පොලිස් ස්ථාන මුලික කර ගම් කිහිපයක් එක් කර නව ආයතනයක් | දිනමිණ

පොලිස් ස්ථාන මුලික කර ගම් කිහිපයක් එක් කර නව ආයතනයක්

ගමේ සංහිදියාව ඇති කර, අපරාධ ක්‍රියා හා මත් ද්‍රව්‍ය භාවිතය තුරන් කිරීම සදහා පොලිස් ස්ථාන මුලික කර ගනිමින් ගම් කිහිපයක් සම්බන්ධ කොට නව ආයතනයක් පිහිටුවන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. 
 
යුද්ධයෙන් පසුව ජනතාව අතර සාමය හා සංහිදියාව ගොඩ නැංවීමේ අරමුණින් යුතුව ස්ථාපිත කළ සාමය හා සංහිදියාව පිළිබදව වු කාර්යාලය සදහා නව පනතක් කෙටුම්පත් කරමින් පවතින බැවින් එම පනත  තුළින් සෑම පොලිස් ස්ථානයක්ම සම්බන්ධ කරමින් ගම් කිහිපයක් එ්කාබද්ධ කර ගම තුළ සිදු වන අපරාධ ක්‍රියා, මත් ද්‍රව්‍ය භාවිතය තුරන්  කිරීමට හා ග්‍රාමීය වශයෙන් ජනතාව තුළ ජාතික, ආගමික, සමගිය සංහිදියාව ඇති කරලීම සදහා ආයතනයක් ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටින බව ඇමතිවරයා පැවසීය.
 
එක්සත් ජාතීන්ගේ අපරාධ හා මත් ද්‍රව්‍ය සංවිධානයේ දකුණු ආසියානු කලාපීය ශ්‍රී ලංකා කාර්යාලය හා ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව එක්ව පොලිස් ස්ථාන වෙත පැමිණෙන විත්තිකරුවන්, අපරාධකරුවන් හා පැමිණිලිකරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම පිළිබදව උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කිරීම සදහා ඊයේ (24) කොළඹ ගලධාරී හෝටලයේ දී සංවිධාන කරන ලද අධ්‍යයන වැඩමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. 
 
යුක්තිදාමයට ප්‍රවේශත්වය ප්‍රවර්ධනය කිරීම සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම තුළින් ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාදාමය පෝෂණය කිරීම යන තේමාව යටතේ වැඩමුළුව සංවිධාන කර තිබුණි.
 
ඇමතිවරයා තවදුරටත් කියා සිටියේ වර්තමානය වන විට මත් ද්‍රව්‍ය භාවිතය සදහා පුද්ගලයින් විශාල වශයෙන් යොමු වීම හේතුවෙන් තරුණ පරපුරෙහි අනාගතය කණගාටුදායක තත්වයක පවතින බවත්, මත් ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවුවන්  බන්ධනාගාරගත කිරීම හේතුවෙන්  අද වන විට රටෙහි බන්ධනාගාර පද්ධතියට ඔරොත්තු නොදෙන ආකාරයට සිරකරුවන් වැඩී වී ඇති බවත්ය.
 
විශේෂයෙන්ම මත් ද්‍රව්‍ය මෙරටට ගෙන්වනු ලබන ප්‍රධාන පෙළේ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත් අඩංගුවට නොගෙන මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වු පුද්ගලයින් අඩු කිරීම සිදු කිරීම සිදු කළ නොහැකි බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
 
අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසුරිය, ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතිඥ රොහාන් සහබන්දු, ජනාධිපති නීතිඥ යූ.ආර් ද සිල්වා ,ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ යන මහත්වරුන් පොලිස් නිලධාරීන් දැනුවත් කිරීම සදහා මෙහිදී විශේෂ දේශන පැවැත් වු අතර, එක්සත් ජාතීන්ගේ අපරාධ හා මත් ද්‍රව්‍ය සංවිධානයේ දකුණු ආසියානු කලාපීය ශ්‍රී ලංකා කාර්යාලයේ මෙරට සම්බන්ධිකාරක අනුෂා මුණසිංහ මහත්මිය ද අදහස් පළ කළාය.
 
 
 
 
 
 

නව අදහස දක්වන්න