සංචාරක ක්ෂේත්‍රයේ නවමු නැග්ම | දිනමිණ

සංචාරක ක්ෂේත්‍රයේ නවමු නැග්ම

ගෝලීය වසංගත තත්ත්වය යටතේ වැඩිම බලපෑමට ලක්වූ ක්ෂේත්‍ර අතර සංචාරක ව්‍යාපාරය ද ඉහළින්ම තිබේ. 2020 වසරේදී මුළුමනින්ම පාහේ ද 2021 වසරේදී විශාල වශයෙන්ද එය බිඳ වැටිණි. ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස සංචාරකයන් අතර ප්‍රකට ශ්‍රී ලංකාවට ද එම බලපෑම් විශාල වශයෙන් අදාළ විය. 2020 වසරේදී මාස 9ක් පමණ එක් සංචාරකයෙක් හෝ රටට නොපැමිණියේ වසංගත තත්ත්වය යටතේ රට ලොක්ඩවුන් කිරීමට ද සංචරණ සීමා පැණවීමට ද සිදුව තිබූ පසුබිමකය. වසංගතය පැමිණ දෙවසරකට පසුව, 2022 වසර උදාවත් සමඟ සංචාරක ව්‍යාපාරය පිළිබඳ යළි අපේක්ෂා දල්වා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවී ඇති බව පෙනෙන්නට තිබේ. සංචාරක ව්‍යාපාරය ඍජු හා වක්‍ර ආදායම් මාර්ගයක් කරගත් මෙරට මිලියන 3කට ආසන්න ජනතාවකට ද රටේ ආර්ථිකයට ද එය සුබ පණිවිඩයක් වනු ඇත. වසංගතය හේතුවෙන් කොළඹ නගරයේ ද සංචාරකයන් අතර ජනප්‍රිය සෙසු නගර සහ ස්ථානවල ද එක් සංචාරකයෙක් හෝ දැකගැනීමට නොමැති ස්වභාවයක් වසරකට ආසන්න කාලයක් තිබිණි. මේ වන විට කොළඹ නගරයේ පවුල් පිටින් පැමිණ සිටින සංචාරකයන් දැක ගත හැකිය. දුම්රිය ස්ථානවලදී මෙන්ම සංචාරක ආකර්ෂණීය ස්ථානවලදී ද ඔවුන් විශාල ලෙස හමුවේ.

2022 ජනවාරි 1 වැනිදා සිට ගෙවී ගිය දින 19ක කාලසීමාව තුළ මෙරටට පැමිණි සංචාරකයන් ගණන 51583ක් බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි. මේ අතරින් වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙනි. එම සංඛ්‍යාව 9000ට ආසන්නය. යුක්‍රේනයෙන් ආ සංඛ්‍යාව 5000 ඉක්මවා ඇත. ඉන්දියානුවන් සංඛ්‍යාව 8000ක් පමණ වන අතර, බ්‍රිතාන්‍ය සහ යුරෝපා රටවලින් ද 9000 ඉක්මවූ පිරිසක් මෙහි පැමිණ තිබේ. මින් පිළිබිඹු වන වැදගත්ම කාරණය නම් තවමත් වසංගත තත්ත්වය පහව ගොස් නැති පසුබිමක වුවද ශ්‍රී ලංකාව සංචාරය සඳහා සුදුසු මෙන්ම ආරක්ෂිත රටක් ලෙස සංචාරකයන් අතර විශ්වාසය තහවුරුවී තිබීමය. සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ වෙබ්අඩවි, මතවිමසුම් ආදියෙන් ද ඒ බැව් සනාථ කෙරෙන අතර, ආසියාවේ සංචාරය සඳහා ආරක්ෂිතම රටක් ලෙස ශ්‍රී ලංකාව යළිත් සංචාරක කර්මාන්තයේ ඉදිරියට පැමිණෙමින් සිටී.

පාස්කු ප්‍රහාරය

කොවිඩ් වසංගතය ලොව ව්‍යාප්තවීමට පෙර, 2019 වසරේදී මෙරටට ආ සංචාරකයන් ගණන දහතුන්ලක්ෂය ඉක්මවීය. එම වසරේ අප්‍රේල් මස සිදු වූ පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයත් සමඟ ද සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් ඇති විය. ක්‍රමයෙන් වසර අග වන විට සංචාරක කර්මාන්තය යම් තත්ත්වයට පත්වීම ඇරැඹීමත් සමඟම කොවිඩ් වසංගතය පැමිණියේය. ශ්‍රී ලංකාවේ කොවිඩ් ව්‍යාප්තිය වේගවත් වූයේ 2020 අප්‍රේල් මාසයත් සමඟය.

