හරි පුදුම නෝනලා හා මහත්වරු | දිනමිණ

හරි පුදුම නෝනලා හා මහත්වරු

අපේ කෘෂිකර්මාන්තය අඩාළ වී ආහාර අර්බුදයක් ගැන කම්පා වන තැනකට රට ඇදවැටී ඇත. දේශීය කෘෂිකර්මාන්තය ඇදවැටුණේ ඇයි දැයි ප්‍රශ්න කළ හොත් ඊට පළමුවෙන් ලැබෙන පිළිතුර වන්නේ කාබනික වගා ව්‍යාපෘතිය යන්නය. රසායනික පොහොර හා කෘමිනාශක තෙල් බෙහෙත් තහනම නිසා ගොවිතැන් පාළු වූ බව ඉන් කියවෙයි. තව කෙනකු කොවිඩ් ලෝක වසංගතය නිසා කෘෂිකර්මය ඇදවැටුණේ යැයි කියන්න පුළුවන. මේ උත්තරවල යම් සත්‍යතාවක් ඇති‘මුත් සම්පූර්ණ ඇත්ත කතාව එය නොවේ. හැබෑවටම ගත හොත් ඉහත ක්ෂේත්‍රය මෙහෙයවන නිලධාරීන්ගෙන් වැඩි දෙනකුට තමන්ගේ ක්ෂේත්‍රය දියුණු කිරීමේ වුවමනාවක් නැත.

ඉහතින් අප ගොඩනඟන තර්කයට සාක්ෂි ඊයේ පුවත්පත්වල පළ වී තිබිණි. එම ප්‍රවෘත්තිවලින් හෙළිදරව් වන්නේ කෘෂිකර්මයේ වැඩි දියුණුවට දුන් විදේශ ආධාර බොහොමයක් නාස්ති වී ඇති බවය. ඇතැම් ව්‍යාපෘතිවල නිලධාරීන් ලක්ෂ ගණනින් වැටුප් ගෙන ඇතත් ශත පහක කෘෂිකාර්මික සේවයක් සිදු වී නැත. තව සමහර ව්‍යාපෘති සඳහා අවශ්‍ය සැලැසුම් දී නැති බැවින් මුදල් ආධාර නැවතී ඇත. තවත් සමහර ව්‍යාපෘති අතරමඟ නවතා දමා තිබේ. මේ සියල්ලෙන්ම ගම්‍ය වන්නේ අකාර්යක්ෂම අලස නිලධාරීන් නිසා විශාල විදේශ විනිමයක් අපට අහිමි වී ඇති බවය. කෘෂිකර්මයේ ඇදවැටීමට දේශපාලකයන් පමණක් නොව නිලධාරීන් ද වගකිව යුතුය.

ගොවි සංවිධානවල නියෝජිතයන් කෘෂිකර්ම අමාත්‍යවරයා හමු වී ව්‍යාපෘති ගණනාවක් ගැන සාකච්ඡා කර ඇත. එහිදී හෙළි වූ එක් සිද්ධියකට අනුව 2021 වසරේ අයි.සී.ඩී.පී. ආධාර යටතේ සුළු පරිමාණ ගොවීන්ගේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඩොලර් මිලියන පනහක් වෙන් කර තිබිණි. එහෙත් එම ව්‍යාපෘතිය භාර නිලධාරිනිය වැඩසටහන ඉදිරියට ගෙන යෑම සඳහා කිසිවක්ම සිදු කර නැත. දැන් එම මුදල් රටට අහිමිය. ඩොලර් මිලියන අසූ දෙකක ආධාර යටතේ ක්‍රියාත්මක වන එස්.ඒ.ආර්.පී. ව්‍යාපෘතියේ ද ශත පහක වැඩක් සිදු වී නැත. එහෙත් අධ්‍යක්ෂවරයකු දිගටම වැටුප් ගෙන ඇත; වාහන පාවිච්චි කර ඇත. විදේශ ආධාර හා ණය ඉල්ලා සිටින කාලයක විදේශ ආධාර අපතේ යන ආකාරය පුදුමය!

