සති දෙකකට පෙර මෙසේ සිදු විය මම මුලින්ම ඇහුවේ අම්මගෙ පින්තූරය පිච්චිලා ද කියලා | දිනමිණ

සති දෙකකට පෙර මෙසේ සිදු විය මම මුලින්ම ඇහුවේ අම්මගෙ පින්තූරය පිච්චිලා ද කියලා

හිටපු අැමැති එස්.එම්. චන්ද්‍රසේන

2022 මැයි මස නව වැනිදා අප රට තුළ ගිනි තැබීම්, පුද්ගල පහර දීම් මෙන්ම ජීවිත හානි ද බහුලව සිදු වූ දිනයකි. තවද ප්‍රජාතන්ත්‍රවාදය නැති වී අප රට පිළිබඳ කළු පැල්ලමක් ඉතිරි කළ දිනයක් ලෙස ද හැඳින්විය හැකිය. එසේම ගාලුමුවදොරින් ඇරඹි ප්‍රචණ්ඩකාරී සිදු වීම් එදින රාත්‍රිය වන විට රට පුරා පැතිර යමින් ජීවිත හානි ද සිදු විය. ඒ අඳුරු මතකයට අදට (26) සති දෙකක් ඉක්ම ගොස් තිබේ. ඉන් සිදු වූ දේපොළ හානිය තවම ගණනය කර ගැනීමටත් නොහැකි තරම්ය.

"ඇති වීම, නැති වීම ලෝක ධර්මතාවක්. මට දේපොළ අහිමි වුණාට දුකක් නෑ. මම පණ මෙන් ආදරය කළ මගේ අම්මාගේ පින්තූරය පුච්චල දැම්ම එක තරම් වේදනාවක් තවත් මට නෑ. ගෙදර ගිනිබත් කළා කියපු ගමන් මම ඇහුවෙ අම්මගෙ පින්තූරයත් පිච්චිලා ද කියලා." යැයි හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සිය සංවේගි කතාවට මුල පිරීය.

"අපි ගොවි පරම්පරාවකින් පැවැත එන් පවුලක්. වසරක් ගෙවෙන කොට වී, බඩඉරිඟු, උඳු, තල වැනි වගාවන් රාශියක නිරත වෙනවා. ගිනිබත් කළ ඔය ගොඩනැඟිලි මහජන මුදල් සොරාගෙන ඉදි කරපු ඒවා නෙවෙයි. ඔය ඉඩමත් පළාත් සභාවේ ඉන්නකොට අඩු මුදලකට ගත්ත එකක්. වත්තෙ තියෙන පොල් ගස් ටික මගෙ අතින් හිටවපුව. එහෙමයි අපි ගොඩනැඟුනෙ.

"ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ උපසභාපති තනතුරේ ඉඳල කැබිනට් ඇමැති දක්වා ආව දේශපාලන ගමනක් මට තියෙන්නෙ. 1991 උතුරු මැද පළාත් සභාවටත්, 2009 පළාත් සභා ඇමැතිවරයකු ලෙසත් නොකඩවා වසර 2ක් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් විවිධ තනතුරු දැරුවේ රජරට ජනතාවගේ වරමින්. මම නොකඩවා වාර හතරක් දිස්ත්‍රික්කයේ පළමුවැනියා ලෙස පාර්ලිමේන්තුවට පත් වුණේ ජනතාව මම හොරෙක් නොවන බව තේරුම් ගෙන ඡන්දය දුන්න නිසයි.

"මේ සියල්ල දේශපාලන පළි ගැනීම්. මේ සැබෑ අරගලකරුවන්ගේ ක්‍රියා නොවෙයි. සැබෑ අරගලකරුවා මනා චින්තනයක් තුළ කටයුතු කරන්නෙක්. මේක ත්‍රස්තවාදයක්."

