ඉන්ධන නැතිව සුව සේවකයෝ මහ මඟ | දිනමිණ

ඉන්ධන නැතිව සුව සේවකයෝ මහ මඟ

සුභාෂිණී සේනානායක

- රෝහල් සේවා අඩාළයි 
- රට පුරා විරෝධතා

වෙන් කළ ෂෙඩ්වලට පෙට්‍රල් ලීටර 6,600ක් සහ ඩීසල් ලීටර් 6,600ක් දුන්නා
- බලශක්ති ඇමැති

අඩුපාඩු කඩිනමින් විසඳනවා
- සෞඛ්‍ය ඇමැති

වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලයට සිකුරාදා දිනයේ තෙල් ලබා දීමේ වැඩපිළිවෙළ ඊයේ (24) ආරම්භ කෙරුණ ද නිසි පරිදි ඉන්ධන නොදීම නිසා සෞඛ්‍ය වෘත්තිකයන්ට දිගු වේලාවක් පෝලිම්වල රැඳී සිටීමට සිදු විය.

සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉන්ධන පෝලිම්වල සිටීම හේතුවෙන් බොහෝ රෝහල්වල ප්‍රතිකාර කටයුතු බිඳ වැටී තිබූ අතර, සෞඛ්‍ය සේවකයන් ඉන්ධන ඉල්ලා විරෝධතාවල නිරත වූහ.

සෞඛ්‍ය කාර්යය මණ්ඩල සඳහා සෑම සිකුරාදාවකම ඉන්ධන නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් ඊයේ සිට ක්‍රියාත්මක කරන බව දැනුම් දී තිබුණ ද ඇතැම් පිරවුම්හල්වල එය නිසි පරිදි ක්‍රියාත්මක නොවූ බවට වාර්තා විය.

ඇතැම් පිරවුම්හල්වලින් දන්වා තිබූ පරිදි එම පිරිසට ඉන්ධන නිකුත් කළ ද ඊට එරෙහිව පෝලිම්වල සිටින පිරිස් විරෝධතාවල නිරත වූ බව වාර්තා වූ අතර, පොලිසිය සහ හමුදාව මැදිහත් වී ස්ථාන ගණනාකවක ඇති වූ නොසන්සුන්කාරි තත්ත්ව පාලනය කිරීමට මැදිහත් වී තිබිණි.

පොලොන්නනරුව, කඳුරුවෙල ඉන්ධන පිරවුම්හලේ පෝලිම ඊයේ උණුසුම් වූ අතර, සෞඛ්‍ය සේවකයන්ට ප්‍රමුඛත්වය දීමට ගත් තීරණයට විරෝධය පළ කිරීමත් සමඟ පිරිස පාලනය කිරීමට පොලිසියට සහ හමුදාවට සිදු විය. ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග නොපැවතීම ද ‍මේ තත්ත්වය උග්‍ර කිරීමට හේතු වූ අතර, පුත්තලම කුරුණෑගල ප්‍රධාන මාර්ගය පුත්තලම රෝහල අසලින් අවහිර කරමින් සෞඛ්‍ය සේවකයෝ තමන්ට ඉන්ධන ලබා දෙන්නැයි ඉල්ලමින් විරෝධතාවල නියැළුණහ.

රට පුරා තෝරාගත් ඉන්ධන පිරවුම්හල් 74කදී සෞඛ්‍ය කාර්යය මණ්ඩලය සඳහා ඉන්ධන නිකුත් කිරීමට වෙන් කර තිබියදී තමන් තවදුරටත් අපහසුතාවට පත්ව ඇති බව ඔවුහු කියා සිටියහ.

මේ අතර පුත්තලම 2 කණුව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල සෞඛ්‍ය සේවකයන් සඳහා වෙන් කර තිබුණත් මේ දක්වා එම පිරවුම්හලට ඉන්ධන ලැබී ‍නැති අතර, ගම්පහ සෞඛ්‍ය සේවකයන්ටත් ඊයේ දවස පුරා ඉන්ධන ලැබී තිබුණේ නැත.

මහරගම අපේක්ෂා රෝහලේ කාර්ය මණ්ඩලයට නාවින්න ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන දෙන බව කීවද ඉන්ධන නැති වීම හේතුවෙන් දිගු වේලාවක් ඔවුන්ට පෝලිම්වල රැඳී සිටින්නට සිදු විය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සිකුරාදා දිනයේ ඉන්ධන දීම ආරම්භ කළ පළමු දවස නිසා යම් යම් අඩුපාඩු පැවතිය හැකි නමුත් ඊළඟ දිනයේ සිට අඩුපාඩු සකස් කරගෙන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.

සෞඛ්‍ය සේවකයන් සඳහා වෙන් කෙරුණු ඉන්ධන හල් සඳහා පෙට්‍රල් ලීටර් 6,600ක් සහ ඩීසල් ලීටර් 6,600 බැගින් සැපයූ බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් තබමින් පැවසීය.

සෞඛ්‍ය සේවකයන් සඳහා රට පුරා තෝරාගත් ඉන්ධනහල් 85කට ඊයේ (24) ඉන්ධන සැපයූ බව ද ඇමැතිවරයාගේ එම පණිවිඩයේ සඳහන්ය. ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන් අදාළ පිරවුම්හල් සමඟ සාකච්ඡා කොට ඉන්ධනහල් සඳහා ඉන්ධන සැපයූ බවත් එම පණිවිඩයේ සඳහන්ය.

නව අදහස දක්වන්න