පරිස්සම් සහගත පිතිහරඹයෙන් මැතිව්ස් ඉනිමේ බර කරට ගනී | දිනමිණ

පරිස්සම් සහගත පිතිහරඹයෙන් මැතිව්ස් ඉනිමේ බර කරට ගනී

ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගය

  • නායක දිමුත් ලකුණු 80යි

වඩාත් පරිස්සම්සහගතව පිත්ත හැසිරවූ ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී ලකුණු 58ක් රැස් කරමින් බංග්ලාදේශයට එරෙහිව මීර්පූර් නුවර පැවත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ ඊයේ තරගය නතර කරන විට ශ්‍රී ලංකා පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව කඩුලු 5කට 282ක් දක්වා ඉහළ දැමීමට සමත් විය. මැතිව්ස් සමඟ කඩුල්ලේ රැඳී සිටින දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 10ක් ලබා සිටින අතර, ශ්‍රී ලංකා පිල බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 83ක් පසුපසින් සිටියේය.

ඊයේ දිවා ආහාරයට තරගය නතර කිරීමත් සමඟ මීර්පූර් නුවරට ඇද වැටුණු ධාරානිපාත වර්ෂාව නිසා යළි තරගය ආරම්භ කිරීමට හැකි වූයේ පස්වරු තේ පානයටත් පසුවය. ඒ වන විට ඊයේ දිනයෙන් පැය දෙකකට ආසන්න කාලයක් වර්ෂාව ගිල ගත් අතර, නැවත තරගය ආරම්භ වූයේ පස්වරු 4.00ටය. ඒ වනවිට මැතිව්ස් සමඟ එක්ව ශ්‍රී ලංකා ඉනිම ගොඩ නගමින් සිටි ධනංජය ද සිල්වා යළි තරගය ආරම්භ වීමෙන් මොහොතකට පසු සිය ටෙස්ට් තරග දිවියේ 10 වැනි අර්ධ ශතකය රැස් කිරීමට සමත් වූවද, ශකීබ් අල් හසන් යැවූ ඊළඟ ඕවරයේදී දැවී ගියේ ලකුණු 58ක් ලබා සිටියදීය. පන්දු 95කට මුහුණ දුන් ධනංජය හතරේ පහර 9ක් සිය ඉනිමට එකතු කරගත්තේය. ධනංජය දැවී යන විට ශ්‍රී ලංකා පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව 266ක් විය. ධනංජය සමග එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 102ක අගනා සම්බන්ධතාවක් ගොඩ නැගූ මැතිව්ස් සිය ටෙස්ට් තරග දිවියේ 38 වැනි අර්ධ ශතකය රැස් කළේද එම පන්දු ඕවරයේ පළමු පන්දුවට හයේ පහරක් එල්ල කරමිනි.

පෙරේදා දිනය නිමා වන විට කඩුලු 2කට ලකුණු 143ක් ලබා සිටි ශ්‍රී ලංකා පිලේ තුන්වැනි කඩුල්ල ඊයේ උදෑසන ඉබාදත් හොසේන් යැවූ දිනයේ පළමු ඕවරයේ පළමු පන්දුවෙන්ම බිඳ වැටිණි. පෙර දිනයේ සැඳෑ ආරක්ෂකයා ලෙස පිටියට පිවිසි කසුන් රාජිතගේ කඩුල්ල බිඳ වැටීමෙන් පසු ශ්‍රී ලංකා ඉනිමට තවත් ලකුණු 20ක් එක්වෙද්දී නායක දිමුත් කරුණාරත්න දැවී ගියේ ලකුණු 80ක් ලබා සිටියදීය. පන්දු 155කට මුහුණ දුන් ශ්‍රී ලංකා පිලේ නායකයාගේ ඉනිමට හතරේ පහර 9ක් ඇතුළත් විය.

අද තරගයේ සිව්වැනි දිනයයි.

නව අදහස දක්වන්න