දසුන්ගේ මංගල ශතකය අපතේ යද්දී සිම්බාබ්වේ තරගාවලිය සම කරයි | දිනමිණ

දසුන්ගේ මංගල ශතකය අපතේ යද්දී සිම්බාබ්වේ තරගාවලිය සම කරයි

නායක දසුන් ශානකගේ මංගල එක්දින ශතකය අපතේ යවමින් සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ‍මහනුවර පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවති දෙවැනි දිවා රාත්‍රී එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 22ක පරාජයක් අත් විය.

මේ ජය සමඟ තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1-1ක් ලෙස සම කර ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායමට හැකි විය.

තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ පිල ලකුණු 302ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිලට ඕවර 50 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 280ක් පමණි.

ලකුණු 63කට කඩුලු 4ක් අහිමිව තිබියදී පිටියට පිවිස මංගල එක්දින ශතකය රැස් කරමින් කණ්ඩායමට ජයග්‍රහණයේ බලාපොරොත්තු ගෙන ඒමට නායක දසුන් ශානක සමත් වුවත් මුල් පෙළ පිතිකරුවන්ගෙන් ඉනිමට සාර්ථක දායකත්වයක් ලැබී නොතිබීම නිසා ශ්‍රී ලංකා පිලට පරාජය විඳ ගැනීමට සිදු විය.

කමිඳු මෙන්ඩිස් සමඟ 5 වැනි කඩුල්ලට පන්දු 120කින් ලකුණු 118ක් එක් කළ ශානක, චාමික කරුණාරත්න සමඟ එක්ව 6 වැනි කඩුල්ලට ගොඩනැඟූ සබඳතාව ලකුණු 66කි.

මංගල එක්දින අර්ධ ශතකය රැස් කළ කමිඳු පන්දු 82කදී හතරේ පහර 4ක් සමඟ ලකුණු 57කට දැවී ගිය අතර, හයේ පහරකින් සිය මංගල එක්දින ශතකය රැස් කළ ශානක ඊළඟ පන්දුවෙන් දවා ගැනීමට ටෙන්ඩායි චාටාරා සමත් විය.

පන්දු 94කට මුහුණ දුන් ශානක හතරේ පහර 7කින් සහ හයේ පහර 4කින් ඉනිම වර්ණවත් කර ගත්තේය.

චාමික කරුණාත්න පන්දු 38කදී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 34ක් ඉනිමට එක් කළේය.

කෙසේ වෙතත් තරගයේ මුල සිටම ලකුණු රැස් කිරීමේ වේගය අනුව ශ්‍රී ලංකා පිතිකරුවන්ට සිම්බාබ්වේ පිල අබිබවා යෑමට අවස්ථාවක් නොලැබිණි.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේදී ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් (7) සහ පැතුම් නිස්සංක (16) ලකුණු 25ක් වෙද්දීත් තවත් ලකුණු 6ක් තුළ ජ්‍යෙෂ්ඨ පිතිකරු දිනේෂ් චන්දිමාල් (2) ද ප්‍රේක්ෂකයන්ට බවට පත් කිරීමට සිම්බාබ්වේ පන්දු යවන්නන් සමත් වූ අතර, ලකුණු 63ක් වෙද්දී වැඩ බලන උප නායක චරිත් අසලංක (21) ද දැවී ගිය පිතිකරුවන් අතරට එක් වීමෙන් ශ්‍රී ලංකා පිල අසීරු තත්ත්වයකට පත් විය.

පළමු තරගයේදී මෙන්ම ඊයේ තරගයේදීත් ආරම්භක පිතිකරුවන් දෙදෙනාම පිටියෙන් ඉවත් කිරීමට ජෙෆ්රි වැන්ඩේසේට හැකි විය. ලකුණු 59දී ටකුස්වනාෂි කයිටානෝ 26) පන්දුව කඩුල්ලේ වැදීමෙන් දැවී ගිය අතර, ලකුණු 47ක් රැස් කර සිටි රෙජීස් චකබ්වා කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ස්ටම්ප් කිරීමට හසු කර ගැනිණි.

ලකුණු 90දී දෙවැනි කඩුල්ල බිඳ වැටීමෙන් පසු එක් වූ නායක ක්‍රෙග් අර්වින් සහ ෂෝන් විලියම්ස් ලකුණු 106ක සබඳතාවක් සමඟින් මුළු ලකුණු සංඛ්‍යාව 196 දක්වා ඉදිරියට ගෙන ගියහ.

පළමු තරගයේදී ශතකයක් රැස් කළ විලියම්ස් මේ තරගයේදී අර්ධ ශතකයට ලකුණු 2ක් පසුපසින් සිටියදී ස්ටම්ප් කිරීමකට හසු වීමෙන් එම සබඳතාව නිමා වූ අතර, එවර ද පන්දු යවන්නා වූයේ වැන්ඩේසේය. පන්දු 56කට මුහුණ දුන් විලියම්ස් හතරේ පහර 3ක් එල්ල කර තිබිණි.

අංක 6 පිතිකරු ලෙස පිටියට පිවිසි සිකන්දර් රාසා වේගවත් ලකුණු 56ක් රැස් කරමින් සිම්බාබ්වේ පිල ලකුණු 300 සීමාව රැගෙන ගියේය.

අර්වින් සමඟින් 5 වැනි කඩුල්ලට ලකුණු 51ක් එක් කළ රාසා ඉනිමේ අවසන් පන්දුවෙන් දැවී යන විට පන්දු 46කදී හතරේ පහර 4ක් සහ හයේ පහරක් ඉනිමට එක් කර තිබිණි.

නායක අර්වින් 5 වැනි කඩුල්ල ලෙස දැවී යන විට පන්දු 98කදී හතරේ පහර 10ක් සමඟ රැස් කර තිබූ ලකුණු සංඛ්‍යාව 91කි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයේදී එක් වෙනසක් සිදු කර තිබූණේ පළමු තරගයේදී මංගල අන්තර්ජාතික තරග වරම් ලැබූ චාමික ගුණසේකර වෙනුවට දුෂ්මන්ත චමීර කැඳවමිනි.

වේග පන්දු යවන්නකු ලෙස චාමික කණ්ඩායමට එක් වූ අතර, ආබාධයකට ලක්වීම හේතුවෙන් එම තරගයේදී ඔහුට යැවිය හැකි වූයේ ඕවරයක් පමණි.

සිම්බාබ්වේ පිල පළමු තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමම මේ තරගයටත් එක් කර තිබිණි.

මේ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක ධනංජය ද සිල්වා තරගාවලියට එක් නොවන බැවින් කණ්ඩායමේ වැඩ බලන උප නායකයා ලෙස චරිත් අසලංක පත් කිරීමට කටයුතු කර තිබේ. දෙපිල අතර අවසන් තරගය සිකුරාදා (21) පැවැත්වේ.

නව අදහස දක්වන්න