පේරාදෙණි ශාස්ත්‍ර පීඨාධිපතිට සිසුන්ගෙන් මරණ තර්ජන | දිනමිණ

පේරාදෙණි ශාස්ත්‍ර පීඨාධිපතිට සිසුන්ගෙන් මරණ තර්ජන

අසේල කුරුළුවංශ

ජනපති ගෙදර යැවුව අපිට ‘ඩීන්’ කජ්ජක් ද?
- මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිත් පීඨාධිපතිට තර්ජනය කරලා

විශ්වවිද්‍යලයේ සියලු සිසුන්ගේ අධ්‍යාපන අයිතිය රැක දීමට කටයුතු කරමින් සිටින අවස්ථාවක දේශපාලන පක්ෂවල අතකොළු වුණු අවස්ථාවාදී පාදඩ නරුම ශිෂ්‍යයන් පිරිසකගෙන් තමන්ට මරණීය තර්ජන එල්ල වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා මාධ්‍යයට ඊයේ (04) පැවසීය.

හත්වන විධායක ජනපතිවරයා ගෙදර යැව්ව අපිට ඩීන් කජ්ජක්ද කියා මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා තමන්ට තර්ජනය කළ බව ද ඒ මහතා කීය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ නවකවදයට පක්ෂ සිසු පිරිසක් නීති අධ්‍යයන අංශයේ සිසු පිරිසකට එම පීඨයේ ගෙම්බා ආපණශාලාවේදී පහර දීමේ සිද්ධිය මුල් කර ගනිමින් මේ වන විට ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධව මාධ්‍යයට අදහස් දක්වමින් ඒකනායක මහතා මේ බව ප්‍රකාශ කළේය.

නවකවදය අනුමත නොකරන සිසුන්ට දිගින් දිගටම සිදු කරන පහරදීම් නතර කිරීමට ශිෂ්‍ය සංගම් කටයුතු නොකිරීම නිසා ශාස්ත්‍ර පීඨය මේ වන විට වසා දමා තිබෙන බව ද ඒ මහතා කීය. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රඥප්තියෙන් පවා අධ්‍යාපනය ලැබීම පිළිගත් අයිතියක් ලෙස තහවුරු කර තිබියදී එය තුරන් කිරීම සඳහා යම්කිසි අධිපතිවාදී මත දරන ශිෂ්‍ය කණ්ඩායමක් සෑම විශ්වවිද්‍යාලයකම ක්‍රියාත්මක වන බවත් මෙහි ඉදිරියෙන්ම සිටින්නේ ශිෂ්‍ය සංගමවල නියෝජිතයන් බවත් පීඨාධිපතිවරයා පැවසුවේය.

සමාජයට අනුගත කරන්න, උප සංස්කෘතියට හුරු කරන්න යැයි කියමින් සෑම විශ්වවිද්‍යාලයකම නවක සිසුන්ට හිරිහැර කරන ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් මෙන්ම ඊට විරුද්ධ සිසු පිරිසක් ද සිටින බවත් නවකවදයට පක්ෂ පිරිස වෙතින් නිරන්තරව ඊට එරෙහි පිරිස ශාරීරික හා මානසික වශයෙන් පීඩාවට පත් වන බවත් ඒකනායක මහතා අවධාරණය කළේය. නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ මත අධ්‍යාපනය ලැබ විශ්වවිද්‍යාලවලට පැමිණ සිටින සියලු දරුවන්ට විශ්වවිද්‍යාලය තුළදී එක හා සමාන අයිතිවාසිකම් තිබිය යුතු වුවත් නවකවදයට පක්ෂ සිසු කණ්ඩායම් විසින් අනෙක් සිසුන්ට විශ්වවිද්‍යාලයේ පොදු ස්ථාන පරිහරණය කිරීමට ඉඩ නොදී අධිපතිවාදී මත දරන බවත් ඒ මහතා කීය. සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ආචාර්යවරුන්ට, පීඨාධිපතිවරුන්ට මෙන්ම උපකුලපතිවරයාට ද පරුෂ වචනයෙන් බැණ වැදුණු බවත් මෙවැනි බරපතළ ඛේදනීය තත්ත්වයකට විශ්වවිද්‍යාල පත්ව තිබීම කනගාටුවට කරුණක් බවත් ආචාර්යවරයා පැවසුවේය.

වදකයන්ගේ භූමිකාවෙන් මිදී ශිෂ්‍ය භූමිකාවට පැමිණෙන ලෙස තමන් සිසුන්ට දැනුම් දෙන බව ද ඒ මහතා කීවේය. වදකයන්ගෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය මුදා ගැනීමට සාමාන්‍ය නීතිය හා අධිකරණ පද්ධතිය සමඟ එකතු වෙලා මේ සම්බන්ධව තදබල ක්‍රියාමාර්ග ගැනීමට තමන් සූදානම් බවත් විශ්වවිද්‍යාල බලධාරීන්ගෙන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් හා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවශ්‍ය සහාය දෙන ලෙස ඉල්ලා සිටින බවත් ඒකනායක මහතා පැවසුවේය.

 

නව අදහස දක්වන්න