ජපානයේ රැකියා පුරප්පාඩු 350,000ක් | දිනමිණ

ජපානයේ රැකියා පුරප්පාඩු 350,000ක්

  • භාෂා සහ වෘත්තීය පුහුණු වැඩසටහන් කඩිනමින් අරඹන්න

ජනපතිගෙන් නිලධාරීට උපදෙස්

ජපානයේ වැඩිහිටි සත්කාරක සහ ආහාර සැපයුම් ආශ්‍රිත ක්ෂේත්‍රයේ රැකියා පුරප්පාඩු 350,000කට අධික සංඛ්‍යාවක් පවතින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ ඊයේ (25) අනාවරණය කළහ.

ඒ සඳහා ජපන් භාෂා දැනුම අනිවාර්ය බව ද එම නිලධාරීහු අවධාරණය කළ අතර, විදේශ රැකියා පුරප්පාඩු ඉලක්ක කර ගනිමින් භාෂා සහ වෘත්තීය පුහුණු වැඩසටහන් අරඹන්නැයි ජනාධිපතිවරයා මෙහිදී බලධාරීන්ට උපදෙස් දුන්නේය.

පුහුණු ශ්‍රමිකයන් විදෙස් රැකියා වෙළෙඳපොළ වෙත යොමු කිරීමේ වැඩසටහනෙහි ප්‍රගතිය සමාලෝචනය කිරීමේ හමුවක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ ඊයේ (25) පැවති අවසථාවේදි ජනාධිපතිවරයා මේ උපදෙස් දුන්නේය.

ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය, වෘත්තීය පුහුණු අධිකාරිය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශ දායක කර ගනිමින් ජපන් භාෂා දැනුම දීමේ වැඩසටහන් කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළේය.

විවිධ ක්ෂේත්‍රයන්හි පුහුණු ශ්‍රමිකයන් සඳහා ජපානය, පෝලන්තය සහ රුමේනියාව ඇතුළු රටවල රැකියා පුරප්පාඩු රැසක් පවතින බවත් එම අවස්ථා ඉලක්ක කර ගනිමින් භාෂා සහ වෘත්තීය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. පවතින ආර්ථික පසුබෑම හමුවේ විදේශ විනිමය හා විදේශ රැකියා අවස්ථා ගැනීම සඳහා විශේෂ අවධානය යොමු කළ යුතු බව ද රාජපක්ෂ මහතා පැවසීය.

හෙද සේවය සඳහා යුරෝපය ඇතුළු රටවල් රැසක ඉහළ ඉල්ලුමක් පවතින බව මෙහිදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් පෙන්වා දුන්නේය.

දැනට රාජ්‍ය සේවයේ නියුතු ඕනෑම අයකුට හෝ බහුකාර්ය යෝජනා ක්‍රමය යටතේ බඳවාගෙන ඇති සේවකයකුට විදේශ රැකියා සඳහා පිටත්ව යෑමට ඇති බාධා ඉවත් කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරුණු අතර, එහිදී ජ්‍යෙෂ්ඨත්වයට බලපෑමක් නොවන අයුරින් විදේශ රැකියා සඳහා යොමු වීමට අවස්ථාව සලසා දිය යුතු බව කම්කරු හා විදේශ රැකියා ප්‍රවර්ධන ඇමැති මනූෂ නානායක්කාර මහතා පැවසීය.

විදේශ ප්‍රේෂණ වෙනුවෙන් වාහන බලපත්‍ර, නිවාස ණය හා පාසල් දරුවන් සඳහා පහසුකම් දීමෙන් ඔවුන් දිරිගැන්විය හැකි බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

තානාපති කාර්යාල මැදිහත්වීමෙන් රැකියා අවස්ථා උදා කර ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ද ඇමැතිවරයා පැවසීය. ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක යන මහත්වරු, අමාත්‍යාංශ ලේකම්වරු සහ රේඛීය ආයතන ප්‍රධානීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න