දහනවයෙන් විසිඑකට | දිනමිණ

දහනවයෙන් විසිඑකට

ව්‍යවස්ථා සංශෝධනය හා වර්තමානයේ පැන නැඟී ඇති ප්‍රශ්නය අතර ඍජු සම්බන්ධයක් නැත. 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් අරගලයට පිළිතුරක් හෝ ඒ සඳහා බලපෑ හේතුවලට උත්තරයක් ලැබේ යැයි විශ්වාස කළ නොහැකිය. අරගලය වර්තමානය වන විට ගාලුමුවදොරට සීමාව තිබුණ ද විදුලිය, ගෑස් වැනි දේවල් හිඟ වීම නිසා මහ පාරට ද ව්‍යාප්ත වී තිබේ. මුළුතැන්ගෙයි අරගලයට ව්‍යවස්ථා සංශෝධනයෙන් පිළිතුරු ලැබෙන්නේ නැත. එම නිසා මේ කරුණු දෙක පටලවා ගත යුතු නැත.

අරගලයට හේතු වූ ආර්ථික ප්‍රශ්න මෙන්ම දේශපාලන ප්‍රශ්න ද තිබේ. ඒවාට පිළියම් සෙවිය යුතුය. පවතින දේශපාලන ප්‍රශ්නයට ව්‍යවස්ථා සංශෝධනයකින් මුළුමනින්ම පිළිතුරු සෙවිය නොහැකිය. ඒ නිසා ව්‍යවස්ථා සංශෝධනයේ මුඛ්‍ය අරමුණ අරගලය සංසිඳවීමට විතැන්වීමට ඉඩ දිය යුතු නොවේ.

බ්‍රිතාන්‍ය කීරීටයෙන් නිදහස්ව බිහි කළ 72 පළමු ජනරජ ව්‍යවස්ථාවට ජනතා ආශිර්වාදය ලැබිණ. අප ඒ ජනරජය ආරක්ෂා කළ ද, එසේ නැත්නම් දේශපාලන වුවමනා අනුව වරින් වර ව්‍යවස්ථා සංශෝධන කළේ ද යන ගැටලුව අප ඉදිරියේ තිබේ.

78 ව්‍යවස්ථාව ගෙන ඒමේදී ජනාධිපති ජයවර්ධනට සාධාරණ හේතු තිබෙන්නට ඇත. එක් එක් දේශපාලන කෝණ අනුව ඒවා විග්‍රහ කරන ආකාරය වෙනස් විය හැකිය. අපගේ විධායක ජනාධිපති ක්‍රමය ඩිගෝල්ගේ ප්‍රංශ ව්‍යවස්ථාව හා අමෙරිකානු ව්‍යවස්ථාවට අනුව සකස් කළ බව දැක්වුවත් ඒ දෙකේම නොමැති උත්තරීතර බලයක් එක් ආයතනයකට කේන්ද්‍රගත කර ඇත.

අනෙක් රටවල විධායක ජනාධිපති ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය යන ආයතන අතර බල තුලනයකිනි. එහෙත් අපේ රටේ විධායකයට සෑම ව්‍යුහයකටම අත පෙවීම් කිරීමට ඉඩකඩ සකස් කර තිබේ. ඉන් පසු සිදු වූයේ බොහෝ සංශෝධන මඟින් එම බලය තවදුරටත් මුවහත් කිරීමය. විශේෂයෙන්ම 18 හා 20 වැනි සංශෝධන විධායකයේ බලතල තවදුරටත් ශක්තිමත් කිරීමේ අභිමතාර්ථයෙන් කළ සංශෝධන බව පැහැදිලිය. අප ජනරජයක් පිහිටුවා ගත්ත ද එය නියමාකාරයෙන් පවත්වාගෙන ගොස් නැත.

