කෝටි 9කට විකුණන්න ගෙනා බොරු පුරාවස්තු තොගයක් සමඟ සැකකරුවෝ 5ක් දැලේ | දිනමිණ

කෝටි 9කට විකුණන්න ගෙනා බොරු පුරාවස්තු තොගයක් සමඟ සැකකරුවෝ 5ක් දැලේ

නිධානයකින් ලබාගත් බව පවසමින් නිවෙසක සඟවා තබාගෙන ධනවත් පුද්ගලයන් රවටා රුපියල් කෝටිනවයකට විකිණීමට සූදානම් කර තිබූ ව්‍යාජ ශෛලමය පුස්කොළ පොත් දෙකක් සහ ශෛලමය මංජුසා නවයක් සමඟ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් පස් දෙනෙක් ශ්‍රාවස්තිපුර 5 ඇළ ප්‍රදේශයේදී අනුරාධපුර පොලීසිය පෙරේදා (18) රාත්‍රී සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

ලද තොරතුරක් මත අනුරාධපුර පොලීසියේ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ඇම්. ඩබ්ලිව්. බණ්ඩාර විජේකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ පොලිස් පරීක්ෂක අලුත්ගෙදර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී සැකකරුවන් සමඟ ව්‍යාජ පුරාවස්තු තොගය නිවෙසේදී අත්අඩංගුවට ගෙන තිබේ.

වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර නිවෙසේ හිමිකාරිය බව කියන දේවාලයක් පවත්වා ගෙන යන 45 හැවිරිදි කාන්තාවක් සහ කුලියාපිටිය කළහිලනිමුල්ල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි කාන්තාවක් වෙති.

අවුරුදු 28, 30 සහ 60 හැවිරිදි වියෙහි පසුවන සෙසු සැකකරුවන් තිදෙනා මොනරාගල රත්තනපිටිය සිරිමාපුර සහ වාරියපොළ මාමුනුව විමලවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් බව පොලීසිය පවසයි.

සැකකරුවන් ව්‍යාජ පුරාවස්තු තොගය රත්නපුර ප්‍රදේශයේ ධනවත් පුද්ගලයකුට රුපියල් කෝටිනවයකට විකිණීමට රැගෙන ගොස් ඇති බවත් එහිදී එම ගනුදෙනුව අසාර්ථක වූ තැන ඒවා නැවතත් ශ්‍රාවස්තිපුර 5 ඇළ ප්‍රදේශයට රැගෙන විත් වෙනත් ගැනුම්කරුවකුට විකිණීමට සැලසුම් කරමින් සිටින අතරතුර ලද තොරතුරකට අනුව සැකකරුවන් සහ ව්‍යාජ පුරාවස්තු තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.

ව්‍යාජ ඒවා බවට සැකකරන එම භාණ්ඩවල පෞරාණික වටිනාකමක් ඇත්ද යන්න තහවුරු කරගැනීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් ලබාගැනීමට පොලීසිය පියවර ගෙන තිබේ.

සැකකරුවන් සහ ව්‍යාජ පුරාවස්තු තොගය ඊයේ (19) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අනුරාධපුර - පර්සි කුරුනේරු සශිනි මධුෂානි

 

නව අදහස දක්වන්න