ඊට පෙර රට ලොක්ඩවුන් කිරීම ද සිදුවූ අතර, පළමු වටය ශ්‍රී ලංකාව ඉතා සාර්ථක ලෙස පාලනය කිරීමට සමත්විය. මේ අවදියේ දී ලෝකය පුරාම පාහේ සංචරණ සීමා ක්‍රියාත්මක වූ බැවින් ඇතැම් විදේශිකයන්ට මෙරටම යම් කාලයක් ගත කිරීමට සිදුවිය. වසංගතය ආරම්භයත් සමඟ මෙහි සංචාරය කර රටින් පිටව ගිය සංචාරකයන්ගෙන් වැඩිදෙනා ශ්‍රී ලංකාව පිළිබඳ කතා කළේ ප්‍රශංසනීය ලෙසය. ඉන් ඇතැම්හු සිය අදහස් බ්ලොග් මඟින් ප්‍රකාශයට පත් කළ අතර, වසංගතයේ ගිලී සිටින තම රටවලට ශ්‍රී ලංකාවෙන් පාඩම් උගත හැකි බව පවා ඒවායේ සටහන්ව තිබිණි. 2020 දී ද මෙරටට සංචාරකයන් පන්ලක්ෂයකට වැඩි පිරිසක් පැමිණ තිබිණි. 2021 දී සංචාරක පැමිණීම් සටහන්ව ඇත්තේ දෙලක්ෂයකට ආසන්න ප්‍රමාණයකි. මෙසේ බලන කල මේ වර්ෂයේ ආරම්භය ඉතා සුබදායකය.

ආගන්තුක සත්කාරය

ශ්‍රී ලංකාව මේ තත්ත්වය වර්ධනය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මෙන්ම මෙලෙස පැමිණෙන සංචාරකයන්ගේ සුව පහසුව, තෘප්තිමත් බව, ආරක්ෂාව ආදී කාරණා සම්බන්ධයෙන් ගෙන ඇති පියවර සහ තවදුරටත් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය යොමු කිරීම විය යුතුය. ලොව ආකර්ෂණීය සංචාරක ගමනාන්ත අතර ශ්‍රී ලංකාව ද ඇත්තේ මෙරට මනරම් සොබා සුන්දරත්වය, දේශගුණය, සංස්කෘතිය හා උරුමය, සංග්‍රහශීලී බව හා ආගන්තුක සත්කාරයට ඇති ළැදියාව ආදී කාරණා හේතුවෙනි. මේ සෑම දෙයක්ම නොඅඩුව පවත්වා ගන්නා අතරම අගය එකතු කිරීම් ද අප අතින් විය යුතුය.

ඉතා සරලව පවසන්නේ නම් සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය සම්බන්ධයෙන් මූලික කාරණයක් වන්නේ මෙහි පැමිණි සංචාරකයන් කොපමණ දුරට තෘප්තිමත්වී ද යන බවය. එහිදී අපට ලකුණු 10/10ක් ගත හැකි නම් ඉතාමත් හොඳය. හැකි තරම් අප වෑයම් කළයුතු වන්නේ ද එතැන සිටීමටයි. කෙසේවුවද, එය 9/10 හෝ 8/10 ට වඩා පහතින් නොපැවතීමට වගබලාගන්නේ නම් ඉතාමත් හොඳය. එම ප්‍රමුඛ වගකීම රාජ්‍ය යන්ත්‍රණය අත පැවැතිය ද රජය විසින් අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීම, ප්‍රතිපාදන හා පහසුකම් සැලැස්වීම, ආරක්ෂාව සහතික කිරීම, ප්‍රවර්ධන කාර්යයන් සිදු කිරීම ආදී කාර්යභාරය ඉටුකිරීමත් සමඟ ඉතිරි කොටස සපුරාලිය යුතු වන්නේ සංචාරක ව්‍යාපාරයේ නියැළෙන අය එනම් සංචාරක හෝටල්, සංචාරක නියෝජිතායතන, මාර්ගෝපදේශකයන් ආදී අංශ විසිනි. සංචාරකයන් සඳහා තැඹිලි අලෙවිකරමින් ජීවිකාව පවත්වාගෙන යන පුද්ගලයකුගේ ආචාරශීලී බව, සිනහව, අවංක බව, සංචාරකයන් සිය ගමනාගමන පහසුකම් සඳහා තෝරාගන්නා කුලී රථයක රියැදුරාගේ ආචාරශීලී බව, අවංක බව, සංචාරකයන් නවාතැන් පහසුව සලසාගන්නා හෝටල, නිකේතන ආදියේ පහසුකම් හා එම කාර්යමණ්ඩලවල ආගන්තුක සත්කාරය ආදී කාරණා ශ්‍රී ලංකාව ලොව ජනප්‍රියම සංචාරක ගමනාන්ත අතර තවදුරටත් ලොව ඉහළින් ඔසොවා තැබීමට තීරණාත්මක ලෙස වැදගත්ය.

