නොමියෙන කීර්තිය හා සේකර දර්ශනය | දිනමිණ

නොමියෙන කීර්තිය හා සේකර දර්ශනය

තරුණ වියෙහිදීම මගේ සිත මහගම සේකරගේ නිර්මාණ කෙරෙහි ඇදී ගියේය. අප ලුම්බිණි විද්‍යාලයේ පැවති පොත් ප්‍රදර්ශනයකදී මිලදී ගත් ව්‍යංගා (1960), සක්වාලිහිණි (1962) කියවීමෙන් ලද ආස්වාදය මසිත්හි රස හව් දල්වන්නක් විය. අමරදේව මහතා සමඟ එක් වී ගුවන් විදුලිය මගින් ඉදිරිපත් කළ ‘මධුවන්ති’ වැඩසටහන මෙන්ම එදවස හිමිදිරියේ ගුවන් විදුලිය මගින් ප්‍රචාරය කළ දේශානුරාගී ගීතාවලිය ද අපේ යුගයේ තාරුණ්‍ය කෙරෙහි බලපෑවේය.

අමරදේව ඇතුළු පිරිස ගයන “රත්න දීප ජන්ම භූමි - ලංකාදීප විජයභූමි මේ අපේ උදාර වූ මාතෘ භූමියයි” ගීය හා “විජයභූමි ලංකා ශ්‍රීධර අමරණීය ලංකා” වැනි දේශානුරාගී ගීත අප මනසේ දේශානුරාගය මෙන්ම භාෂානුරාගය ද දැල්වූයේය.

“පාළු අඳුරු නිල් අහස මමයි

ඈත දිලෙන තනි තරුව ඇයයි

යුගයෙන් යුගයට හදවත් ඉල්ලන

බලාපොරොත්තුව - පැතුම ඇයයි” වැනි මධුවන්ති ගීත ප්‍රේ‍මයෙන් ආතුර වූ අප හදවතට ගෙනාවේ අමුතුම මිහිරකි.

දේශානුරාගී ගීත නිර්මාණයට මහගම සේකරයන් යොමු වී ඇත්තේ කුමාරතුංග මුනිදාසයන්ගේ “හෙළ මියැසිය” කියවීමෙන් බව ‘මහරගම සේකරගේ’ ගීත ග්‍රන්ථයේ පෙරවදනේ සඳහන් කර ඇත. කුමාරතුංගයන්ගේ කව්මග හා ගීත පද රචනා සොයා යෑමට අපේ යුගයේ තාරුණ්‍ය උත්සුක වූයේ මහගමසේකරගේ මේ කියමන් අනුවය.

ගුවන් විදුලි සංස්ථාවේ සිංහල අංශයේ මේසයක් මත හිඳගෙන කුමක් හෝ නිරතුරුව ලියන, වරෙක එසේ ලියූ කොලය සැනෙකින් උණ්ඩිකර ඉවත දමන සේකරගේ ඉරියවු බලා සිටීමට අප පෙලඹුණේ ඔහු කෙරෙහි බැඳුණු සිත නිසාමය.

තුංග රූපකාය, අනන්‍ය පෞර්ෂය සේකර තුළ දක්නට ලැබුණු වෙසෙසි ලක්ෂණයකි. නිතර අවුල් වන හිස කෙස් තම අතින්ම සකස්කර ගනිමින් යළි ලිවීම අරඹන සේකරගේ රූපය ගුවන් විදුලියේ සිංහල අංශයට එබෙන හැම විටම මතකයට නැඟෙන දසුනකි.

කිසිම සාහිත්‍ය නිර්මාණයක් එයට පසුබිම් වූ ඉතිහාසයෙන් හා තත්කාලීන දේශපාලනයෙන් වෙන් කිරීම දුෂ්කරය.

සේකර මෙන්ම හැටේ දශකයේ ජීවත් වූ අප තුළ පැවතියේ නිවහල් හෙට ඉදි වන රටක් පිළිබඳ හැඟීමයි. අපි ඒ ගැන ගීත ලියූවෙමු.

