අසීරුතා මැද ගත් මූල්‍ය තීන්දු-තීරණ නිසා ආර්ථිකය යහපත් අතට හැරිලා | දිනමිණ

අසීරුතා මැද ගත් මූල්‍ය තීන්දු-තීරණ නිසා ආර්ථිකය යහපත් අතට හැරිලා

ජයසිරි මුණසිංහ

කෙටි කාලීන ණය මත යැපුණු කාලය ඉවරයි
හොර පාරෙන් විදෙස් මුදල් එවීම සීමා වෙලා

පසුගිය මාස කිහිපයේ අත්‍යවශ්‍ය ආනයන ගෙන්වා ගැනීමට කෙටිකාලීන ණය පහසුකම් මත යැපීමට සිදුවූ අහිත කර තත්ත්වයෙන් මිදී යම් තරමකට ආර්ථිකයේ යහපත් තත්ත්වයක් මේ වන විට මතුව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.මේ වසරේ 2022 හයවැනි මූල්‍ය ප්‍රතිපත්ති තීරණ දැනුම්දීමේ විශේෂ මාධ්‍ය හමුව කොළඹ ජනාධිපති මාවතේ පිහිටි මහ බැංකු මූලස්ථානයේ ඊයේ (18) දහවල් පැවති අවස්ථාවට එක් වෙමින් අධිපතිවරයා මේ බව කියා සිටියේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අධිපතිවරයා, මේ වසරේ අප්‍රේල්, ජූනි, ජූලි කාලයේ මෙරටට අත්‍යවශ්‍ය ඉන්ධන, ආහාර, බෙහෙත් හේත්, ගෑස් ලබාගැනීම සඳහා කෙටිකාලීන ණය පහසුකම් මත යැපීමට අපට සිදු වුණා. නමුත් මුල් කාලයේ පටන් අසීරුතා මධ්‍යයේ අප අනුගමනය කළ මූල්‍ය ප්‍රතිපත්ති සහ තීන්දු තීරණ නිසා මේ වන විට යහපත් තත්ත්වයක් මතුවී තිබෙනවා.

විදේශ විනිමය වැඩි වශයෙන් බැංකු ක්‍රමය හරහා මෙරටට ලැබිය යුතුය. එසේ නමුත් උණ්ඩියල් සහ හවාලා යටිබිම්ගත මාර්ගවලින් මෙරටට විදේශ මුදල් ලැබීම් වාර්තා වුණා. තවමත් එහි විශාල අඩුවක් නැහැ. නමුත් යම් පමණකට එය සීමාවී තිබෙනවා. එම නිසා අපට එදිනෙදා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු පාරිභෝජන ද්‍රව්‍ය ගෙන්වා ගැනීමට ප්‍රමාණවත් තරම් විදේශ මුදල් ලැබීමක් වාර්තා වෙනවා. ඒ අනුව කෙටිකාලීන ණය පහසුකම් මත යැපීමේ තත්ත්වයෙන් අප මේ වන විට මිදී ඇතැයි අධිපතිවරයා කියා සිටියේය.

උද්ධමනය පාලනය කිරීම සඳහා, විදේශ විනිමය අනුපාතික යහපත් මට්ටමක පවත්වා ගැනීම, පොලී අනුපාත තීරණය කරන මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීම හේතු කොටගෙන ආර්ථිකයේ යහපත් භාවයක් ඇතිවී තිබෙනවා. මේ තත්ත්වය තවදුරටත් අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක විය යුතුයි. ඒ අනුව යමින් මේ මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මූල්‍ය ප්‍රතිපත්ති නොවෙනස්ව තබාගැනීමට පෙරේදා තීරණය කළා. මේ තීරණය ගැනීමත් සමඟ ඉදිරියේදී තවදුරටත් යහපත් ප්‍රතිඵල ආර්ථික අංශ කිහිපයක දැකිය හැකි වනු ඇතැයිද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේය.

නව අදහස දක්වන්න