වරක් මෙහි තනිවම පැමිණි සංචාරකයෙක් ඊළඟ වතාවේ සිය පවුලම සමඟ සංචාරය සඳහා පැමිණෙන්නේද මේ වසරේ මෙහි පැමිණි සංචාරකයන් ලබන වසරේදී හෝ ඊළඟ වසරවලදී ද සිය නිවාඩු සමය මෙහි ගත කිරීම සඳහා තෝරාගන්නේද මේ සියලු සාධක සැලකිල්ලට ගැනීමෙනි. සෑම විටම සර්ව සම්පූර්ණ තත්ත්වයක් අපේක්ෂා කළ නොහැකිය. ලොව කවර රටක වුවද සෑම අවශ්‍යතාවයන්ට උපරිමයෙන් තෘප්ති නොවන බව සංචාරකයෝ දනිති. එසේ වුවද රටක් වශයෙන් අපට දිය හැකි උපරිමය ලබාදීම අපේ යුතුකම වේ.

එහිදී අපට කළ හැකි, කළ යුතු බොහෝ දේ තිබේ. සංචාරකයෙක් ගුවන් තොටුපොළෙන් මෙරටට පා තැබූ මොහොතේ පටන් ආපසු නික්ම යන මොහොත දක්වාම ඔහුට දැනෙන හැඟීම සුබදායක වන තරමට අප සාර්ථකය. පසුගිය දිනවල ක්‍රියාත්මක වූ දුම්රිය වැඩ වර්ජනවලදී කොළඹ කොටුව ඇතුළු දුම්රිය ස්ථානවල අපහසුවට පත්ව සිටි සංචාරකයන්ගේ හැඟීම් කෙසේ වනු ඇති ද? විය යුතුව ඇත්තේ සංචාරකයන් සඳහා ප්‍රශස්ත පහසුකම් සැලසීමට දුම්රිය දෙපාර්තමේන්තුව වගබලා ගැනීමය. එය ඔවුන්ට කළ හැකිය. පළමුව එය තමන්ට කළ හැකිය යන හැඟීම ඉහළම නිලධාරියන්ගේ සිට කම්කරු සහෝදරයා දක්වාම ඇති විය යුතුය. අඩු-පාඩු හෝ දුෂ්කරතා ගැන මැසිවිලි නඟමින්, වැඩ වර්ජන දියත්කර දුම්රියට හා රටට ලැබෙන ආදායම අහිමි කරමින් හා රටේ ප්‍රතිරූපය විනාශ කරමින් කටයුතු කිරීම වෙනුවට පවත්නා දේවලින් උපරිමය සපයාදීමට ඔවුන් තුළ හැඟීමක් තිබීම අවශ්‍යය.

ප්‍රවාහන පහසුකම්

මෙය දුම්රියට පමණක් අදාළ කාරණයක් නොවේ. කොතැනටත් පොදුය. දුම්රිය කළ යුතුව ඇත්තේ ඔවුන් දැනටමත් සතුටුදායක මට්ටමකින් සංචාරකයන් සඳහා ලබාදෙන සේවා තවදුරටත් ඉහළ නැංවීමය. වැඩපිළිවෙළක් දියත් වන විට ඊට අවශ්‍ය පහසුකම් ද සැලසෙනු ඇත. තම සේවා ලබන දේශීය හා විදේශීය මඟී ජනතාව තුළ ඇති වන තෘප්තිමත්භාවයට මෙවැනි සේවා ඉහළට ගැනීමට හේතුවක් බව සේවක ප්‍රජාව අවබෝධකර ගත යුතුව ඇත. එහිදී සේවක තෘප්තිය ද වැදගත්ය.