“දෑතේ කරගැට සිප සනසන්නට

ළා ගොයමේ දලු පවන් සලයි

දහදිය මුතුඇට මල්වරුසා වී

කරල් බරින් පීදී වැගිරෙයි

අඩ සඳ මෝරන මැදියම් අහසින්

බිලිඳු හදට කිරි දියර ගලයි

හෙට ඉදි වෙන නව ලෝකය දැක දැක

පුංචි පුතා හීනෙන් හිනැහෙයි”

ගීතය සේකර අතින් ලිය වුණේත්

 

“පුතු ඉපදුණු මේ පොළොවේ

උරුමය පුතුටයි

ඒ පොළොවේ තෙද ඔද ගුණ

පුතුනට පිහිටයි

විහාර මහ මෑණිවරුන්

ඉපදුණු පොළවයි

මද්දුම බණ්ඩාර පුතුන්

ඉපදුණු පොළොවයි

රාසිහ මහසෙන් දෙවියන්

ඉපදුණු පොළොවයි

මින් මතුවට ඒ පොළොවේ

උරුමය පුතුටයි

මහ සෑ රන් කොත වැටලූ

ගන රන් එළියයි

සිරිමා බෝ මැඩ සෙවණේ

සිහිලැල් සුළඟයි

 

දළදා හිමි රැඳි විමනේ

බුදුරැස් දහරයි

හැමදා හැම දුක් දුරලා

පුතු සිත සනසයි

සතර වටින් වෙරළ නැගී

පවුරු සදාලයි

වෙරළ දිගින් මුතු කැටි වී

 

යසස උදා වෙයි

පොළොව පලා මිණිරුවනින්

ඉසුරු ලඟා වෙයි

පොළොව එවන් පුතු උරුමෙන් - ලැබුණු නිදානයි”

 

දේශාභිමානය, ශ්‍රමාභිමානය, සේකරගේ කව් ගී වලින් පිළිඹිඹුවන දර්ශන යයි. රාජතිලක, ලයනල් සහ ප්‍රියන්ත (1967) කාව්‍ය කෘතියේ මතුවන ප්‍රියන්ත චරිතය අයාගතය පිළිබඳ ඔහුගේ පැතුම මූර්තිමත් කරයි. සෙම්කර වැඩිකල් නොපවතින රැඩිකල් හිස් බව ප්‍රත්ක්ෂේප කළ කවියෙකි.

මහගම සේකරයන් තුළ පැවති ඓතිහාසික විඥානය හා නිර්මල දේශානුරාගී චින්තනය ද මෙම ගීතයෙන් මූර්තිමත් වෙයි.

“මගේ රටම දළදා හිමි සරණයි

මගේ දැයට දළදා හිමි සෙවණයි” සහ

“පියාසර කර ආමි

දේශයෙන් දේශයට

මගේ රට මට අගෙයි

තව් තිසාවට වැඩිය”

ඇතුළු දේශානුරාගී ගීත සමුදායක් මා අතින් ලියවුණේ සේකර ඇතුළු අප ජීවත් වූ සමාජ විඥානයේ උදාර අරමුණුවල බලපෑමෙනි. එහෙත් ඩොලර් ආනුභාව නිසා පැරකුම්බා හා දුටුගැමුණු මෙහෙවර ලඝු කොට සලකන යුගයක අද අපි ජීවත් වෙමු.

කතා බහේ යෙදී සිටින අතර මහගම සේකරයන් යෝජනා කළේ දිවා ආහාරය එක්ව ගැනීමටයි. කෙසේ වුව ද දිවා ආහාරයට මා නිවෙසට එන බවට බිරියට දන්වා තිබූ බැවින් සේකර හ‍ට ඔහු ගෙනා බත් මුල අනුභව කිරීමට තැනක් පිළියෙල කර දුන් මම ඒ අසල රැඳුණෙමි.

තම සුපුරුදු හම් බෑගයෙන් කොළ කැබැල්ලක් එළියට ගත් සේකර බත්මුල ලිහා ගන්නා අතර කොළයේ සටහන් කර තිබූ අලුත් ගීතය මට සැල කර සිටියෝය. එදින සවස අමරදේවයන් සමග රඹුක්කන යෑමට අදහස් කර සිටි බැවින් මේ ගමනට මහගම සේකරයන්ට ද එක් වන ලෙස මම ආරාධනා කළෙමි. ගමනට කැමැත්ත පළ කළ මහගමසේකර සවස 5ට ගුවන්විදුලියට එන බවට ප්‍රතිඥාවක් දුනි.

මඩවල රත්නායක මහතාගේ ගුවන් විදුලි ශාස්ත්‍රිය සංග්‍රහය වැඩ සටහන අවසන් වීමෙන් පසු අමරදේව මෙන්ම වියතාණන් කෙනෙකු වූ බන්දුල ජයවර්ධන, මහගම සේකර මහත්වරුද ගමනට එක් වූහ. රඹුක්කන ගමන මඳක් පමා වූයේ ගම්පහ සේකර නිවෙසට ගොඩව ගමන ගැන දන්වා ඒමට කටයුතු කළ බැවිනි.

