තක්ෂිලාවට අලුත් වැස්සක්! | දිනමිණ

තක්ෂිලාවට අලුත් වැස්සක්!

ජාතික අධ්‍යාපනය ගැනත්, ගුරු භූමිකාව ගැනත් සංකථන රාශියක් සමාජය තුළ පවතී. ඒවා ඇසුරු කරන විට දැනෙන පළමු කාරණය වන්නේ ඉගෙනීම හා ඉගැන්වීම පිළිබඳ සියුම් නිරීක්ෂණයක් පොදු සමාජය තුළ පවතින බවය. උගත් සමාජය මෙන්ම නූගත් සමාජය ද අධ්‍යාපනයට උනන්දු වෙයි. ධනවත් සමාජය මෙන්ම දිළිඳු සමාජය ද අධ්‍යාපනයට නැඹුරු වෙයි. ආණ්ඩුව අධ්‍යාපනය සම්බන්ධයෙන් ගනු ලබන තීන්දු තීරණ දෙස මුළුමහත් සමාජයම බලා සිටී. කුමන දෘෂ්ටියක් ඔස්සේ විමසා බැලුව ද මෙය සාධනීය තත්ත්වයකි. අධ්‍යාපනය සම්බන්ධයෙන් සුබදායී තත්ත්වයක් වාර්තා කරන ආසියානු රාජ්‍යයක් ලෙස ද අපේ රට ප්‍රකටය.

ඊළඟ වසර රාජ්‍ය සේවය සඳහා නව බඳවා ගැනීම් නැති කාල පරිච්ඡේදයක් ලෙස ප්‍රකාශයට පත්වී තිබුණ ද නව ගුරු පත්වීම් අටදහසක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අධ්‍යාපනය යථාවත් කිරීමේ අරමුණ ඇතිවය. ලබන වසර තුළ සැලකිය යුතු පිරිසක් ගුරු සේවයෙන් විශ්‍රාම ගන්නා බව පුරෝකථනය වී ඇත. රාජ්‍ය සේවයේ වයස අවුරුදු හැට සීමාව නිසා ද පනස් හයෙන් ස්වකැමැත්ත මත විශ්‍රාම යන පිරිස නිසා ද සැලකිය යුතු ගුරු පුරප්පාඩු ප්‍රමාණයක් ඇති වේ. තව පැත්තකින් විද්‍යා පීඨවල විද්‍යාර්ථීහු පිරිසක් නව පත්වීම් අපේක්ෂාවෙන් සිටිති. මේ සියල්ලට හොඳ උත්තරයක් ලෙස ගුරු පත්වීම් අටදහස සැලකිය හැකිය.

ආණ්ඩුව කුමන ආර්ථික පීඩනයකට මුහුණ දී සිටිය ද අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රමුඛතාව දී කටයුතු කිරීමට තීරණය කර ඇතැයි විෂය භාර අමාත්‍යවරයා නිතර කියා සිටී. ඒ අනුව අවශ්‍ය වුව හොත් තරග විභාග පවත්වා, එයින් තෝරාගනු ලබන පිරිසට ජාතික අධ්‍යාපන ආයතනයේ පුහුණුව ද ලබා දී ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට කටයුතු කරන බව ද අධ්‍යාපන ඇමැතිවරයා පෙන්වා දී ඇත. මෙය රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉතා වැදගත් පියවරක් බව කිව යුතුය. ගුරු පුරප්පාඩු පවතින්නේ නම්, අධ්‍යාපනයේ ඉලක්ක සපුරා ගත නොහැකිය. එලෙසම ගුරුවරුන් තෘප්තිමත් සේවාවක නිරත නොවන්නේ නම් එවිට ද අධ්‍යාපනයේ ඉලක්ක ජය ගත නොහැකිය.