ජනරජයේ වැදගත්කම ගැන අමෙරිකානු ව්‍යවස්ථාව සම්පාදනය කළ වෛද්‍ය බෙන්ජමින් ප්‍රෑන්ක්ලීන් පැවසූ අදහසකින් මෙය පැහැදිලි කළ හැකිය. බෙන්ජමින් ප්‍රෑන්ක්ලීන් ව්‍යවස්ථාව කෙටුම්පත් කරමින් සිටින විට තේ පැන් සාදයකදී ඔහුට මුණ ගැසුණු කාන්තාවක් ‘ඔබලා නිර්මාණය කරන්නේ මොන විදිහේ ව්‍යවස්ථාවක් ද? තවත් කීරීටයක් ද’ යනුවෙන් අසන ලදී. එයට පිළිතුරු දෙමින් ප්‍රෑන්ක්ලීන් ‘අපි අපට ජනරජයක් හදා ගත්තා. ඔබලාට එය තියා ගන්න පුළුවන් නම්...’ යනුවෙන් පිළිතුරු දී ඇත.

ඔවුන් අමෙරිකානු ජනරජය ආරක්ෂා කර ගන්නා ලදී. එරට පුරවැසියන් සෑම දෙයක්ම ආණ්ඩුවෙන් බලාපොරොත්තු වන්නේ නැත. පුරවැසි ක්‍රියාකාරිත්වය තුළින් ආයතන හා ක්‍රමවේද ශක්තිමත් කිරීමට ඔවුන් කැපව ඇත. ඔවුන්ගේ ජනරජ ව්‍යවස්ථාව වර්තමානය දක්වා ක්‍රියාත්මක වූයේ ඒ නිසාය. අප අපගේ ව්‍යවස්ථාව දේශපාලනික හේතු මත වරින් වර සංශෝධන කර තිබේ.

78 ව්‍යවස්ථාව

78 ව්‍යවස්ථාව සකස් කිරීමේදි ප්‍රංශයේ හා අමෙරිකාවේ තිබෙන ආණ්ඩුක්‍රම ගැන අවධානය යොමු කර ඇති බවක් නොපෙනේ. අමෙරිකාවේ පාර්ලිමේන්තුව වන්නේ කොංග්‍රසයයි. එයට ඉහළින් සෙනෙට් සභාවක් ඇත. අමෙරිකානු ජනාධිපතිවරයාගේ කැබිනට් මණ්ඩලය (රාජ්‍ය ලේකම්වරු) කොංග්‍රසයේ හෝ සෙනෙට් සභාවේ සාමාජිකයන් නොවේ. ඔවුන්ගෙන් විධායකය සහ ව්‍යවස්ථාදායක කාර්යභාරයන් ඈත් කර තිබේ. ඒ අනුව නීති සකස් කරන තැන හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන තැන වෙන් කර ඇත.

ප්‍රංශයේ ව්‍යවස්ථාවේ තත්ත්වය ද එසේය. එරට අගමැතිවරයාගේ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථාදායකයේ කොටසක් නොවේ. කිසියම් හේතුවක් මත ව්‍යවස්ථාදායකයේ සාමාජිකයෙක් කැබිනට් මණ්ඩලයට තෝරා ගනු ලැබුව හොත් ඔහු පාර්ලිමේන්තුවෙන් ඉවත් විය යුතුය.

78 ව්‍යවස්ථාව අමෙරිකාව හා ප්‍රංශ ව්‍යවස්ථාවට අනුව සකස් කළ බව කියතත්, සිදුව ඇත්තේ එම ද්විත්වය සමඟ මිශ්‍ර කර ක්‍රමයක් සකස් කිරීමය. කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවෙන් තෝරා ගැනීම කරනුයේ බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය අනුවය. බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ප්‍රධානියා අගමැතිය. එහෙත් මෙරට අගමැතිට බලයක් නැත.

අපේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා වෙනම ඡන්දයකින් පත් වන අතර ඔහුට ව්‍යවස්ථාදාකයෙන් කැබිනට් මණ්ඩලයක් පත් කර ගැනීමට පවරා තිබේ. එවිට ඔහුට කැබිනට් ඇමැති නමැති කැරට් අලය පෙන්වා මන්ත්‍රීන් දිනා ගැනීමට අවස්ථාව ව්‍යවස්ථාවෙන් දී ඇත. මෙම තත්ත්වය ව්‍යවස්ථා සංශෝධනයේදී නිවැරැදි කර විධායකය ව්‍යවස්ථාදායකයෙන් ඈත් කළ යුතුය.

