේ නීතිපතිවරයා විසින් 2019 ජුලි මස 04වන දින සැකකාර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා යන අයට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීම සිදු කළේය.
 
ඒ අනුව අදාළ නඩුව වසර දෙකකට වැඩි කාලයක් විභාග කෙරුණි. 
 
 
 

නව අදහස දක්වන්න