කොවිඩ් ලෝක වසංගතය නිසා ලෝක අධ්‍යාපනය වසර දෙකකින් ආපස්සට ගිය බවද ඒ මත ශිෂ්‍ය ප්‍රජාව බිලියන ගණනක් අපේක්ෂා භංගත්වයට පත් වූ බවද ප්‍රසිද්ධ කාරණයකි. ඇතැම් බලවත් රාජ්‍යයන් පවා තවම අධ්‍යාපනය යථාවත් කර ගැනීමේ සටනක නිරතව සිටී. ශ්‍රී ලංකාව දුප්පත් රටක් සේ සලකන්නේ වුව කොවිඩ් වසංගතය නිසා අධ්‍යාපනය බිඳ වැටීමකට ඉඩ දී නැත. විෂයමාලා සම්පූර්ණ කරමින් ද විභාග පවත්වමින් ද අධ්‍යාපනය යථාවත් කිරීමට රජය පියවර ගෙන ඇත. ගුරු වැටුප් සම්බන්ධයෙන් පැවති බලවත් ගැටලුවක් නිරාකරණය කිරීමට ද රජය සමත් විය. ඒ කොවිඩ් වසංගතය උපරිමයෙන් පැවති කාලයකදීය.

අපේ ජාතික අධ්‍යාපනයේ ඉතිහාසය ගත හොත් දීර්ඝ කාලයක් එය වරප්‍රසාද ලත් පන්තියේ දායාදයක් ලෙස පැවති බව තේරුම් ගත හැකිය. වැඩවසම් යුගයේ අධ්‍යාපනය ප්‍රභූ පන්තියට පමණක් හිමි විය. යටත් විජිත යුගයේදී එය රාජ්‍ය පාක්ෂිකභාවය මත තීන්දු විය. අපට හිමි අධ්‍යාපනයේ මාවත පෑදෙන්නේ නිදහසින් පසුවය. නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීමත් සමඟ අධ්‍යාපනය පොදු ජනයාගේ උරුමයක් බවට පත් විය. නිදහස් අධ්‍යාපනයත් සමඟ රටේ සමාජ පෙරැළියක් ඇති වූ බව පිළිගත යුතු කාරණයකි. එලෙසම ඉතිහාසය නැවත විමසන විට පෙනී යන්නේ ප්‍රභූ පන්තියේ බහුතරය නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිවලට විරුද්ධ වී ඇති බවය.

අද අප මුහුණ දෙන ප්‍රධාන ගැටලුව වන්නේ නිදහස් අධ්‍යාපනය පවත්වාගෙන යෑමය. නිදහස් අධ්‍යාපනයට අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම සෑම ආණ්ඩුවක්ම මුහුණ දෙන අභියෝගයකි. ලෝක අධ්‍යාපනයට සමගාමීව ජාතික අධ්‍යාපන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේදී වසරින් වසර ඊට අවශ්‍ය ප්‍රතිපාදනවල ප්‍රමාණය ඉහළ යයි. එහෙත් කිසිදු ආණ්ඩුවක් අධ්‍යාපන ප්‍රතිපාදන කපා හැරීමට පියවර ගෙන නැත. දේශපාලනික වශයෙන් කෙරෙන විවේචන පැවැතිය ද සෑම ආණ්ඩුවක්ම පාහේ අඩු-වැඩි වශයෙන් අධ්‍යාපනයේ උන්නතියට ක්‍රියා කර ඇත. එය රටට හිමි වාසනාවන්ත තත්ත්වයක් බව පෙන්වා දිය යුතුය.

‘දැනුම ප්‍රාග්ධනය වේ’ යනුවෙන් ප්‍රචලිත කියමනක් තිබේ. එය මේ වන විට තරමක් පරණ කියමනක් වුව එහි අර්ථය හරියටම හරිය. ලෝකය ජය ගත හැක්කේ දැනුම ඔස්සේය. ඉන්දියාව පරිගණක ක්ෂේත්‍රය ඔස්සේ වසරකට උපයන විදේශ විනිමය ප්‍රමාණය අපට සිතා ගැනීමට බැරි තරම් ඉහළය. ශ්‍රී ලංකාව පරිගණක අධ්‍යාපනය සම්බන්ධයෙන් උනන්දු වන්නේ දීර්ඝ කාලයක සිටය. එහෙත් එහි සතුටුදායක ප්‍රතිඵල තවම අප වෙත ලැබී නැත. මේ තත්ත්වයන් පිළිබඳ පුළුල් විමර්ශනයකට අප යා යුතුය.

නව අදහස දක්වන්න