විධායක බලය ව්‍යවස්ථාදායකය තුළින් තෝරා ගැනීමෙන් දූෂණයට හේතු වේ. මේ සඳහා ගත යුතු එක් පියවරක් වන්නේ ඇමැති වරප්‍රසාද ඉවත් කිරීමය. අනෙක වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට එම රාජකාරිය පමණක් පැවරීමය. පාර්ලිමේන්තුවට පැවරී තිබෙන්නේ කාර්යභාර තුනක් පමණි. ඒවා නම් ප්‍රතිපත්ති සාකච්ඡා කිරීම, මූල්‍ය පරිපාලනය හා නීති සම්පාදනය කිරීමය.

වරප්‍රසාද ඉවත් කර පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට මෙම කාර්යය පමණක් සීමා කළ විට මිලියන ගණන් මැතිවරණවලට වියදම් කරන ක්‍රමය ඉබේම නවතී. දූෂණයට මඟ පාදන ක්‍රමය ඉවත් වේ.

සංශෝධන මානසිකත්වය

19 වැනි සංශෝධනයේ කෙටුම්පත් කිරීමේ ආරම්භක සාකච්ඡාවලදී එහි සාධනීය ලක්ෂණ ඇති බව පෙනෙන්නට තිබිණි. ආරම්භයේ තිබුණු ඇතැම් සාධනීය ලක්ෂණ කෙටුම්පත ඉදිරිපත් කරන විට අත්හැරී තිබිණ. පක්ෂ මාරු කරන මන්ත්‍රීන්ගේ ආසන අහිමි වන යෝජනාවක් ද 19 වැනි සංශෝධනයේ ආරම්භක කෙටුම්පතේ තිබිණි. ඉදිරි ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ දී එම තත්ත්වය තමන්ට අවාසි විය හැකිය යන පදනම මත ඒවා හැලී ගියා විය යුතුය. ඒ ආකාරයට දේශපාලන අවශ්‍යතා අනුව ව්‍යවස්ථා සකස් කළ යුතු නොවේ. ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ රටට වුවමනා කෙරෙන ව්‍යූහ සකස් කර ගැනීම සඳහාය.

20 වැනි සංශෝධනයේදී අපට අධිකරණය ඉදිරියට යෑමට සිදු විය. එය අපගේ බලතල බෙදීමේ න්‍යායට පටහැනිව ගෙන එන ලද සංශෝධනයකි. මුල් කෙටුම්පතේ තිබුණු බොහෝ හානිකර දේ ශ්‍රේෂ්ඨාධිකරණ මැදිහත්වීමෙන් සංශෝධනය කර ගත හැකි විය. එහෙත් 19 කපන ලද විධායකයේ තටු නැවත 20න් සවි කිරීමක් සිදු විය. එයට අත ඔසවා සහාය දුන් පිරිසම තමන් වැරැද්දක් කළ බව පිළිගෙන තිබේ. ඒ සඳහා අපට විශාල මිලක් ගෙවීමට සිදු විය.

එවකට සිටි ජනපති හා අගමැති 19 වැනි සංශෝධනයේ පරමාර්ථ අවබෝධ කර ගෙන වැඩ කටයුතු කළේ නම් ඔවුනට පාලනය ගෙන යෑමට ඉඩ තිබිණි. එම ඉඩ භාවිත කර අගමැති ජනපතිගේ බලතල ගැනීමට යෑම නිසා ගැටලු සහගත තත්ත්වයක් ඇති වුණි. අගමැතිගේ අදහස් විමසිය යුතු අවස්ථාවල ඒ සඳහා ජනපති කටයුතු කළේ ද නැත. ව්‍යවස්ථා සංශෝධනයක් සාර්ථක වීමට ප්‍රජාතාන්ත්‍රික ව්‍යවස්ථා සංශෝධනවාදී මානසිකත්වයක් තිබිය යුතුය. 19 තිබුණු යම් යම් දුර්වලතා පෙර සඳහන් කළ ආකාරයේ ව්‍යවස්ථා සංශෝධන මානසිකත්වකින් මේ ගැටලුව දෙස බැලුවේ නම් විසඳා ගත හැකිව තිබිණි.