කාබනික පොහොර වැඩසටහන ක්‍රියාත්මක කළ ආකාරයේ වැරැදි තිබෙන්නට පුළුවන. එහෙත් එය රටට වැඩදායක ව්‍යාපෘතියකි. එය සාර්ථක කර ගැනීමේ දැඩි වුවමනාවක් ජනාධිපතිවරයාට තිබුණ ද නිලධාරීන්ගෙන් බහුතරය ඊට සහයෝගය දැක්වූයේ නැත. ඒ පමණක් නොව එය කඩාකප්පල් කිරීමට සමහර නිලධාරීන් ක්‍රියා කළ බව ද රහසක් නොවේ. අවසන් ලෙස එය අසාර්ථක වූ අතර, සම්පූර්ණ වරද ජනාධිපතිවරයා වෙත යොමු විය. නිලධාරීන්ට වුවමනාවක් තිබුණේ නම් කාබනික වගාව සාර්ථක කර ගැනීමට ඉඩ තිබිණි. එහෙත් ඊට සහයෝගය ලැබුණේ ස්වල්ප දෙනකුගෙන් පමණි. බහුතරය පොහොර සමාගම් සමඟ සිට ගත්හ. නිලධාරී පෙළැන්තියට බොහෝ දේවල් කළ හැකිය. එය දේශපාලකයන් ද වටහා ගත යුතුය.

කෘෂිකාර්මික ක්ෂේත්‍ර‍ෙය් අසාර්ථක ව්‍යාපෘති නිරීක්ෂණය කරන කල තවත් සාධකයක් සිහිපත් කළ යුතුය. එනම් හිටපු අමාත්‍යවරුන්ට හා ලේකම්වරුන්ට ඉහත සඳහන් ව්‍යාපෘතිවල වගකීමෙන් නිදහස් විය නොහැකි බවය. අදාළ ව්‍යාපෘති ඉබාගාතේ ගොස් ඇත්තේ නිසි අධීක්ෂණයක් නැතිකම නිසා යැයි කිව හොත් එය ඉවත දැමිය නොහැකි තර්කයකි. විදේශ ආධාර මත ක්‍රියාත්මක වන වැඩසටහන් ගැන විශේෂයෙන් සොයා බැලිය යුතුය. ඒවායින් ගසාකෑමට ඇති අවස්ථාව වැඩිය. ඩොලර් මිලියන ගණනින් රටට අහිමි වීම ජාතික අපරාධයකි. ඒවා විනාශ කළ නිලධාරීන් ගැන මෙන්ම ඒවා අධීක්ෂණය නොකළ දේශපාලකයන් ගැන ද නීතිමය පියවර ගත යුතුය. ඔවුන් රටේ ජනතාවට හිමි විය යුතු සම්පත් රාශියක් අහිමි කර තිබේ.

1991 දී සමාජවාදී සෝවියට් දේශය බිඳවැටුණේ දරුණු ගණයේ නිලධාරිවාදයක් ද හේතු සාධක කරගනිමින්ය. රාජ්‍ය තන්ත්‍රයේ බිඳවැටීමත් සමඟ රුසියාව පුරා ආහාර අර්බුදයක් ද පැතිර ගියේය. විශ්වවිද්‍යාල මහාචාර්යවරු බොජුන්හල් අසලට වී කෑම වේලක් සඳහා සිඟමන් යදින්නට පටන් ගත්හ. එකල රුසියාවේ පැවැති ආහාර අර්බුදයට මුළුමනින්ම වගකිව යුත්තේ නිලධාරී ‍ෙපළැන්තිය බව පසුව හෙළිදරව් විය. නිලධාරීන් කොතරම් බලවත්ව සිටියේද යත්: රටේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සම්පූර්ණ බලය ඔවුන් අත පැවැතිණි. එහි අවසන් ප්‍රතිඵලය වූයේ කෘෂිකර්මය කඩා වැටී රට ආහාර අර්බුදයක් වෙත තල්ලු වීමය. අපේ රටේ පවත්නා නිලධාරීවාදය ද සුළු කොට තැකිය නොහැකිය.

රටේ ආර්ථික අර්බුදයට, කෘෂිකර්මයේ ඇදවැටීමට රාජ්‍ය නිලධාරීන් යම් ආකාරයකින් වගකිව යුතු බව බොහෝ දෙනා පිළිගනිති. ඇතැම් නිලධාරීන්ම පෙන්වා දෙන අන්දමට ඔවුන් හරියට වැඩ නොකළොත් ජනතාව ඊළඟට නිලධාරීන් දෙසට හැරෙන්නට පුළුවන.

නව අදහස දක්වන්න