ඇකා-රැට්ටා-ජිනරතන හිමිට පෙර නඩු නිසා ඇප නැහැ | දිනමිණ

ඇකා-රැට්ටා-ජිනරතන හිමිට පෙර නඩු නිසා ඇප නැහැ

සුභාෂිණී සේනානායක

නීති විරෝධි රැස්වීම් පවත්වමින් රජයේ දේපොළට හානි කිරීමේ සිද්ධිය

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ලහිරු චතුරංග වීරසේකර නොහොත් 'ඇකා', සමාජ ක්‍රියාකාරී රතිදු සේනාරත්න නොහොත් 'රැට්ටා', සිසු ජන ව්‍යාපාරයේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමියන් ඇතුළු තිදෙනාට පෙර නඩු පවතින බැවින් ඇප මත මුදා හැරීම කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (24) ප්‍රතික්ෂේප කෙළේය.

පෙරට්ටුව සඳහා නියමිත සැකකරු ඇතුළු සැකකරුවන් සිව් දෙනා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් අනෙකුත් සැකකරුවන් තිදෙනා ඇප මත මුදා හැරීමටත් මහේස්ත්‍රත්වරයා ඊයේ (24) නියෝග කෙළේය.

පොලිස් මූලස්ථානය ඉදිරිපිට නීති විරෝධීව පැවැත් වු රැස්වීමක සාමාජිකයන් වෙමින් රජයේ දේපොළවලට හානි කළැයි කියන සිද්ධියකට අදාළව පොලිසියට භාරවීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු සැකකරුවන් හත් දෙනාගෙන් සිව් දෙනකු යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරණි.

පෙර නඩුවල ඇප මත සිටින බැවින් අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැදවුම්කරු ලහිරු චතුරංග වීරසේකර, සමාජ ක්‍රියාකාරී රතිදු සේනාරත්න නොහොත් 'රැට්ටා', සිසු ජන ව්‍යාපාරයේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමියන් ඇතුළු තිදෙනා ඇප මත මුදා හැරීමට නොහැකි බව කී මහේස්ත්‍රාත්වරයා පෙරට්ටුව සඳහා නියමිත සැකකරු ද රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කෙළේය.

ඒ අනුව, රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මත මුදා හැරුණේ ජාතික ජනබලවේගයේ සාමාජික රංගන ශිල්පී ජගත් මනුවර්ණ ඇතුළු තිදෙනෙකි.

මෙම සිද්ධියට අදාළව කොටුව පොලීසිය සැකකරුවන් නව දෙනෙකු නම් කර තිබු අතර, ඔවුන්ගෙන් හත් දෙනෙක් පසුගිය (22) දා සවස මරදාන පොලීසියට ගොස් භාරවීමෙන් අනතුරුව ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර ඔවුන් මුදා හරින ලෙස ඉල්ලමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඇතුළු නිතීඥ මඩුල්ලක් මෝසමක් ගොනු කරමින් සිදු කළ ඇප ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කෙළේය.

මෙම සැකකරුවන්ට ඇප ඉල්ලමින් මෝසමකට ගොනු කරමින් අධිකරණයට කරුණු දක්වමින් ජනාධිපති නිතිඥ සාලිය පීරිස් මහතා ඇතුළු නීතිඥ මඩුල්ල මෙම කරුණු කියා සිටියේය.

ස්වාමීනි, මෙම සැකකරුවන් පොදු දේපොළ පනත යටතේ ඉදිරිපත් කර තිබුණත් එම චෝදනාව ඉදිරිපත් කළ යුතු වන්නේ මංමාවත් පනත යටතේයි. ඊට අදාළව වෙනම වගන්ති ඇතුළත් වෙනවා. පොලිස් මූලස්ථානය ඉදිරිපත් පදික වේදිකාවේ සුදු පාටින් සලකුණු කරන ලද පදික මාරුවේ සැකකරුවන් ඇතුළු පිරිස අත් සලකුණු තබමින් එය වෙනස් කර තිබෙන බව චෝදනා පත්‍රයේ දැක්වෙනවා. එහෙත් කොළෙඹ නගර සභාවේ ඉංජිනේරුවන් ඊට අදාළව යොමු කර ඇති තක්සේරුවේ දක්වා ඇත්තේ සිදුවීමට අදාළ ස්ථානය නොවෙයි. ඊට වෙනස් ස්ථානයක්. එහි අලාභය රුපියල් 69000ක් ලෙස තක්සේරු කර තිබීම මඟින් එය පොදු දේපොළ විෂයෙහිලා සැලකීමට බැහැ.

මහේස්ත්‍රාත්වරයා-

සහකාර පොලිස් අධිකාරිවරයාගේ මුල් දින බී වාර්තාවේ එසේ දක්වා තිබුණ ද වැඩිදුර විමර්ශන සිදු කරමින් දැක්වූ වැඩිදුර වාර්තාවේ එය රුපියල් ලක්ෂය ඉක්මවා ඇති බව සඳහන් කර තිබෙනවා.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා-

පාරේ අලාභ වූ බව කියන ස්ථානයට අදාළව නොවෙයි තක්සේරු වාර්තාව යොමු කර තිබෙන්නේ.

මහේස්ත්‍රාත්වරයා-

ඒ ගැන පොලිසියට මොනවද කියන්න තිබෙන්නේ

පොලිසිය-

ස්වාමීනී,පදික මාරුවේ ඇතුළු ස්ථානවලට අලාභ සිදුව තිබෙනවා.

