සඟවා තබා ගත් ඉන්ධන ලීටර් 59,000ක් රට පුරා වැටලීම්වලින් හමු වෙලා | දිනමිණ

සඟවා තබා ගත් ඉන්ධන ලීටර් 59,000ක් රට පුරා වැටලීම්වලින් හමු වෙලා

  • ජාවාරම්කාර 137ක් අත්අඩංගුවට
  • තොරතුරු 118-119-1997ට කියන්න

පොලිසිය ජනතාවගෙන් ඉල්ලයි

ඉන්ධන හිඟය සහ මිල ඉහළ යෑමේ තත්ත්වය හමුවේ වැඩි මිලට අලෙවි කිරීම සඳහා සඟවා තබා ගත් ඉන්ධන ලීටර් 59,000ක් රට පුරා කරන ලද වැටලීම්වලින් මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් බෙදාහරින ඉන්ධන යොදා ගෙන විවිධාකාරයේ ජාවාරම්වල යෙදුණු පුද්ගලයන් 137 දෙනකු ද මේ වන විට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේ මේ වන විට ඉන්ධන සම්බන්ධයෙන් වැටලීම් 429ක් කර ඇති බවයි. එම වැටලීම්වලින් ප්‍රෙට්‍රල් ලීටර් 27,000 ක්, ඩීසල් ලීටර් 22,000ක් හා භූමිතෙල් ලීටර් 10,000කට ආසන්න සංඛ්‍යාවක් සොයා ගත් බව ද තල්දූව මහතා කීවේය.

මෙලෙස ඉන්ධන ජාවාරමේ යෙදෙන පුද්ගලයන් ඇතොත් 118,119 හා 1997 කෙටි දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ ඉන්ධනවලට විවිධ ද්‍රව්‍ය කලවම් කොට අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති අතර, කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන් ද සමඟ පොලිසිය මේ සම්බන්ධව වැටලීම් කරනු ලබයි. මේ වැටලීම්වලදී 1979 අංක 37 දරන ඛනිජ තෙල් නිෂ්පාදන පාලනය හා සැපයුම නියාමන පනත උපයෝගි කර ගනිමින් කටයුතු කරන අතර, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විශේෂඥ නිලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් මේ වැටලීම් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගනියි.

ඉදිරියටත් මෙවැනි වැටලීම් කරන අතර, මෙසේ නීති විරෝධි ලෙස ඉන්ධන රැස් කිරීම, නිවෙස්වල ගබඩා කිරීම අනතුරුදායක විය හැක. එහිදී සුළු අත්වැරැදීමක් හේතුවෙන් ඔබටත් ඔබගේ අසල්වැසි නිවෙස්වල අයට ද අනතුරු විය හැක. එසේම ඉන්ධන වැඩි මිලට අලෙවි කිරීමෙන්, ගබඩා කිරීමෙන් වළකින ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර ජනතාවගේ ප්‍රචණ්ඩකාරි හැසිරීම් හේතුවෙන් රට පුරා ඉන්ධන පිරවුම්හල් 40ක් වසා දමා ඇතැයි තොරතුරු හෙළිවේ. මාර්ග අවහිර කර, ඉන්ධන පිරවුම්හල් අසල ගැටුම්කාරි තත්ත්වයන් ඇති කිරීම හේතුවෙන් එම පිරවුම්හල් මඟින් ඉන්ධන ඇණවුම් නොකිරීම මත මෙසේ ඒවා වසා දැමීමට සිදුව තිබෙන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා ‘දිනමිණ‘ට ඊයේ (25) පැවසීය.

ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය ක්‍රමවත්ව කිරීමට මහජන සහාය නොලැබෙන්නේ නම් තවත් ඉන්ධන පිරවුම්හල් වසා දැමීමට වන බව ද හෙතෙම කීවේය. ඉන්ධන පිරවුම්හල්වල සේවකයන්ට තර්ජනය කරමින් ඉන්ධන ගැනීමට ජනතාව ක්‍රියා කිරීම හේතුවෙන් එම ඉන්ධනහල් ඇණවුම් කළ ඉන්ධන තොග අවලංගු කර ඇති බව පැවසීය. ගම්පහ දිස්ත්‍රික්කයේ මෙවන් ප්‍රචණ්ඩකාරි සිදු වීම් රැසක් වී ඇති බව ද ඔහු අවධාරණය කළේය.

අනුර ප්‍රේමලාල්, සුභාෂිණී සේනානායක සහ ක්‍රිසන්ති විතාරණ

නව අදහස දක්වන්න