මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුකූලව දුෂ්කර අවස්ථාවේ සහාය දීම අපේක්ෂාවයි | දිනමිණ

මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුකූලව දුෂ්කර අවස්ථාවේ සහාය දීම අපේක්ෂාවයි

නුවන් කොඩිකාර

IMF නියෝජිතයෝ ජනපතිට කියති

පවතින දුෂ්කර අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුකූලව ශ්‍රී ලංකාවට සහාය වීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාව සඳහා පත් කර ඇති නියෝජිතයෝ පැවසූහ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාව සඳහා පත් කර ඇති නියෝජිතයෝ ඊයේ (24) පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ අතර, එහිදී එම නියෝජිතයෝ මේ බව සඳහන් කළහ.

සතියක කාලයක් මෙරට රැඳී සිටින නියෝජිත පිරිස මාණ්ඩලික මට්ටමේ ගිවිසුමකට එළැඹීමට අදාළ සහ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳ දීර්ඝව අධ්‍යයනයට ලක් කරති. අගමැතිවරයා, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව ඇතුළු ආර්ථික බලධාරීන් හා විශේෂඥයන් සමඟ කළ සාකච්ඡා සහ වත්මන් තත්ත්වය පිළිබඳ ඔවුහු ජනාධිපතිවරයා දැනුම්වත් කළහ.පවතින ආර්ථික තත්ත්වය පිළිබඳ දීර්ඝ වශයෙන් පැහැදිලි කළ ජනාධිපතිවරයා අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය වීම සම්බන්ධයෙන් නියෝජිත පිරිසට සිය ස්තූතිය පළ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානි පීටර් බෲවර් (Peter Breuer), මෙහෙයුම් ප්‍රධානි මසහිරෝ නොසාකි (Masahiro Nozaki), නේවාසික නියෝජිත ආචාර්ය ටුබාගස් ෆෙරිදානු සෙට්යාවන් (Tubagus Feridhanu setyawan), ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඈන් මාරි ගුල්ඩේ (Anne Marie Gulde), ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ ආචාර්ය සී. අමරසේකර හා ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන, නියෝජ්‍ය මුදල් ලේකම් එම්.එස්.එස්. සමන් ප්‍රනාන්දු, නියෝජ්‍ය අධිපති ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු සහ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිස්චන්ද්‍ර යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න