2023 පුනරාවර්තන වියදම රු. බිලියන 4,634ක් | දිනමිණ

2023 පුනරාවර්තන වියදම රු. බිලියන 4,634ක්

මහින්ද අලුත්ගෙදර

මූලධන වියදම රු. බිලියන 3,245ක්

2023 වර්ෂය සඳහා මුළු පුනරාවර්තන වියදම රුපියල් බිලියන 4,634ක් වශයෙන් හා මුළු මූලධන වියදම රුපියල් බිලියන 3,245ක් වශයෙන් රජය විසින් ඇස්තමේන්තුගත කර තිබේ.

ඒ අනුව 2023 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර ඉන් අනතුරුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට පෙරේදා (03) අනුමැතිය හිමිව ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (04) පෙරවරුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා පෙන්වා දුන්නේ මේ වසර අවසන් වීමට පෙර එළැඹෙන 2023 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුව තිබෙන බවත් එම විසර්ජන පනත් කෙටුම්පත සකස් කොට එක් එක් ආයතන සඳහා මූලධන වියදම් සහ පුනරාවර්තන වියදම් බෙදා වෙන්කොට එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙන බවත්ය.

ඒ අනුව 2023 වර්ෂය සඳහා රජයේ පුනරාවර්තන වියදම රුපියල් බිලියන 4,634ක් වන අතර ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 3,245ක් වන බව කී ඒ මහතා ඒ අනුව 2023 වසරේදී ඇස්තමේන්තු ගත කොට තිබෙන මුළු රාජ්‍ය වියදම රුපියල් බිලියන 7,879ක් බව ද 2023 වසරේ අයවැය යෝජනා අනුව කුමන ආකාරයේ බදු ගැළපීම් කළ ද පුනරාවර්තන වියදමින් අඩක් පමණ බදු හා බදු නොවන ආකාරයෙන් උපයා ගැනීමට හැකිවනු ඇතැයි පෙන්වා දුන්නේය.

ඒ අනුව රුපියල් බිලියන 2500ක් පමණ වනු ඇති අතර එදිනෙදා වියදම් දැරිය නොහැකි මට්ටමක තිබෙන බව ද මෙය සමස්ත ජනතාව විසින් පිළිගත යුතු කරුණ බව ද කී ජනමාධ්‍ය ඇමැතිවරයා රාජ්‍ය සේවක වැටුප් ගෙවීම්, ණය සහ පොලී වාරික ගෙවීම්, සමෘද්ධි ඇතුළු සහනාධාර ගෙවීම් වැනි වියදම් දැරීම සඳහා ප්‍රමාණවත් ආදායමක් ලංකා රජයකට ඉතිහාසය පුරාම නොතිබූ බවද සිහිපත් කළේය.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උපදේශක ආචාර්ය මොහාන් සමරනායක, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න