සූර්ය පැනල මගින් බල ගැන්වෙන මෙරට පළමු බෝට්ටු සේවය දියත උයනෙන් | දිනමිණ

සූර්ය පැනල මගින් බල ගැන්වෙන මෙරට පළමු බෝට්ටු සේවය දියත උයනෙන්

කොළඹ නගරයේ දෛනිකව ඇතිවන මහාමාර්ග තදබදයට විසඳුමක් ලෙස බත්තරමුල්ල දියත උයන සහ අග්ගොන හීනටිකුඹුර සිට වැල්ලවත්ත දක්වා සූර්ය පැනල මගින් ක්‍රියාත්මක වන  පරිසර හිතකාමී මගී බෝට්ටු සේවාවක් පසුගිය සිකුරාදා (23) ආරම්භ කරනු ලැබීය.
 
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් මත ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාව සහ ජෙන්සෝ පවර් ටෙක්නොලජි ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය ඒකාබද්ධව මෙම පරිසර හිතකාමී මගී බෝට්ටු සේවාව ආරම්භ කර ඇත.
 
එහිදී අදහස් දක්වමින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ මෙම මගී බෝට්ටු සේවාව සූර්ය පැනල මගින් ක්‍රියාත්මක වන මෙරට පළමු බෝට්ටු සේවාව බවයි .
 
සූර්ය පැනල මගින් ක්‍රියාත්මක වන බැවින් මෙය සියයට සියයක්ම පරිසර හිතකාමී බවද ඔහු සඳහන් කළේය.
 
එමෙන්ම ඉදිරියේදි කොළඹ නගරයේ අභ්‍යන්තර ජල මාර්ගවල මෙවැනි බෝට්ටු සේවවන් ආරම්භ කිරීමට බළාපොරොත්තු වන බව කී අමාත්‍යවරයා මෙය දෙස් විදෙස් සංචාරක ආකර්ශනයයට හේතුවක් වන බවද පැවසීය. සූර්ය පැනල මගින් විදුලිය උත්පාදනය කිරීමෙන්  වර්තමානයේ රට මුහුණ දෙන ඉන්ධන ගැටළුවට මෙන්ම විදුලි අර්බුදයටත් විසදුමක් ලැබෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
 
සූර්ය පැනල මගින් ක්‍රියාත්මක වන බැවින් මෙම බෝට්ටු ධාවනයේදී ශබ්දයක් පැන නොනගී. එමෙන්ම ඉන්ධන වැයවීමක්ද සිදු නොවේ. ජලඦ සත්වයන්ට මෙන්ම දියත උයන ආශ්‍රිතව සැරිසරන කුරුල්ලන්ගේ ජීවන චක්‍රයට බධාවක් ඇතිවන්නේ ද නැත.
 
බත්තරමුල්ල දියත උයන සහ හීනටිකුඹුර සිට වැල්ලවත්තට⁣ මෙම බෝට්ටු  මගින් විනාඩි 30ක් ඇතුළත  ලඟාවීමට හැකියාව ඇත.
 
එමෙන්ම බත්තරමුල්ල සිට  වැල්ලවත්ත දක්වා  එක් පුද්ගලයකුගේ රුපියල් 200ක මුදලක් අයකෙරෙන අතර අග්ගොන, හීනටිකුඹුර සිට වැල්ලවත්ත දක්වා එක් පුද්ගලයකුගෙන් රුපියල් 300ක මුදලක් අය කෙරේ. 
 
දිනපතා කාර්යාලය වේලාවන්හිදී මෙම බෝට්ටු සේවය ක්‍රියාත්මක වන අතර එක බෝට්ටුවක පුද්ගලයන් 8 දෙනෙකුට ප්‍රවාහන පහසුකම් සැපයේ.
 
එමෙන්ම බත්තරමුල්ල හා ඒ අවට රජයේ හා පුද්ගලික කාර්යාල, ගේට්වේ ජාත්‍යන්තර පාසල, නාවල විවෘත විශ්ව විද්‍යාලය,176, බස් මාර්ගය,138 සහ 122 බස් මාර්ග,වැල්ලවත්ත දුම්රිය ස්ථානයට මෙම බෝට්ටු සේවය මගින් පහසුවෙන් ළඟාවීමට හැකියාව ඇත.
 
 
 
 

නව අදහස දක්වන්න