21 වැනි සංශෝධන

21 වැනි සංශෝධනයේදී 19 වැනි සංශෝධනයේ තිබුණු ධනාත්මක දේවල් ආරක්ෂා කර ගන්නා අතරම එහි තිබුණු ඇතැම් අනවශ්‍ය දේවල් ඉවත්කර තිබේ. එය ප්‍රශස්තය. මෙතැනින් අපට තවත් ඉදිරියට යා හැකිය. නීතිඥ සංගමය ඉදිරිපත් කළ සාධනීය කරුණු පිළිබඳව අපට එකඟ විය හැකිය. ක්‍රමවේද සකස් කිරීම සඳහා ඔවුන් කරන යෝජනාව නීති මඟින් සකස් කළ හැකිය.

අල්ලස් හා දූෂණ කොමිසමේ පනත සංශෝධනය කරන තෙක් යම් යම් ක්‍රියාමාර්ග ගැනීමට බලය පවරමින් 21 වැනි සංශෝධනයේ බලය පවරන යෝජනාව තවත් ඉදිරි පියවරකි. මේ අනුව ඔවුනට පැමිණිල්ලකින් තොරව පරීක්ෂණ කිරීමට හැකියාව ලැබේ. ව්‍යවස්ථා සභා නිර්මාණය කිරීම සුදුසුය. එතැනදී පුරවැසියන් දෙදෙනකු පමණක් සම්බන්ධ කර ගැනීම වෙනුවට තරුණයන්ගේ හඬට ද අවස්ථාවක් දිය යුතුය. සමස්තයක් ලෙස ගත් විට ගාලුමුවදොර අරගලකරුවන්ගේ ඉල්ලීම්වලින් කියැවෙන්නේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට ඔවුන් ද දායක කර ගත යුතුය යන්නය. සිවිල් සමාජයෙන් දෙදෙනකු ව්‍යවස්ථා සභාවට පත් කර එය කළ නොහැකිය. ජන මණ්ඩලයක් පිළිබඳ අදහසක් ඉදිරිපත් තිබේ.

සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි ජන සභාවක් පත් කර එහි නියෝජනයක් ව්‍යවස්ථා සභාවට පත් කර මේ ක්‍රමය තවත් ශක්තිමත් කළ හැකියි. ජාතික ලැයිස්තු මන්ත්‍රීන් පත් කිරීමේදී පැරදුණු අය පත් කිරීම වෙනුවට උගතුන් පත් කළ හැකි නම් ප්‍රජාතන්ත්‍රවාදය තවත් අර්ථවත් කළ හැකිය.

අධිකරණ ඇමැතිවරයා මේ සංශෝධනයේදී උත්සාහ කර තිබෙන්නේ ජනමත විචාරණයකින් මෙපිට කළ හැකි සංශෝධන කිරීමටය. 19 තිබුණු තත්ත්වය යෑමට ජනමත විචාරණයක් වුවමනා නැති බවට මතයක් තිබේ. ඒ පරිසරය තුළ බොහෝ සාධනීය කරුණු 21 වැනි සංශෝධනයේ තිබේ. විශේෂයෙන්ම කොමිසම් සභා පත් කිරීම සහ ඒවා මඟින් නීතිපති, විගණකාධිපති, මහ බැංකු අධිපති පත් කිරීම ඉතාම හොඳ දෙයකි.

පළාත් සභා

විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම ඉවත් කරන්නේ නම් එය පළාත් සභා ක්‍රමයට කෙසේ බලපාන්නේ ද යන්න ගැන ද කල්පනා කළ යුත්තකි. පළාත් සභා ක්‍රමය යටතේ රටේ ඒකීයභාවය රැකී තිබෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය මඟිනි. එම ප්‍රශ්නය වෙනම සාකච්ඡා කළ යුතු එකක් වන අතර එයට ජනමත විචාරණයකින් මෙපිට විසඳුමක් සෙවිය නොහැකිය.

