මිලර්ගේ පිත්තේ සවියෙන් ගුජරාට් පිල අවසන් තරගයට | දිනමිණ

මිලර්ගේ පිත්තේ සවියෙන් ගුජරාට් පිල අවසන් තරගයට

මෙවර අයිපීඑල් ක්‍රීඩකයන්ගේ මූලික වෙන්දේසියේදී කිසිදු කණ්ඩායමක් ලංසු නොතැබූවත්, අවසන් මොහොතේදි සිය කණ්ඩායමට තෝරාගැනීමට ගුජරාට් ටයිටන්ස් පිල ගත් තීරණයට උපරිම සාධාරණය ඉටු කළ දකුණු අප්‍රිකා පිලේ වමත් පිතිකරු ඩේවිඩ් මිලර් සිය කණ්ඩායමට අවසන් මහා තරගයේ දොරටු විවර කර දීමට සමත් විය. පෙරේදා රාජස්තාන් රෝයල්ස් පිල සමග පැවති තීරණාත්මක තරගයේදී රාජස්තාන් රෝයල්ස් පිල දුන් ලකුණු 189ක ඉලක්කය හඹා ගිය ගුජරාට් පිල කඩුලු 7කින් තරගය ජයගත්තේ මිලර්ගේ වේගවත් පිතිහරඹයේ පිහිටෙනි.

තරගයේ ජයග්‍රහණය සඳහා ප්‍රසිද් ක්‍රිෂ්ණා යැවූ ඉනිමේ අවසන් ඕවරයේදී ලකුණු 16ක් අවශ්‍ය වූ අතර, පළමු පන්දු තුනටම දැවැන්ත හයේ පහර 3ක් එල්ල කළ මිලර් නියමිත ඉලක්කය සපුරා ගත්තේ පන්දු 38කින් නොදැවී ලකුණු 68ක් රැස් කරමිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් ඇතුළත් වූ අතර, ඔහුට අනගි සහයක් දුන් නායක හර්දික් පාණ්ඩ්‍යා නොදැවී ලකුණු 40ක් රැස් කළේ පන්දු 27කිනි. හතරේ පහර 5කින් සිය ඉනිම වර්ණවත් කළ පාණ්ඩ්‍යා සිවුවැනි කඩුල්ලට මිලර් සමඟ එක්ව ගොඩ නැගූ නොබිඳුණු සම්බන්ධතාව ලකුණු 106කි.

ලබන 29 වැනිදා අහමදාබාද් නුවරදී පැවැත්වෙන අයිපීඑල් අවසන් මහා තරගයේදී ගුජරාට් පිලේ ප්‍රතිවාදී කණ්ඩායම තෝරා ගැනීමට තවත් තරග දෙකක් ක්‍රීඩා කළ යුතුව ඇත. අවසන් වටයේ දෙවැනි තරගය ඊයේ ලක්නව් සුපර් ජයන්ට්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ අතර, එම තරගයේ ජයග්‍රාහකයන් අවසන් මහා තරගයේ ස්ථානයක් සොයා පෙරේදා ගුජරාට් පිල හමුවේ පරාජයට පත් වූ රාජස්තාන් රෝයල්ස් පිල සමඟ හෙට (27) තරග වදිනු ඇත.

නව අදහස දක්වන්න