රට පුරා පසුගියදා (09) ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වයත් සමඟ හිටපු ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ නිවෙස ගිනි තබා විනාශ කර දැමීය. ඒ අනුව ගිනිගෙන විනාශ වූ අනුරාධපුර, කුරුන්දන්කුලම පිහිටි සිය නිවෙස බැලීමට චන්ද්‍රසේන මහතා පසුගියදා පැමිණියේය. ගිනිගත් නිවෙසෙහි සුන්බුන් අතර තිබූ සිය මවගේ ඡායාරූපය ප්‍රථමයෙන්ම සිය අතට ගත් අමාත්‍යවරයා එහිදී සංවේදී වූ අයුරුයි මේ.

ජායාරූප සහ සටහන - අමිල ප්‍රභාත් වනසිංහ - අනුරාධපුර අතිරේක සහ කිත්සිරි වනසිංහ - අනුරාධපුර සංචාරක

 


පරීක්ෂණ කර මිනිස්සු හිරගෙවල්වල දාන්න මට ඕනෑ නෑ

පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන

"ජනතාව මේ වගේ දෙයක් කරයි කියලා මම නම් කවදාවත් හිතුවේ නෑ. මම ඒ ගැන කාටවත් දොස් කියන්න කැමැතිත් නෑ. ඇත්තටම මේ සිදුවීම වෙද්දි මම ගෙදර හිටියේ නෑ. මේ පරීක්ෂණ කරල මිනිස්සු හිරගෙවල්වල දාන්නත් මට අවශ්‍ය නෑ." යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ පසුගියදා (09) කලහකාරී සිදුවීම අවස්ථාවේ සිය නිවෙසට වූ හානිය පිළිබඳව අදහස් දක්වමිනි. ‍

ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

"මිනිස්සු අව්වෙ වේළි වේළි ඉන්නකොට මේ වගේ ආවේග එන එක සාධාරණයි. සියලු දෙනාම මේ වෙලාවෙ එකතු වෙලා අර්බුදයෙන් ගොඩ යන්න වැඩ කිරීමයි වැදගත්. පක්ෂ නායකයෝ එකතු වෙලා මෙතැනදි රට ගොඩනඟන්න කටයුතු කළ යුතුයි. අපේ දේපොළ විනාශ වුණා. මේ වෙලාවේ ගොඩක් අය අපේ දේපොළ කොල්ල කෑවා. ඒ සියලු දේවල් වෙලා ඉවරයි. ඉතින් ඒ දේවල්වලට දැන් වෛර කර කර ඉඳල වැඩක් නෑ. විශාල පිරිසක් ඇවිත් තමයි මගේ ගෙදර විනාශ කරලා තියෙන්නේ. මම කාටවත් චෝදනා කරන්නෙ නෑ. මෙතැනින් එහාට මේ දේවල් දිගින් දිගටම ගෙනියන්නෙ නැතුව දැන්වත් සියලු දෙනා එක් වෙලා රට ගොඩනැඟීමයි වැදගත්."


මව්පිය උරුමයෙන් ලැබුණු දේපොළවලටයි මේ හානි කළේ

බණ්ඩාරවෙල නගරාධිපති ජනක නිශාන්ත රත්නායක

තමා දේශපාලනයට පිවිසීමට පෙර තම මවුපියන්ගෙන් උරුම වී තිබූ දේපොළවලට හානි කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් නීති ක්‍රියාමාර්ග ගෙන ඇති බව බණ්ඩාරවෙල නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා 'දිනමිණ'ට පැවසීය.

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනූ බණ්ඩාරවෙල නගරය සුන්දර පුරවරයක් කිරීමට පරිසර හිතකාමිව බොහෝ කටයුතු සිදු කළ තමා කෙරෙහි විරුද්ධවාදීන් තුළ පවතින ක්‍රෝධය, වෛරය පසුගියදා යම් අයුරකින් එළිදැක්වුණු බවත්, කුමන බාධක පැමිණියද තම සේවාව ඉටු කිරීමෙහිලා තමන් පසුබෑමට ලක් නොවන බවත් හෙතෙම පැවසීය.