පළාත් සභා ගැන සැලකිල්ලට ගැනීමේදී එම ක්‍රමය ඇති කිරීමට බලපෑ දේශපාලන හේතු ද සැලකිල්ලට ගත යුතුය. මෙවැනි ක්‍රමයක් ඇති කිරීමට මූලික වශයෙන්ම බලපෑවේ උතුරු නැඟෙනහිර ප්‍රශ්නයයි. එම ප්‍රදේශ නියෝජනය කරන මන්ත්‍රීන්ට පාර්ලිමේන්තුවේ සාධාරණ නියෝජනයක් දී ඔවුන් සමඟ සාකච්ඡා කර පළාත් සභා තවදුරටත් පවත්වාගෙන යන්නේ ද යන්න තීරණය කළ හැකිය.

21 වැනි සංශෝධනයේ දී අප හැකි තාක් දුරට විධායකය හා ව්‍යවස්ථාදායකය වෙන් කරන ක්‍රමවේද සෙවිය යුතුය. විවිධ වරප්‍රසාද දී මන්ත්‍රීන් දිනා ගැනීමට ව්‍යවස්ථාවෙන් විධායකයට දී ඇති ඉඩ අවහිර නොකරන තාක් ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කර ගත නොහැකිය. ඒ නිසා එය අත්‍යවශය දෙයකි.

මෙයට අමතරව ඡන්දයට ඉදිරිපත් වන ක්‍රමය, පක්ෂවලින් නියෝජිතයන් ප්‍රජාතන්ත්‍රවාදීව ඉදිරිපත් වන ක්‍රමවේද, මන්ත්‍රීන්ගේ වත්කම් විගණනය සොයා බලන ස්වාධීන ආයතනයක් ඇති කළ යුතුය. මෙම ක්‍රමය වෙනස් කර ගන්නා තෙක් දූෂණයට ඇති ඉඩ වැසීම කළ නොහැකිය. මේ ආකාරයේ සංශෝධන ඇති කිරීමෙන් ක්‍රමයේ විශාල වෙනසක් කළ හැකිය.

අධිකරණයේ ස්වාධීනත්වය

ශ්‍රේෂ්ඨාධිකරණය වැනි ඉහළ අධිකරණවල විනිසුරුවරුන් පත් කිරීමේදී අගවිනිසුරුවරයාගේ අදහස විමසා ව්‍යවස්ථාදායක සභාව මඟින් කළ යුතු බවට 19 වැනි ව්‍යවස්ථාව මඟින් ඇති කළ තත්ත්වය 21 මඟින් නැවත තහවුරු කර ඇත. එය යහපත් පියවරකි.

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා ගතයුතු තවත් පියවරක් ඇත. එනම් විශ්‍රාමික විනිසුරුවරු රජයේ තනතුරුවලට පත් කිරීම වළකන නියමයක් 21ට එක් කිරීමය. එය 19 වැනි ව්‍යවස්ථා කෙටුම්පතේ මුල් පියවරේ තිබී පසුව හැලී ගිය අදහසකි.

ඉහළ අධිකරණවල සිටින විනිසුරුවරුන්ට ආණ්ඩුව විසින් අනවශ්‍ය බලපෑමක් කිරීමේ හැකියාව එමඟින් වැළකී යයි. අමෙරිකානු ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ට විශ්‍රාම යෑමේ වයස් සීමාවක් නැත. ඔවුන් ස්වයංව විශ්‍රාම යන තෙක් ඉවත් කළ නොහැකිය. එහෙත් මෙරට විනිසුරුවරුන්ට විශ්‍රාම යෑමේ වයස් සීමාව බලපායි. විශ්‍රාමික අධිකරණ නිලධාරීන් ඉන්පසු තානාපති සේවය හෝ වෙනත් රාජ්‍ය තනතුරුවලට පත් කරන තත්ත්වයක් ඇත. එය වැළැක්වීම මඟින් අධිකරණයේ ස්වාධීනත්වය තවත් වැඩි වේ. මෙම පියවර මඟින් අධිකරණය ගැන වූ ජනතා විශ්වාසය තවදුරටත් වර්ධනය වේ.

චන්දන ජයවීර

නව අදහස දක්වන්න