පුතාට ගැසුවැයි උරණ වූ තාත්තෙක් හත් හැවිරිදි දරුවකුගේ බෙල්ලෙන් අල්ලා පාසල් ඉදිරිපිට දී ම පහර දීලා | දිනමිණ

පුතාට ගැසුවැයි උරණ වූ තාත්තෙක් හත් හැවිරිදි දරුවකුගේ බෙල්ලෙන් අල්ලා පාසල් ඉදිරිපිට දී ම පහර දීලා

පාසල නිමවී නිවසට යමින් සිටි හත් හැවිරිදි දරුවකුගේ බෙල්ලෙන් අල්ලා රෝහල්ගත වන්නට පහර දුන් පුද්ගලයකු ඊයේ (04) අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි. පහරකෑමෙන් රෝහල්ගත කර ඇත්තේ වාද්දුව, පොතුපිටිය පනාපිටිය පාරේ පදිංචි බී. එච්. චමුතු භාග්‍ය නමැති හත් හැවිරිදි දරුවෙකු බව පොලිසිය කියයි.

පහරදී සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු ද වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරුගේ පුතා පොතුපිටිය මහා විද්‍යාලයේ 3 වසරේ ඉගෙනුම අතර, පාසල නිමවී රැගෙන යාමට පැමිණ සිට ඇත. පුතා පැමිණ තමාට මිතුරෙකු පහර දුන් බව දැනුම් දීමෙන් පසු උරණ වූ සැකකරු පාසලේ ප්‍රධාන දොරටුව අසල දී විශාල පිරිසක් බලා සිටියදී "උඹ මොකද නෙතුම්ට හැමදාම ගහන්නේ" යනුවෙන් පවසා බෙල්ලෙන් අල්ලා කමිස කොලරයෙන් ඇද වම් කම්මුලට පහරවල් දෙකක් එල්ල කළ බව පහරකෑමට ලක්වූ දරුවා පැවසූ බව ඔහුගේ මව පැවසුවා ය.

පහරකෑමෙන් චමුතු භාග්‍ය දරුවා බිම ඇද වැටී ඇති අතර, ත්‍රිරෝද රථයකින් කළුතර ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් තිබේ. ඔහු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. අවට සිටි පුද්ගලයෙකුගෙන් 119 හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත රථවාහන අංශ නිලධාරීන් පැමිණ සැකකරු පාසලට පැමිණි මෝටර් රථයත් සමඟින් ම පොලිස් භාරයට ගත් බව පොලිසිය කීය. සැකකරු පාණදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද්‍ර කුමාර මහතාගේ උපදෙස් පරිදි කාන්තා සහ ළමා කාර්යාංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මදුමාලිගේ ප්‍රධානත්වයෙන් කොස්තාපල්වරුන් වන ටී. ඊ. ඩී. මධුසංඛ (70470) සහ ධනංජය (103496) නිලධාරීහූ පරීක්ෂණ පවත්වති.

පොතුපිටිය සුමිත් ප්‍රේමතිලක

නව අදහස දක්වන්න