කෙසේ වුවද නුවර පාරේ රාත්‍රි කාලයේ යෙදුණ ගමන අතරමග පසුපෙළ අසුනක මා සමීපයේ හිඳ සිටි මහගමසේකර "වැඩිය ගීත නොලියන ලෙස" උපදෙසක් දුන්නේය. මේ ගැන විමසූ අමරදේව මහතාට සේකර පැවසුවේ "සුනිල් ලියන ගී අපිත් රස විඳිනවා. ආයාසයෙන් ප්‍රසිද්ධිය පතා සංඛ්‍යාව වැඩි කර ගැනීමට යෑමෙන් රස හීන වෙන්න පුළුවන්" යනුවෙන් ඔහු පැවසුවේය.. (මේ වනවිට මා 'පෙර දිනයක පෙම් කළ යුවතිය' ගීතය ලියා තිබුණි)

ගමන අතරමග මුත්‍ර කිරීමේ (සුළුදිය බෑමේ) අවශ්‍යතාව අප කාටත් ඇතිවිය. වාහනය උඩරට හා පහතරට වෙන් කරන සීමා ඉම ලෙස සලකන වරකා පොළට නුදුරු හැලගල අසල නතර විය. එදවස හැලගල අසල ප්‍රදේශය ජනශූන්‍ය එකක් විය. ඒ වන විට ගනඳුර වැටී පැවතුණි. අපි සිව් දෙන අවශ්‍ය කටයුත්තට සූදානම් වීමු. මා දන්වා සිටියේ පාර අයිනේ තණ කොළ බිස්සේ සර්පයන් සිටිය හැකි බැවින් - මෙම කටයුත්ත පාර මැදම කිරීම නුවණට හුරු බවකි. සියල්ලෝම එයට එකඟ වී පාර මැද තැන තැන මෙම කටයුත්ත කිරීමට සූදානම් වීමු.

ප්‍රසිද්ධිය හා කීර්තිය අතර වෙනස පෙන්නුම් කිරීමට සේකර මෙහිදී කදිම උපමාවක් ඉදිරිපත් කළේ ය.

“අමරේ අපි මේ කටයුත්ත හෙට දහවල් 10ට විතර ගෝල්ෆේස් පිටියට යාබද පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ මුහුද දෙසට ඇදුණු විසල් පඩි පෙළේ සිට කළා නම් මොන තරම් ප්‍රසිද්ධියක් ලබාගත හැකි ද? යන්නයි.” ප්‍රසිද්ධිය හා කීර්තිය කදිම විවරණයක් කිරීමට සේකර පෙලඹුණේය.

ප්‍රසිද්ධිය ඕනෑම බාල පහත් වැඩක් කර ලබාගත හැකි දෙයක් බවත්, කීර්තිය එසේ අත්පත් කර ගත නොහැකි දෙයක් බවත් සේකර පෙන්වා දුනි. එමෙන්ම ප්‍රසිද්ධිය ඉතා සුළු ගානයකින් වියැකී යන බවත් කීර්තිය සදා නොනැසී පවතින බවත් ඔහුගේ අදහස විය.

මෙම කරුණ තවදුරටත් විග්‍රහා කළ මහගම සේකර මහතා බණ්ඩාරනායක අගමැතිතුමාට වෙඩි තැබීමෙන් සෝමාරාම ලද පහත් ප්‍රසිද්ධියත් බණ්ඩාරනායක මහතාගේ කීර්තියත් විවරණය කළේය.

ශබ්ද විකාශන යන්ත්‍රයක් දුටු සැණින් මයික් එක බදාගෙන කෑමොර දෙන ඉතිහාසයට ගරහන එය අවප්‍රමාණය කරන නූතන පරපුරේ ඝෝෂකයන් හා ගායකයන් දුටු විට හැඟී යන්නේ එහි විනිශ්චය ඉතිහාසයට බාර කර නිහඬව බලා සිටීම වඩාත් වැදගත් බවය.

“කාලෙන් කාලෙට කියවෙයි

නෙක නෙක බයිලා

දෙසබස රකිනට

නුවණින් වැඩ කරපල්ලා”

යනුවෙන් මා සංස්කෘතික ආක්‍රමණය ගැන කල් ඇතිවම ලීවේ ඓතිහාසික විඥානයෙන් යුතුවය.

