අඩු ආදායම්ලාභීන්ට බරක් නොවන අයුරින් ආදායම් උපයා ගැනීමේ ක්‍රමවේද සකස් කළ යුතුයි | දිනමිණ

අඩු ආදායම්ලාභීන්ට බරක් නොවන අයුරින් ආදායම් උපයා ගැනීමේ ක්‍රමවේද සකස් කළ යුතුයි

ස්වර්ණා විජේකෝන්
නුවන් කොඩිකාර
සන්ධ්‍යා කරුණාරත්න
මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය

ආර්ථිකය දුර්වල තත්ත්වයක තිබියදී විදේශ ආයෝජන ගෙන ඒමට පියවර ගත යුතුයි
- රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ

විදේශිකයන්ට බදු සහන දීමට යෑම ගැටලු සහගතයි
- මන්ත්‍රී කබීර් හෂීම්

ණය පොලී වැඩි වුණාම සුළු හා මධ්‍යම ව්‍යාපාර කරන්නේ කෙසේද?
- මන්ත්‍රී විජිත හේරත්

ෆේස්බුක් එකේ පොටෝ එකක් දැම්ම නම් ඇති අරගෙන යනවා 
- මන්ත්‍රී රාසමාණික්‍යම්

අඩු ආදායම්ලාභීන්ට බරක් නොවන අයුරින් ගෙවීම් කළ හැකි අයට ගෙවිය හැකි පරිදි ආදායම් උපයා ගැනීමේ ක්‍රමවේද සකස් කළ යුතු බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04) පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (04) රැස්විය. නිවේදන, ලිපි ලේඛන, පෙත්සම් වාර්තා ඉදිරිපත් කිරීමෙන් පසුව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් ඇසූ ප්‍රශ්නවලට ඇමැතිවරු පිළිතුරු ලබා දුන්හ.

රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

ආදායම උපයන්නාට කිසිම මොහොතක හොඳක් අහන්න නොලැබෙනවා. වියදම් කළ හැකි තැනට ආදායම ඉපයිය හැකි මට්ටමට මෙරට ගෙන ඒමට සියලු දෙනාගේම ශක්තිය ලබා දෙන්න ලෙස ඉල්ලා සිටිනවා.

රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් අඩක් ගෙවනව කියලා සමාජ මාධ්‍යවල ප්‍රචාරයක් ගියා. එය සම්පූර්ණයෙන්ම වැරැදියි. මේ රටේ සමෘද්ධිලාභී පවුල්, සමෘද්ධි ඉල්ලන අය ඉන්නවා. පවුල් ලක්ෂ 68ක් අතරින්, පවුල් ලක්ෂ 30කට වැඩි ප්‍රමාණයක් යැපුම් මට්ටමෙන් පහළ ඉඳගෙන ආධාර බලාපොරොත්තු වෙනවා. හැබැයි රාජ්‍ය සේවකයා කියන නිශ්චිත වැටුපකට කොටුවුණ පුද්ගලයත්, ඒ පවුලත් ආහාර උද්ධමනය ඇති වෙන කොට විශාල පීඩනයක තමයි ඉන්නේ. අප කිසිම වේලාවක මෙවැනි දෙයක් කල්පනා කරන්නේ හෝ සැලසුම් කරන්නේ නැහැ. ඒ ගැන කතා කරලවත් නැහැ. රුපියල් බිලියන 93ක් වැටුප් සඳහා වැය කරනවා. විශ්‍රාම වැටුප් සඳහා බිලියන 26ක් වැය කරනවා. සමස්ත වැටපු හා විශ්‍රාම වැටුප්වලට බිලියන 119ක් වැය කරනවා. වාර්ෂිකව බැලුවොත් බිලයන 1428ක්. 2021 ආදායම බිලියන1460යි. ආදායමට සමාන ප්‍රමාණයක් වැටුප් හා විශ්‍රාම වැටුප් සඳහා ගෙවනවා. එහෙත් කොයි මොහොතකවත් රාජ්‍ය සේවක වැටුප් කපා හැරීමක් ගැන සැකයක් ඇති කර ගන්න එපා. රාජ්‍ය සේවක වැටුප් කියන එක මෙරට පුනරාවර්තන වියදම්වල අත්‍යවශ්‍ය දෙයක් විදියට රජය හඳුනාගෙන තිබෙනවා.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා (ස.ජ.බ.)- විදේශිකයන්ට බදු සහන දීමට යෑම ගැටලු සහගතයි. එහෙම දීලා කර ගන්න බැරි වෙනකොට ඇඳිවත පවා විකුණන්න හදනවා. එහෙම කරලා හරියන්‌නේ නැහැනේ. ක්‍රමෝපාය සංවර්ධන පනත විධිමත්ව ඉදිරිපත් කළේ නැහැ. මේක යටතේ ව්‍යාපෘති 14 ක් තියෙනවා කියනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට මමවත් ඒ ව්‍යාපෘති මොනවාද කියලා දන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශක කියලා එකක් ගෙනත් තිබෙනවා.

