අපේ බර කරට ගත් ඉන්දියාව | දිනමිණ

අපේ බර කරට ගත් ඉන්දියාව

නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වන මිලින්ද මොරගොඩ මහතා මීට ටික දිනකට පෙර හරි අපූරු අදහසක් පළ කළේය. එනම්, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතිශය සමීප මිතුරන් ලෙස සහයෝගයෙන් ක්‍රියා කිරීම ගැන කිසිවකු පුදුමයට පත් විය යුතු නැති බවය. මොරගොඩ මහතාගේ එම ප්‍රකාශයෙහි ගැඹුරු අර්ථය වන්නේ වසර දෙදහස් පන්සියයකටත් වඩා පැරැණි මානුෂීය බැඳීමක් දෙරට අතර පවතින බවය. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ද වරක් මීට සමාන අදහසක් පළ කර තිබේ. එනම්, ඉන්දියාවේ හොඳම අසල්වැසියා ශ්‍රී ලංකාව මිස අන් කවරෙක් ද යන්නය.

භූගෝලීය වශයෙන් ඇති අසල්වාසී බව පමණක් නොව, ආත්මීය වශයෙන් බැඳුණු ඥාතිත්වයක් ද අපට තිබේ. එය ලේ ඥාතීත්වයක් බවට පත් වන්නේ විජය කුමාරයාගේ වෘත්තාන්තයත් සමඟය. සංස්කෘතික වශයෙන් ගත හොත් අප ආගමික වශයෙන් ද භාෂාත්මක වශයෙන් ද එකට බැඳී ඇත. මහා භාරතයේ පුරාණ භාෂා දෙකකින් බිඳුණු භාෂාවක් ලෙස සිංහලය හඳුන්වනු ලැබේ. බුදු දහම දායාද වීමට පෙර සිංහල රජුන් භාරත නායකයන් හා ලිපි ගනුදෙනුවල යෙදී සිටිය බවට මතයක් ද පවතී. ශ්‍රී ලංකාවේ වේදනාව ඉන්දියාවට දැනෙයි. ඉන්දියාවේ වේදනාව ශ්‍රී ලංකාවට දැනෙයි.

ඉතිහාසයේ බරපතළම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින අපට මේ මොහොතේ වැඩියෙන්ම ආධාර හා මූල්‍ය සහයෝගය දෙන රාජ්‍යය බවට පත්ව ඇත්තේ අසල්වැසි ඉන්දියාවය. මේ වන විටත් ඩොලර් බිලියන හතරකට වැඩි ණයවර පහසුකම් ලබා දී ඇති ඉන්දියාව ඊට අමතරව ඖෂධ හා සහල් ආධාර වශයෙන් දී ඇත. බ්‍රහස්පතින්දා ඉන්දීය විශේෂ දූත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණි අතර, ඔව්හු ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා සම්මුඛ වී සාකච්ඡා පැවැත්වූහ. ඉන්දීය දූත කණ්ඩායම මෙහිදී පෙන්වා දී ඇත්තේ ප්‍රතිපත්තියක් ලෙස හා වගකීමක් ලෙස ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට ඉන්දියාව බැඳී ඇති බවය. මේ අනුව ඉදිරියටත් සහයෝගීතා වැඩසටහන පවතිනු ඇත.

