කිහිප දෙනකු නිසා රට අර්බුදයට ලක් වීම අපරාධයක් | දිනමිණ

කිහිප දෙනකු නිසා රට අර්බුදයට ලක් වීම අපරාධයක්

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකින් පරීක්ෂණ කරන්න

කෝප් කමිටුවෙන් නිර්දේශ

රටේ ආර්ථිකය මෙහෙයවූ කිහිප දෙනකුගේ තීරණ හේතුවෙන් මුළු මහත් රටක් අද වන විට විශාල අර්බුදයකට පත්ව ඇති බැවින් එය අපරාධයක් සේ සලකා ඊට අදාළ නිලධාරීන් ඇතුළු සියලු දෙනා ගැන පරීක්ෂණ කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති, මහාචාර්ය චරිත හේරත් මහතා ඊයේ (25) නිර්දේශ කර තිබේ. විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව කෝප් කමිටුව හමුවට ඊයේ (25) කැඳවූ අවස්ථාවේදී සභාපති, මහාචාර්ය චරිත හේරත් මහතා මේ නිර්දේශය දී ඇත.

එමෙන්ම බාහිර පාර්ශ්වවල බලපෑමෙන් තොරව නිවැරැදි තාක්ෂණික කරුණු මත පිහිටා තීන්දු තීරණ ගැනීමේ බලය මහ බැංකුව වෙත දීමේ අවශ්‍යතාව ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් මෙහිදී අවධාරණය කෙරිණ.

මේ ආර්ථික අර්බුදය නිර්මාණය වීමේ මූලික කරුණු පිළිබඳ විමසීමේදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේ 2020 මාර්තු - අප්‍රේල් වන විට අන්තර්ජාතික මූල්‍ය අරමුදල මඟින් ණය පහසුකම් ගැනීමට යෑමේදී ශ්‍රී ලංකාවෙහි ඒ වන විට ණය තිරසර බවක් (Debt Sustainability) නැති බව ලිඛිතව දන්වා ඇති බවයි. එබැවින් ණය පහසුකම් ගැනීමට නම් පවතින ණය ප්‍රතිව්‍යුහගත කළ යුතු බව එවකට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට සහ මහ බැංකු අධිපතිවරයාට ලිඛිතව දන්වා ඇති බව ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

මේ අනුව මුදල් පනත යටතේ අදාළ තාක්ෂණික සාකච්ඡාවලින් පසු මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් ඇමැතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන්ට අදාළ තාක්ෂණික කාරණා නිර්දේශ කර යැවූ බවත් අදාළ තීරණ ගනු ලබන්නේ මුදල් ඇමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය විසින් බවත් මහ බැංකු අධිපතිවරයා මෙහිදී පැවසීය.

එවකට මුදල් ඇමැතිවරයා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අදහස් පළ කළ රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ සත්‍ය තත්ත්වය පාර්ලිමේන්තුවට දැනුම් නොදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී පැවසීය. එසේම 2019 නොවැම්බර් වන විට අයිඑම්එෆ් වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ ණය තිරසර මට්ටමේ පැවති බවත් අනතුරුව ජනාධිපතිවරණයෙන් මාස කිහිපයකට පසුව අයිඑම්එෆ් වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ණය තිරසර නොවන බවත් දැනුම් දුන් බව පෙන්වා දුන්නේය. එවකට ජනාධිපති ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් රුපියල් බිලියන 600ක බදු අඩු කර ගැනීමක් සිදු වූ බව ද මීට පෙර අයිඑම්එෆ් වාර්තාව මඟින් බදු ආදායම අඩු කර නොගන්නා ලෙස උපදේශයක් දී තිබියදී මෙවැනි තීරණයක් ගත්තේ කවුරුන් ද යන්නත් ඒ මහතා විමසීය.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා පෙන්වා දුන්නේ නව ව්‍යවසායකයන් දිරිගැන්වීමේ අරමුණ ඇතිව මේ තීරණය ගත් බවයි.

පසුගිය කාලය තුළ විනිමය අනුපාතිකය ආයාසයකින් යුතුව රඳවා තබා ගැනීම නිසා විශාල මුදලක් අහිමි වීම පිළිබඳ සමාජයේ පවතින මතය ගැන මෙහිදී කමිටුව විමසන ලදි. මේ පිළිබඳ බලය ඇත්තේ මුදල් මණ්ඩලයට බව මහ බැංකු අධිපතිවරයා පැවසූ අතර, එවකට මුදල් මණ්ඩල සාමාජිකාවක වූ ආචාර්ය රාණි ජයමහ මහත්මිය පැවසුවේ මහ බැංකු සංචිත යොදා ගනිමින් මේ විනිමය අනුපාතය ආයාසයෙන් රඳවා තබා ගැනීමට දැඩි ලෙස විරුද්ධ වෙමින් තමා සහ හිටපු මුදල් මණ්ඩල සාමාජික සංජීව ජයවර්ධන මහතා එය ලිඛිතව දැනුම් දුන් බවයි. නමුත් මුදල් මණ්ඩල සාමාජිකයන් තිදෙනකුගේ මතය අනුව විනිමය අනුපාතිකය එකම අගයක රඳවා තබා ගැනීම වූ බවත් එවකට මහ බැංකු අධිපතිවරයා වූ මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන්, භාණ්ඩාගාරයේ එවකට හිටපු ලේකම්වරයා සහ පත් කරන ලද සාමාජික සමන්ත කුමාරසිංහ යන මහත්වරුන්ගේ අභිමතය පරිදි මෙය වූ බව ද මෙහිදී අනාවරණය විය.

එසේම වත්මන් අර්බුදකාරි තත්ත්වය සමනය කර ගැනීමට අදාළ විසඳුම් පිළිබද ද දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා විය. අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගත වීම දක්වා යන ගමනේදී ඉදිරි මාස 3-4ක කාලය සඳහා අවශ්‍ය විදේශ විනිමය සපයා ගැනීම තරමක් අසීරු වුව ද කෙසේ හෝ එම අභියෝගය ජය ගැනීමට උත්සාහ කරන බව මහ බැංකු අධිපතිවරයා මෙහිදී පැවසීය.

වත්මන් ආර්ථික අර්බුදය තුළ පවතින ඉන්ධන හිඟය ඇතුළු ගැටලු හමුවේ අවම රාජ්‍ය සේවක සංඛ්‍යාවකින් රාජකාරි පවත්වාගෙන යෑම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ සාකච්ඡා කොට ඉදිරි සති 3 සඳහා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් වහාම සකස් කරන ලෙස ද කෝප් සභාපතිවරයා මෙහිදී මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට නිර්දේශ කළේය.

වත්මන් අර්බුදය විසඳා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන් කරන මෙහෙය පිළිබඳ ද කෝප් සභාපතිවරයා මෙහිදී සිය ප්‍රශංසාව පළ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, ආචාර්ය හර්ෂ ද සිල්වා, ජගත් පුෂ්ප කුමාර, ආචාර්ය සරත් වීරසේකර, මධුර විතානගේ සහ ප්‍රේමනාත් සී දොලවත්ත යන මහත්වරු ද විගණකාධිපතිවරයා, මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ස්වර්ණා විජේකෝන්

නව අදහස දක්වන්න