වැඩ කරමින් තෘප්තිය ලැබීම සහ අයිතිවාසිකම් දිනාගැනීම පිළිබඳ මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරයට බොහෝ දේ හැදෑරීමට ඇති බව අපගේ හැඟීමය. ‘වෘත්තීය සමිති’ ජනතාවට තිත්ත වී ඇත්තේ එවැනි දියුණු භාවිතාවන්් ඒවායින් පිළිබිඹු නොවන බැවිනි. කෙසේ වුවද, මෙවැනි අවස්ථාවක අපහසුවට පත්වන සංචාරකයන් වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් සැලසීම, ඔවුන්ගේ කාලය නාස්තිවීමට ඉඩ නොතැබීම ආදී කාරණා සම්බන්ධයෙන් සංචාරක බලධාරීන්ට හා වගකිවයුතු ආයතනවලට පැවරෙන්නේ ද විශාල වගකීමකි. සංචාරක පොලිසියේ ද සහාය ලබාගනිමින් එම පහසුකම් සැලැස්වීම අදාළ ආයතනවලට කළ හැකිය. ඊට අවශ්‍ය සම්බන්ධීකරණය හෝ යන්ත්‍රණය නොපමාව ගොඩනැඟිය යුතුව පවතී. දැනටමත් එවැන්නක් තිබේනම්, මෙවැනි තත්ත්වයකදී එය ක්‍රියාවට නැංවෙනු දිස්විය යුතුය. එම ක්‍රියාමාර්ග නොපමාව සිදුවීම ද අවැසිය.

සංචාරක ප්‍රවර්ධන අධිකාරිය

සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධ වගකිව යුතු රාජ්‍ය ආයතනවලින් තොරතුරු හා සේවා ලබාගැනීමට ඇති පහසුකම් ද මීට වඩා පුළුල් හා කාර්යක්ෂම විය යුතුව පවතී. එහිදී දැනටමත් සතුටුදායක ක්‍රියාමාර්ග ගෙන තිබේනම්, එම වැඩපිළිවෙළ එලෙසින්ම ක්‍රියාත්මක වන්නේදැයි පසුවිපරම් කිරීමද බලධාරීන් කළ යුතුය. මෙම ක්ෂේත්‍රයේ අදාළ ආයතන අත්කරගෙන ඇති සාර්ථකත්වය ඉදිරියට ගෙනයාම මිසක එය කඩාවැටීමට ඉඩ නොතැබීම විය යුතුය. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය ඇතුළු ආයතන වසංගත අභියෝගයට මුහුණදෙමින් ගෙන ඇති සාධනීය ක්‍රියාමාර්ග අගය කරන අතරම මේ සෑම කාරණයක් සම්බන්ධයෙන් තමන්ට අදාළ පරිදි සහ තම විෂය පථයට පරිබාහිරව වුවද මැදිහත්වීම් කළ හැකි මට්ටමින් මැදිහත්වීම් කරමින් සෙසු අංශ සමඟ සහයෝගයෙන් ක්‍රියා කිරීම තවදුරටත් වර්ධනය විය යුතුය.

මෙය සාමූහිකව නැඟී සිටිය යුතු අවස්ථාවකි. සංචාරකයන් සඳහා තැඹිලි ගෙඩියක් අලෙවි කරන වෙළෙන්දාගේ පටන් සංචාරක ක්ෂේත්‍රයේ ඉහළම ප්‍රගතිය දක්වා එම සාමූහික හැඟීම, සාමූහිකව ක්‍රියාකිරීමේ හැකියාව ප්‍රගුණ කරන තරමට අපේ සංචාරක ව්‍යාපාරයේ හෙට දවස පැහැබරය. මෙහිදී සඳහන් කළ යුතු තවත් කාරණයක් නම්, සංචාරක ව්‍යාපාරයේ ප්‍රතිලාභ එම ව්‍යාපාරයේ බිම් මට්ටම දක්වාම සාධාරණ ලෙස බෙදීයන බවට වගබලා ගැනීමය. දැනට ඇති වැඩපිළිවෙළ ප්‍රමාණවත් නොවන්නේ නම් ඊට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ඇති විය යුතුය.