රඹුක්කන ගමනේදී විවිධ මිනිසුන් කෙරෙහි අපේ ගැඹුරු විමර්ශනයට ලක් විය. මේ දිනවල මැජස්ටික් සිනමා හලේ ප්‍රදර්ශනය වූ සිද්ධාර්ථ චිත්‍රපටය ඇසුරෙන් "බුද්ධ චරිතය" පිළිබඳ සාකච්ඡාව ඇරඹිණ. පුළුල් දැනුමක් ඇති බන්දුල ජයවර්ධන වියතාණන් මහායාන කාව්‍ය ග්‍රන්ථයක් වන ලලිත විස්තරයේ එන යසෝදරා චරිතය පිළිබඳ ගැඹුරු විස්තරයක් කළේය. ලලිත විස්තරය සංස්කෘත භාෂාවෙන් ලියා ඇති ග්‍රන්ථයකි. යසෝදරාව පිළිබඳව කදිම චිත්‍රයක් අප සිත්හි ඇදී ගියේ බන්දුල ජයවර්ධනයන්ගේ විරණයෙනි.

මවිසින් ලියන ලද, සනත් නන්දසිරි ගයන යසෝදරා ගීතය කෙරෙහි යසෝදරා වත ජන කාව්‍ය මෙන්ම ලලිත විස්තරයේ නිරූපිත යසෝදරාවද එකසේ බලපා ඇතැයි පසුව සිතුණි.

මහගම සේකර නැමති අනන්‍ය පෞරුෂයෙන් හා තුංග වූ රූපකායෙන් යුතු අපේ තාරුණ්‍යයේ වීරයා කාලයාගේ ඇවෑමෙන් මගේ සමීපතම මිතුරෙකු බවට පත් විය. එතුමො හම්බෑගය ද අතකින් ගෙන මගේ නිවෙසට මෙන්ම බැංකු කාර්යාලයට පැමිණි අවස්ථා සිහිපත් වේ.

එදවස මා සේවය කළේ කොල්ලුපිටිය ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 6 වන මහලේ පිහිටි කාර්යාල‍යේය.

එක් දවසක දහවල් සේකර ධම්ම ජාගොඩ සහ තවත් මිතුරෙකු සමග මගේ කන්තෝරුවට ගොඩ වුණි. ධම්මජාගොඩ මහතා මද වේලාවකින් අපගෙන් සමුගෙන ගිය අතර සේකර මා සමග රැඳුණි.

මහගම සේකර මහතා පදිංචිව සිටියේ ගම්පහ ශ්‍රී බෝධි පාරේ නිවෙසකය. එදවස ඔහු භාවිත කළේ මොරිස් මයිනර් වාහනයකි. සැඳෑවක ගම ගෙදර බලා යන විට විසල් පයිප්ප නල එළීමට කාණු කැපීම නිසා ඔහු යන මඟ අවහිරව පැවතුණි. එම පයිප්ප නල දැමීමේ කොන්ත්‍රාත්තුව ප්‍රංසයේ සොකමන් නමැති සමාගමකට පැවරී තිබුණි.

උදේ ආ මඟ සවස අවහිරව පැවැති බැවින් සේකරගේ මුවින් හිටිවන කවියක් කියැවුණි.

 

“සක්මන් කරන මාවත

අපේ වැසුවාද

ඉක්මන ගමන් අද

අපේ කොට කෙරුවාද

සිත් සන්තොසින් දුන්

මුදලුත් ලැබුවාද

සොක්මන් මගෙ නමට

කානුව කැපුවාද”

 

මෙය නාරද දිසාසේකර මහතා නිතර මතකයට නඟන කවියකි.

මහගමසේකර අනතිමානී ගුණයෙන් සපිරුණු දුප්පතෙකි. ඔහු කිසි දිනෙක මුදල්වලට අවනත නොවූවෙකි. ඔහුටම අනන්‍ය වූ පෞරුෂයක් හා තුංග වූ රූපකායත් යුගයෙන් යුගයට අප හමුවේ මැවී පෙනෙනු ඇත.

මහගම සේකර මහතා මිය ගිය පවත මට දන්වා සිටියේ දයානන්ද ගුණවර්ධන මහතායි. ඔහුගේ කඳුළු පිරුණු දෑස මට තවමත් සිහි වේ. එසැණින් මම රදාවාන බලා ගියෙමි. වෙල් එළි මැදින් ගිය ගමනේදි එසැණ කවියක් මා අතින් ලියවු‍ණි.

 

“සදා නො‍මියෙන

ගීතයකි ඔබ

සදා නොමියෙන

සිතුවමකි ඔබ

ගමේ ඕවිටි

තැනිතලාවල

සදා ඔබ මට

මුණගැසෙනු ඇත”

නව අදහස දක්වන්න