රට තුළ පසුගියදා (09) සිදු වූ කලබලකාරී තත්ත්වය තුළ කිසියම් පිරිසක් තම දේපොළවලට සිදු කළ හානිය සම්බන්ධව අදහස් පළ කළ ජනක නිශාන්ත රත්නායක මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

"කිසියම් පිරිසක් පසුගියදා මාගේ නිවෙස ඇතුළු දේපොළවලට හානි සිදු කිරීමට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ඒ සම්බන්ධව අධිකරණයේ නඩුවක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මගේ පියා මේ ප්‍රදේශයේ ගොවි මහතෙක් වගේම ව්‍යාපාරිකයෙක්. තාත්තා නිර්මාණය කළ ඒවා තමයි පසුගියදා මෙලෙස විනාශ කළේ. මම දේශපාලනයට පැමිණියේ 2006දී. එතකොටත් ඒවා හදලා ඉවරයි. මේවා විනාශ කිරීම පසුපස වෙනත් හේතූන් තිබෙනවා.

"බණ්ඩාරවෙල නගරාධිපති වශයෙන් මම බණ්ඩාරවෙල නගරය තුළ වෙනස්කම් රාශියක්ම සිදු කළා. භෞතික දේවල් වෙනස් කිරීමේදී දේශපාලන තීන්දුවලට වඩා කෙළින් තීන්දු ගැනීමට සිදු වුණා. නගරය අවලස්සන වී තිබූ කඩවල් හා පදිකවේදිකා ඉවත් කළා. ඒවා ඉවත් කිරීමේදී මට එරෙහිව යම් පිරිසක් නිර්මාණය වුණා. හැම දෙයකටම ඡන්දය හේතු වන නිසා නගරයක් හදන විට නගරයට නොගැළපෙන දේවල් ඉවත් කිරීමට දේශපාලකයන් කිසිවෙක් ඉදිරිපත් වෙන්නේ නෑ. ඡන්දයකට එහා ගිය දෙයක් ජනතාව වෙනුවෙන් ඉටු කරනවා කියා අදහස් කළ මට මිනිසුන්ගෙන් හම්බ කරන්න දෙයකුත් නැහැ. ගන්න දෙයකුත් නැහැ. මම තනි තීන්දු ගන්න පසුබට නොවුණේ මට තවත් පැවැත්මට අවශ්‍ය දේවල් රැස් කරන්න වුවමනා නැති නිසයි."

ටී. අසෝක් කුමාර් - හාලිඇළ විශේෂ


ගෙදරට ගහන්න අාපු අය රත්තරන් බඩුයි සල්ලියි අරන් ගිහින්

 

බණ්ඩාරගම ප්‍රාදේශීය සභා සභාපති - දේවේන්ද්‍ර පෙරේරා

"බැංකු ණයක් අරගෙනයි මම ගේ හැදුවේ. තවමත් ඒ ණය ගෙවනවා. එහෙම තියෙන වෙලාවකයි පහුගියදා (09) මගේ ගෙදරට ප්‍රහාර එල්ල කළේ. මේ සිද්ධිය මට දරා ගන්න හරි අමාරුයි."

බණ්ඩාරගම ප්‍රාදේශීය සභා සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතා තවදුරටත් මෙසේ ද පැවසීය.

"බණ්ඩාරගමින් කවුරුවත් එදා අරලියගහ මන්දිරයේ රැස්වීමටවත්, ගෝල්ෆේස් එකට ප්‍රහාර එල්ල කරන්නවත් ගියේ නෑ. කට්ටිය ප්‍රාදේශීය සභාව වට කරලා ගහන්න ලෑස්ති වුණා. කොහොම හරි ඒක වෙනස් වෙලා මගේ ගෙදරට යමු කියලා යෝජනා වෙලා තියෙනවා. බණ්ඩාරගම ඉඳලා වල්ගමට පෙළපාළිය ආවේ ඊට පස්සෙයි.