දේශීය නිෂ්පාදන හා කර්මාන්තකරුවන් දිරිගැන්වීම හා එම නිෂ්පාදන සඳහා හොඳ වෙළෙඳපොළක් ඇති කිරීමට ද මේ අවස්ථාව යොදාගත යුතුය. මෙවර අය වැයෙන් යෝජනා කළ කර්මාන්ත ගම්මාන වැඩපිළිවෙළ ඉතා සුදුසුය. මැටි භාණ්ඩ, ආභරණ, පන්පැදුරු හා ආශ්‍රිත නිෂ්පාදන, බීරළු, ලාක්ෂා ආදී කර්මාන්ත ගම් වශයෙන්ම සංචාරකයන් අතර ප්‍රවර්ධනය කළ හැකිය. සංචාරකයන් එවැනි ගම් කරාම ගෙනයාමේ වැඩපිළිවෙළ දියත්විය යුතුය. එය ග්‍රාමීය ආර්ථිකය ඔසොවා තැබීමට ද විශාල දායකත්වයක් එක්කරනු ඇත.

ආහාර පාන සංග්‍රහය

ශ්‍රී ලංකාව හරිත කෘෂිකර්මයට යොමුවීමට ගත් දූරදර්ශී තීරණය දේශපාලන අවස්ථාවාදය හා පටු දේශපාලන න්‍යායපත්‍රවලින් යටපත් කිරීමට දරන ප්‍රයත්නය පරාජය කිරීම ද සංචාරක කර්මාන්තයේ අනාගතය සම්බන්ධයෙන් තීරණාත්මක ලෙස වැදගත්ය. සංචාරකයන් සඳහා කාබනික ගොවිතැන මඟින් ලබාගන්නා ආහාරපානවලින් සංග්‍රහ කිරීමට හැකිවීම යනු දැනට එම සේවා මඟින් උපයන මුදලට වඩා කිහිප ගුණයකින් ඉපැයීමට ගොවි ජනතාවට අවස්ථාව උදාවීමකි. ඒ වෙනුවෙන් වෙහෙසීම මිස දේශපාලන සටන්පාඨ පසුපස යාම මඟින් ඔවුන්ට අත්වන සෙතක් නැති බව පෙනීයා යුතුය. කෘෂිකර්ම බලධාරින් මෙවැනි කාරණා පිළිබඳ ගොවිජනතාව දැනුම්වත් කිරීම විය යුතුය.

මෙරට සංචාරක ව්‍යාපාරය පිබිදෙමින් ඇත්තේ, වසංගතය ඔමික්‍රොන් ප්‍රභේදයේ බලපෑම පැතිරෙමින් ඇති සමයකය. පළමුව තම ජීවිත රැකගැනීම ද දෙවනුව තම ආදරණීයයන්ගේ ජීවිත රැකගැනීම ද අනතුරුව සමාජ වගකීම් ද සැලකිල්ලට ගනිමින් එන්නත්කරණය සම්පූර්ණ කිරීමේ වගකීම දැන් පැවරී ඇත්තේ ජනතාවටය. මෙරටට අවශ්‍ය සියලුම එන්නත් ඉකුත් 9 වැනිදා වන විට මෙරටට ගෙන්වා අවසන්ය. ඒ බූස්ටර් එන්නත් ද සමඟය. රජය තම කාර්යභාරය ඉටුකර ඇත. එන්නත්කරණ වැඩපිළිවෙළ පෙරට ගෙනයමින් ද සිටී. අසත්‍ය ප්‍රචාර හා මිථ්‍යා මත ආදියට නොරැවටෙමින් තම එන්නත් ලබා ගැනීම සෑම වගකිවයුතු පුරවැසියකුගේම වගකීමය. ශ්‍රී ලංකාව ආරක්ෂිත රටක් වීම යනු සංචාරක කර්මාන්තය වේගවත් ඉදිරි පිම්මක් පැනීම විය හැකිය.

අපි අඳුරු පැය පසුකරමින් සිටිමු. අනාගතය පැහැබර වනු ඇත්තේ රට පිළිබඳ හැඟීම අපට දැනෙන ප්‍රමාණයේ තරමටය. දැන්වත් පටු දේශපාලන මති මතාන්තර බැහැරින් තබමු.

ධම්මික සෙනෙවිරත්න

නව අදහස දක්වන්න