මහේස්ත්‍රාත්වරයා-

පොලිස් මුලස්ථානය ඉදිරිපිට අලාභය ගැන නොවෙයි, තක්සේරුව යොමු කර තිබෙන්නේ.

පොලිසිය-

වාර්තාව සම්බන්ධයෙන් සොයා බලන්නම් ස්වාමීනී. ඔය කියන ස්ථානයටත් අලාභ සිදුව තිබෙනවා.

මහේස්ත්‍රාත්වරයා-

මංමාවත් පනත යටතේ වෙනම නීතියේ ප්‍රතිපාදන තිබෙනවා. පොදු දේපොළ පනත යටතට ගැනෙන්නේ නැති බව දන්වා තිබෙනවා.එහෙත් මේ සැකකරුවන්ට මෙම අධිකරණයේ සහ වෙනත් අධිකරණවල විභාග නඩු සහ තවත් නඩු පවතිනවා. ඇතැම් අය ඇප මත සිටිනවා. ඇප මත සිටිනම් මෙවැනි වැරදි කිරිම සුදුසු නැහැ.

ජනාධිපති නිතිඥ සාලිය පීරිස් මහතා-

මේ වරද පොදු දේපොළ පනත යටතට ගැනෙන්නේ නැහැ ස්වාමීනි, ඇප මත සිටින අයකුට උද්ඝෝෂණය කිරීමට නිදහස තිබෙනවා.

මහේස්ත්‍රාත්වරයා -

මේ අය මෙවැනිම සිද්ධීන්වලට ඇප මත සිටින්නේ.

ජනාධිපති නිතිඥ සාලිය පීරිස් මහතා-

උද්ඝොෂණ කිරීමට ඔවුන්ගේ අයිතියක් ස්වාමීනි.

මහේස්ත්‍රාත්වරයා-

ඇතැම් අය මේ සිද්ධියට ක්‍රියාකාරීව සම්බන්ධ වී තිබෙනවා.සීසීටීවී දර්ශන පරීක්ෂා කර බලා සුදුසු නියෝගයක් දිය හැකියි.

ජනාධිපති නිතඥ සාලිය පීරිස් මහතා-

මේ සැකකරුවන් සුදුසු ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලනවා.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පෙර නඩු පවතින සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අනකුත් සැකකරුවන් තිදෙනා ඇප මත මුදා හැරීමටත් නියෝග කෙළේය.

මෙම මස 09 වැනිදා පොලිස් මූලස්ථානය ඉදිරිපිට පැමිණ නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වෙමින් රජයේ දේපොළවලට හානිකර පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාධී බලහත්කාරය , පා තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් මෙම පිරිසට චෝදනා එල්ල වී තිබුණි.

ඒ සම්බන්ධයෙන් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා කොටුව අධිකරණයට බී වාර්තාවක් මඟින් කරුණු ඉදිරිපත් කිර තිබුණු අතර අරගලකරුවන් 09 දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසිය කළ ඉල්ලීමට අනුව නියෝග නිකුත් කර තිබුණි

මේ සිද්ධියේ අනෙක් සැකකරුවන් වන ගල්වැව සිරිධම්ම හිමි, වසන්ත මුදලිගේ යන සැකකරුවන් දෙදෙනා පොලිසියට භාර නොවු බවද පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් වෙනසක තාරුණ්‍යයේ කැඳවුම්කරු ලහිරු චතුරංග වීරසේකර, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයෙක් වන රතිදු සේනාරත්න නොහොත් 'රැට්ටා', රංගන ශිල්පී ජගත් මධුවර්ණ, ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ, සමාජවාදී තරුණ සංවිධානයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි සහ නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරයේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.


ඇප හිමි වුණු සිව් දෙනා බන්ධනාගාරයෙන් පිටව යෑම ප්‍රතික්ෂේප කරති

ඇප හිමි වුණු රංගන ශිල්පී ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ සහ එරංග ගුණසේකර බන්ධනාගාරයෙන් පිටව යෑම ඊයේ (24) දින ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ තමන් සමඟ රිමාන්ඩ් බන්ධනාගාරගත වුණු ළහිරු වීරසේකර, රතිඳු සේනාරත්න (රැට්ටා) සහ රත්කරව්වේ ජිනරතන හිමියන්ට ඇප නොලැබීම හේතුවෙනි.

පසුගිය ජූනි 9 වැනි දා පොලිස් මූලස්ථානය ඉදිරිපිටට පැමිණ නීති විරෝධි රැස්වීමක සාමාජිකයන් වෙමින් රජයේ දේපොළවලට හානි සිදුකර පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාධී බලහත්කාරය පෑම හේතුවෙන් ඉහත අරගලකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරිණි.

ඇප ලැබූවන්ගේ මෙම තීරණය සම්බන්ධයෙන් නීතිඥ නුවන් බෝපගේ මහතා මෙසේ ප්‍රකාශ කර සිටියේය.

අරගලකරුවන් තිදෙනකුට ඇප දීම අධිකරණය ප්‍රතික්ෂේප කළා. අධිකරණයේ තීරණයට ගරු කරන ගමන් ඇප ලැබූවන් තීරණයක සිටිනවා. මෙය සාමූහික අරගලයක් බැවින් සියලු දෙනාටම ඇප ලැබෙන තුරු ජූලි 01 වැනි දා දක්වා තවදුරටත් බන්ධනාගාරගතව සිට නැවතත් අධිකරණයට කරුණු වාර්තා කරන්න බලාපොරෙත්තු වෙනවා.

නව අදහස දක්වන්න