"මට පොලිසිය කිවුවා ආරක්ෂාව දෙන්න බෑ, ගෙදරින් ඉවත් වෙන්න කියලා. දුව ඔෆිස් ගිහින් ඇවිත් තිබුණෙ නෑ. නෝනයි මමයි ගෙදරින් ගියා. පන්සීයක විතර පිරිසක් ඇවිත් සීයක් විතර පොලු ගල් මුගුරු අරගෙන වත්තට ඇතුළු වෙලා මේ විනාශය සිදු කළා. අල්මාරි ඇදලා දාල බඩුමුට්ටු පොඩි කරල බාත්රූම් එක පවා කුඩු කරල දාල තිබුණා. මෙතැන කොල්ලකෑමකුත් සිද්ධ වෙලා තියෙනවා. මගෙ මඟුල් මුද්ද, නෝනගෙ වළලු දෙක, දුවගෙ චේන් එක, රුපියල් විසිපන්දාහක් අරන් ගිහිල්ලා. ඇඳ, පුටු, කොට්ට, මෙට්ට ලිපි ලේඛන, බඩු මුට්ටු, මිදුලට ඇදල දාල ගිනි තියලා. ගේ ඇතුළෙ මොකුත් ගිනි තියල තිබුණෙ නෑ."

ඡායාරුප - විනීතා මානෙල් ගමගේ - හල්තොට සමූහ

 


ඇළෙන් වැලි ගොඩ දාලයි ගේ හැදුවේ

 

කුරුණෑගල ප්‍රා. සභාපති - අචල නිමන්ත වික්‍රමතිලක

"දේශපාලනයට ඇවිත් අවුරුදු 10යි. මට හිතා ගන්න බෑ ගේ ගිනි තියන මට්ටමට මාව දැන්මේ කොහොමද කියලා." යැයි පසුගිය 09 වැනිදා රට තුළ සිදු වූ මහා විනාශයේ වේදනාව විඳිමින් සිටියදී 'දිනමිණ' සමඟ අදහස් දැක්වූ කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ සභාපති අචල නිමන්ත වික්‍රමතිලක මහතා පැවසීය.

හෙතෙම වැඩිදුරටත් මෙසේද කීය.

"මම දේශපාලනයට ආවේ 2011දී. මම සභාපති වෙන්නේ 2018දී. මම කාටවත් හානියක් නොකර ජනතාව වෙනුවෙන් දේශපාලනය කළා. ඒත්, මේ විනාශ වුණු කිසි දෙයක් මම දේශපාලනයෙන් හම්බ කළේ නැහැ. මම දේශපාලනයට එද්දිත් මගේ අම්මා, තාත්තා ව්‍යාපාර කටයුතුවල නිරත වෙලා හිටියා. අම්මයි තාත්තයි එක්ක අපේ පවුලේ මහ ගෙදර තමයි මම ජීවත් වුණේ. ඒ ගෙදර එක්දහස් නවසිය අසූ ගණන්වල අපේ අම්මයි තාත්තයි හදපු ගෙයක්. ඇත්තම කියනවා නම් ඔය ගේ හදන්න ඇළවල්වලින් තාත්තලා වැලි කූඩය කූඩය ගොඩ දාලා, ඇදලා බාස් කුලිය විතරක් හොයාගෙන තමයි හදලා තියෙන්නේ. අත්වැඩ දීලා තියෙන්නේ අම්මයි තාත්තයි. ඔහොම ඉද්දි තමයි තාත්තට අවුරුදු හතළිහක් වෙනකොට සුරාබදු එකේ රැකියාව ලැබෙන්නේ. ඒ වෙනකොටත් අම්මා කඩයක් කරගෙන ගියා. ඒ ව්‍යාපාරවලින් තමයි අප දියුණු වුණේ.

"මගේ බස් එකත් කුඩු කරලා විනාශ කරලා. ඇත්තම කියනවා නම් මගේ බස් එක ගත්තෙ 2014දී මගේ මඟුල් ගෙදරට ලැබුණු තෑගි මුදල්වලින් මූලික වාරිකය ගෙවලයි. ඒ සියලු දේ තමයි අද මේ විනාශ වෙලා තියෙන්නේ. සිද්ධිය වෙන දවසේ අපි ගෙදර හිටියේ නෑ. ඒත් අම්මයි තාත්තයි හිටියා. දැන් මම මේ දවස්වල නෝනගෙ මහ ගෙදර ඉන්නේ. අපේ අම්මයි තාත්තයි, තාත්තගේ අයියලගෙ ගෙදර ඉන්නවා."

 

සටහන සහ ඡායාරූප

කුමාරි දිසානායක - ඉබ්බාගමුව සමූහ

නව අදහස දක්වන්න