අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති, ජනපති ජෝ බයිඩන් හමුවෙයි | දිනමිණ

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති, ජනපති ජෝ බයිඩන් හමුවෙයි

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා හමුවී ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව ඔහු දැනුවත් කර ඇත.
 
ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ජනාධිපති ජෝ බයිඩන් මහතාට ශ්‍රී ලංකාවේ තත්ත්වය මෙන්ම, රටේ පවතින දුෂ්කරතා සහ අවශ්‍යතා පිළිබඳවද කරුණු පැහැදිලි කර තිබේ. ශ්‍රී ලංකාවට තවදුරටත් අමෙරිකානු සහය ලබාගැනීමේ ක්‍රමවේදය පිළිබඳව එහිදී විශේෂ අවධානයට ලක්වූ බව, වොෂින්ටනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.
 
මේ අතර ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත අමෙරිකා දූත පිරිස හමු වීමට මහින්ද සමරසිංහ මහතා කටයුතු කළේය.  මෙසේ ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතව ඇත්තේ අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහ අමෙරිකා මහ භාණ්ඩාගාරයේ නිලධාරීන් පිරිසකි. මෙම පිරිසට අමෙරිකාවේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා වු තනාපති කෙලී කීඩලින් සහ නියෝජ්‍ය සහකාර ලේකම්,එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව, රොබට් කප්‍රෝත්, නියෝජ්‍ය සහකාර ලේකම්,එක්සත් ජනපද භාණ්ඩාගාර, ජෝන් මැක්ඩැනියෙල්, ආර්ථික ප්‍රධානී,එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ කැතරින් රෙනෝල්ඩ්ස් ඇතුලත්වේ. මහින්ද සමරසිංහ මහතා ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග පිළිබඳව ඔවුන් දැනුවත් කර ඇත. 
 
මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන නියෝජිත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා , අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම මහබැංකු අධිපතිවරයා සහ භාණ්ඩාගාර ලේකම්වරයා හමු වී සාකච්ඡා කිරීමට නියමිතය.

නව අදහස දක්වන්න