අන්තර් සමාජ පළමු පෙළ ලීග් රග්බි කිරුළ යළි මහනුවරට | දිනමිණ

අන්තර් සමාජ පළමු පෙළ ලීග් රග්බි කිරුළ යළි මහනුවරට

පලඟ ශූරතාව නැවියන්ට

රටේ පවතින අයහපත් තත්ත්වය මත තාවකාලිකව කල් දමා තිබූ නිපොන් පේන්ට් කුසලාන අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ ශූරතාව මහනුවර ක්‍රීඩා සමාජයට පිරිනමමින් තරගාවලිය අවසන් කිරීමට ශ්‍රී ලංකා රග්බි ආයතනය තීරණය කළේය. මේ තරගාවලිය අත්හිටුවන විට ක්‍රීඩා කළ තරග 8ම ජයගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ අපරාජිතව පෙරමුණ ගෙන සිටි මහනුවර ක්‍රීඩා සමාජයට කුසලානය පිරිනැමීමට රග්බි ආයතනයේ හදිසි කවුන්සිල රැස්වීමේදී ඒකමතිකව තීරණය වූ බව වාර්තා වේ.

ඒ අනුව ලීග් රග්බි කුසලාන තරග ඉතිහාසයේ වැඩිම වතාවක් ශූරතා දිනූ මහනුවර ක්‍රීඩා සමාජය අඛණ්ඩව දෙවැනි වරටත් අවසන් කිරීමට නොහැකි වූ ලීග් තරගාවලියේ කුසලානයට හිමිකම් කීමට සමත් විය. පසුගිය වසරේදී ද කොවිඩ් වසංගතය හේතුවෙන් අතරමඟදී ලීග් තරගාවලිය අත්හිටවූ අතර, එවර ද ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වූ මහනුවර ක්‍රීඩා සමාජයට කුසලානය හිමි විය.

මෙවර තරගාවලිය අත්හිටුවනු ලැබුවේ තවත් තරග දෙකක් ඉතිරිව තිබියදීය. ඒ වන විට ප්‍රසාද ලකුණු සටහනේ මහනුවර පෙරමුණේ පසු වූ අතර, දෙවැනි ස්ථානයේ පසු වූයේ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයයි. ඒ වන විට පළමු වටයේදී මහනුවර පිල හමුවේ හැව්ලොක්ස් පිල පරාජයට පත් වී තිබීම මත තරගාවලියේ ජයග්‍රාහකයා බවට මහනුවර පිල තෝරාගැනීමට සාධකයක් විය.

මේ අතර තරගාවලිය අත්හිටුවීම නිසා පළඟ ශූරතා වටයේ ජයග්‍රහණය ද නාවික හමුදා ක්‍රීඩා සමාජයට හිමිකර දෙමින් නිමාවට පත් කිරීමට රග්බි ආයතනයේ කවුන්සිල රැස්වීමේදී තීරණය වී ඇත.

ෆවුස් මොහොමඩ්

නව අදහස දක්වන්න