රසෝදා ඩේරිස් සමාගම රන් සම්මාන ලබයි | දිනමිණ

රසෝදා ඩේරිස් සමාගම රන් සම්මාන ලබයි

මෙරට ප්‍රමුඛ කිරි ආශ්‍රිත නිෂ්පාදන දේශීය සමාගමක් වන රසෝදා ඩේරිස් (පෞද්) සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධාන කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයේදී කිරි ආශ්‍රිත නිෂ්පාදන අංශයේ මධ්‍ය හා මහා පරිමාණ කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උලෙළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වෝටර්ස් එජ් හෝටලයේදි උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. රසෝදා යනු රස + උදාව යන්නයි. රසෝදා සැම විටම දේශීය කිරි ගම්මානවල කිරි දෙනුන්ගෙන් ගන්නා නැවුම් එළ කිරි භාවිත කර ප්‍රමිතියෙන්හා ගුණාත්මකභාවයෙන් උසස් යෝගට්, යෝගට් පානය, මුදවපු කිරි, අයිස්ක්‍රීම් ඇතුළු නිෂ්පාදන රැසක් වෙළෙඳපොළට සපයයි. එබැවින් රසෝදා නිෂ්පාදන පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ඇති අතර, තරගකාරි වෙළෙඳපොළේ ඉක්මනින් ඉදිරියට ඒමට ඔවුන්ට හැකි විය. ‘‘මේ අවස්ථාවේදී අපව රන් සම්මානය දක්වා ඉහළට ඔසවා තැබූ ආදරණීය පාරිභෝගිකයන්ට සහ රසෝදා සේවක මණ්ඩලයට මාගේ කෘතවේදීත්වය පිරිනමනවා.” සභාපති හා කළමනාකරණ අධ්‍යක්ෂ දමින්ද පෙරේරා මහතා පැවසීය.

2002 දී දෛනිකව කිරි ලීටර් 100ත් 150ත් අතර ප්‍රමාණයකින් නිෂ්පාදන කටයුතු සේවකයන් හතර දෙනකුගෙන් ඇරැඹූ රසෝදා වර්තමානයේදී නවීන යන්ත්‍ර භාවිතයෙන් දිනකට කිරි ලීටර් 12,000කින් නිෂ්පාදන කටයුතු කරයි. නවතම කර්මාන්ත ශාලා ද්විත්වයේ දිනකට කිරි ලීටර් 40,000ක නිෂ්පාදන ධාරිතාවක් ඇත. 250කට වැඩි සේවක පිරිසක් එහි සේවය කරන අතර, කිරි ගොවියෝ 300කට වැඩි පිරිසක් කිරි සපයති. GMP, HACCP සහ ISO 22000 ජාතික ප්‍රමිති තත්ත්ව සහතික ලබා ඇති රසෝදා දේශීය විශේෂඥ දැනුමේ හා නෙදර්ලන්ත කිරි සැකසීමේ තාක්ෂණයේ සුසන්යෝගයෙන් යහගුණැති රසෝදා නිෂ්පාදන පාරිභෝගිකයන්ට සපයයි. වර්තමානයේදී රසෝදා නිෂ්පාදන ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකටම සැපයීමට බෙදා හැරීමේ ජාලය පුළුල් කිරීමට කටයුතු කරන අතර, රසෝදා බලයලත් බෙදා හැරීමේ නියෝජිතවරයකු වීමට රසෝදා සමාගම ආරාධනා කරයි.

 

නව අදහස දක්වන්න