ඉන්දීය දූත පිරිස ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන්නේ ප්‍රධාන අරමුණු දෙකක් ඇතිවය. පළමු අරමුණ වන්නේ මෙරට ආර්ථික අර්බුදයේ යථා ස්වාභාවය වටහා ගැනීමය. දෙවන අරමුණ වන්නේ අර්බුදය විසඳීමට අවශ්‍ය උපාය මාර්ග පිළිබඳ මෙරට නායකයන් සමඟ සාකච්ඡා කිරීමය. ශ්‍රී ලංකාව මේ වන විට ප්‍රධාන ක්ෂේත්‍ර හතරක අර්බුදයකට මුහුණ දී සිටී. ඉන්ධන, ගෑස්, විදුලිය හා ඖෂධ එම ක්ෂේත්‍ර ලෙස හඳුන්වා දිය හැකිය. ලෝක බැංකු ආධාර යටතේ ගෑස් හිඟයට යම් පිළිතුරක් ලබා දී ඇතත්, ඉන්ධන අර්බුදය දිනෙන් දින වර්ධනය වන බව දැකගත හැකිය. ඉන්දීය රජය මේ සඳහා මැදිහත් වනු ඇතැ‘යි විශ්වාස කළ හැකිය. ඉන්දීය නියෝජිත පිරිස හා පැවැත්වූ සාකච්ඡා සාර්ථක බව රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත. අපේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා ආධාර හා මූල්‍ය සහයෝගය දෙන රාජ්‍යයන් කිහිපයක් තිබේ. ඉන්දියාව, චීනය, අමෙරිකාව, ජපානය හා ඔස්ට්‍රේලියාව ඒ අතර ප්‍රමුඛය. එයින් ද ශ්‍රී ලංකාවේ බර කරට ගෙන සංවේදීව අප දෙස බලන රාජ්‍යය බවට පත් වී ඇත්තේ ඉන්දියාවය. අසල්වැසියා ඉවත බලාගත්තේ නම්, අපේ අර්බුදය මීට වඩා දරුණු තත්ත්වයක් කරා තල්ලු වීමට ඉඩ තිබිණි. ඉන්දියාවේ සහයෝගය සම්බන්ධයෙන් එකිනෙක දේශපාලන පක්ෂ තුළ විවිධ මත තිබෙන්නට පුළුවන. සමහරු ඉන්දීය භීතිකාවකින් පෙළෙති. තව සමහරු ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට පත් වී ඇතැ‘යි පම්පෝරි ගසති. තවත් සමහරු තමිල්නාඩු දේශපාලනය විවේචනය කරති. මේ එකක්වත් වැඩක් ඇති දේවල් නොවේ.

ඉන්දියාව 2016දී ශ්‍රී ලංකාවට ගිලන්රථ සේවයක් දුන්නේය. මෙරට පාර්ලිමේන්තුව තුළ ඒ සම්බන්ධයෙන් බලවත් විවේචන පැවැති අතර, වැඩි දෙනෙක් එය නවතා දමන්නට උත්සාහ කළහ. මේ ගිලන්රථ සේවය නිසා දේශීය සෞඛ්‍ය සේවය බිඳ වැටෙන බව සමහරු කීහ. මෙරට රියැදුරන්ට රැකියා අහිමි වන බව තව සමහරු කීහ. ඉන්දියාව තවත් ආකාරයකින් ශ්‍රී ලංකාව සූරාකෑමට සූදානම් වන බව තවත් සමහරු කීහ. එහෙත් වැඩසටහන බස්නාහිර පළාතට හා දකුණු පළාතට සීමා කරමින් ක්‍රියාත්මක කරන්නට එකල ආණ්ඩුව සමත් විය. පසුව එය රට පුරා ක්‍රියාත්මක විය. කොවිඩ් සමය තුළ ඉහත ගිලන්රථ සේවයෙන් ඉටු වූ සේවාව ගැන අපේ ජනතාව ඉන්දියාවට පින් දුන්හ.

ඉන්දියාව බිල්ලකු ලෙස නොව; මිතුරකු හා ඥාතියකු ලෙස පිළිගන්න අප සූදානම් විය යුතුය. මෙරට නායකයන් සිය තනතුරුවල දිවුරුම් දුන් පසු පළමු විදේශ සංචාරයට තෝරා ගන්නේ ඉන්දියාවය. ඉන්දීය නායකයෝ ද එය අපේක්ෂා කරති. ඉන්දියාව සමඟ විරසක වී අපට යා හැකි ගමනක් නැත. ඒ බව අපේ නායකයන් වටහාගෙන තිබුණ ද ඇතැම් දේශපාලන ව්‍යාපාර එය වටහාගෙන නැත.

නව අදහස දක්වන්න