පත්කළ මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා (ශ්‍රී.ලං.පොජ.පෙ.)- ලෝකයේ පහසුවෙන් ව්‍යාපාර කළ හැකි නිර්ණායක තුළ රටවල් 190 ක් පමණ සිටිනවා. අපි සිටින්‌නේ 100 වැනි ස්ථානයේ. සිංගප්පූරුව අංක එකේ. ඉන්දියාව සිටි ස්ථානයෙන් ඉහළට ඇවිත් සිටිනවා. ලෝකය තුළ අපට දිගු ගමනක් යෑමට තිබෙනවා. ආගම, කුලය, භාෂාව සියලු දේ අපි පටලවාගෙන සිටින්‌නේ.

පත්කළ මන්ත්‍රී විජිත හේරත් මහතා (ජා.ජ.බ.)- රටේ ව්‍යාපාර කිරීම සඳහා ක්‍රම හා විධි යෝජනා කරන්න කියලා ඔබතුමාලා කියනවා. ණය පොලී වැඩි වුණාම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ව්‍යාපාර කරන්නේ කෙසේද? ආයෝජන වැඩි කිරීමට නම් දේශපාලන ස්ථාවරත්වයක් ඇති කළ යුතුයි. චීනය සමඟ වෙළෙඳ ගිවිසුමක් අත්සන් කරන්න යනවා.

ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා (ශ්‍රී.ලං.පොජ.පෙ.)- මීට මාස දෙක තුනකට පෙර දැවැන්ත ආර්ථික ප්‍රශ්න රැසකට ජනතාවට මුහුණ‌ දෙන්න වුණා. ඒ අනුව දේශපාලන පරිවර්තනයක් ද සිදු වුණා. නැවත රට ප්‍රකෘතිමත් වන අවස්ථාවක් මේ. එදා බැනුම් අසමින් ආණ්ඩුව පැත්තේ වාඩි වන විට ජනතාවට තිබූ පීඩනයෙන් කිසියම් කොටසක් හෝ අවම කරන්න හැකි වෙලා තිබෙනවා. ගෑස් මිල හෙට අනිද්දා වන විට අඩු වෙනවා. ජනතාවට සහන දෙන ක්‍රමවේදයන් ක්‍රමානුකූලව මේ වන විට ආරම්භ කර තිබෙනවා. ප්‍රවාහන විදයම් අඩු වන විට, ගෑස් මිල අඩු වන විට ක්‍රමානුකූලව මෙරට බඩු මිල අඩු කළ හැකියි.

පත්කළ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා (ස.ජ.බ.)- රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට කටයුතු කළ යුතුයි. උද්ඝෝෂණ අභිමුඛව අපේ රට තිබෙනවා. දෛනික ආදායම උපයා ගත නොහැකි ලක්ෂ ගණන් ජනතාවක් රට තුළ සිටිනවා. රැකියා සුරක්ෂිතතාව ගැටලුවක් වී තිබෙනවා. මේ ගැටලු ආණ්ඩුව ගණන් නොගන්නා තත්ත්වයක් තමයි අපට පේන්නේ. මේ පනතෙන් ජනතාවට තිබෙන සහන මොනවාද? බදු ලැබීමෙන් තමයි රට සුරක්ෂිත කළ හැක්කේ. මුදල් ඇමැතිවරු මුහුණ බලලා සහන දෙන ක්‍රමයක් තිබුණා.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ඉසුරු දොඩන්ගොඩ මහතා (ශ්‍රී.ලං.පොජ.පෙ.)- ආනයන සීමා පනවනවා වගේම ඉවත් කරනවා කියා අපි දකිනවා. මෙය කරද්දි නිෂ්පාදකයන් සමඟ සාකච්ඡා කරලා එය සිදු කරනව නම් හොඳයි. ඒ වගේම අපට නිෂ්පාදනය කළ හැකි දේ නිෂ්පාදනය නොකිරීම නිසයි මේ ප්‍රශ්න පැන නැඟී තිබෙන්නේ. එම නිසා අපේ නිෂ්පාදන අපනයනය කරන්න අවශ්‍ය පහසුකම් ලබා දී වැඩි ආදායමක් උපයාගත යුතු යැයි මම යෝජනා කරනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා (ස.ජ.බ.)- ආණ්ඩුව වෙනුවෙන් කතා කරපු මන්ත්‍රීවරයා කියනවා ඇති වී තිබෙන අර්බුදයෙන් ගොඩයන්න සියලු දෙනාගේම සහය දෙන්න කියලා. හැබැයි ඒ මන්ත්‍රීවරයා දන්නේ නැහැ ඒ අර්බුදය ඇති කළේ එතුමන්ලගේ ආණ්ඩුවෙන් කියලා. තෙල් අර්බුදයක් ආවා. ඒක අඩු කරන්න කිව් ආර් ක්‍රමයක් හඳුන්වා දුන්නා. පෝලිම නැති වුණා. රැකියා කරන අයට තෙල් නැති වුණා. නමුත් දේශපාලනඥයන් සහ නිලධාරීන් ඉන් හොඳටම ගහනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා (ශ්‍රී.ලං.පොජ.පෙ.)- ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ සමාගම්වලට බදු සහන දෙන එක හොඳයි. එතකොට අපිට ආයෝජන ලැබෙනවා. එහෙත් මෙම සමාගම්වල ස්ථිර සේවකයෝ නැහැ. මෑන් පවර් සේවකයෝ ඉන්නේ. එතකොට ඔවුන්ට බොහෝ වරප්‍රසාද දෙන්න අවශ්‍ය නැහැ. එම නිසා අපි ඉල්ලනවා සේවකයෝ ලෙස ස්ථිරව ගන්න කියලා.

මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී රාසමාණික්‍යම් මහතා (දෙ.ජා.ස.)- ආයෝජනය ඇති කරලා ආදායම් උපයනවට වඩා අද කරන්නේ අරගලයට සම්බන්ධ වුණ තරුණ තරුණියන් හොය හොයා අත්අඩංගුවට ගන්න එක. ෆෙස්බුක් එකේ පොටෝ එකක් දැම්ම නම් ඇති අරගෙන යනවා. හැබැයි හිතනව නම් එහෙම කරල අරගලය නතර කරන්න එය ආණ්ඩුව වරද්ද ගත්ත තැනක්.

සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය ඇමැති අනූප පස්කුවල් මහතා (ශ්‍රී.ලං.පොජ.පෙ.)- අපි වැඩිහිටි දිනයේදී රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දුන්නා. සමහර රක්ෂණ දෙන්නේ අවුරුදු 60 වෙනකම් විතරයි. එහෙත් එය අපි අසූව දක්වා වැඩි කරමින් රක්ෂණයක් ඇති කළා. එය දීප ව්‍යාප්තවම ක්‍රියාත්මක වෙනවා. අපේ අමාත්‍යාංශය යටතේ ලංකාව වටා ජපන් පන්ති ආරම්භ කරනවා. ඒ මඟින් සමෘද්ධිලාභී සහ අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් ජපන් රැකියා සඳහා යොමු කරනවා. එම පන්ති පැවැත් වීමට ජපන් භාෂාව දන්න ගුරුවරු අපිට අවශ්‍යයි.

කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාරති දුෂ්මන්ත මහතා (ශ්‍රී.ලං.පොජ.පෙ.)- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අපගේ කිසිවෙක් කෝප්, කෝපා කමිටුවලට පත්කර නැහැ. එය නිවැරදි කරන ලෙස කථානායකවරයගෙන් ඉල්ලා සිටිනවා. අපගේ ආදායම් වැඩි කළ හැකි ආයතන ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි. රේගුව, දේශිය ආදායම්, සුරාබදු වැනි ආයතනවලට තාක්ෂණය සම්බන්ධ කළ යුතුයි. ඒ ආයතනවලින් මොන තරම් ආදායමක් රටට අහිමි වෙනවද?

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා මුලසුනට පැමිණියේය.

පරිසර ඇමැති නසීර් අහමඩ් මහතා (ශ්‍රී.ලං.පොජ.පෙ.)- උපාය මාර්ග එළිදක්වන්නේ දැක්මක් ඇතිවයි. දැක්මක් වෙනුවෙන් නායකත්වයක් තිබිය යුතුයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවැරදි උපාය මාර්ගයක් ඇතිව ගමන් කරන බව පේනවා. ඒ නිසයි අපට පෙට්‍රල් අඩුවන ආකාරය, ගෑස් මිල අඩුවන ආකාරය දකින්නට ලැබෙන්නේ. ගොවියාට අවශ්‍ය පොහොර ටික ලබා දෙනවා.

උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති සුරේන් රාඝවන් මහතා (ශ්‍රී.ලං.පොජ.පෙ.)- ආර්ථිකය ශක්තිමත් වීමට නම් ස්ථාවර රාජ්‍යයක් ස්ථාපිත විය යුතුයි. ශක්තිමත් ආර්ථිකයක් වෙනුවෙන් ශක්තිමත් ආණ්ඩුවක් පැවැතිය යුතුයි. ඒ නිසා අපි ශක්තිමත් ආණ්ඩුවක් බව ලෝකයට පෙන්විය යුතුයි. ඒ වගේම දැන්වත් අපි බෙදි වෙන් වී කටයුතු කිරීම මොන තරම් ගැළපෙනවාද?

මහින්දානන්ද අලුත්ගමගේ මහතා (ශ්‍රී.ලං.පොජ.පෙ.)- රටේ පවතින අර්බුද නිසා ජනතාව තුළ විශාල පීඩනයක් ඇති වුණා. මේ හේතුවෙන් රට තුළ විවිධ කනගාටුදායක දේවල් ඇති වුණා. රාජ්‍ය ආදායම සියයට 15 දක්වාවත් වර්ධනය කළ යුතුයි. ලෝකයේ වෙනත් රටවල මේක සියයට 20, 21 දක්වා යනවා. විදේශ විනිමය ඉහළ නංවා ගැනීමට විදේශ ප්‍රේෂණයන් ගෙන්වා ගත යුතුයි. එය වළකාලන උන්ඩියල් වැනි ක්‍රම නැවැත්විය යුතුයි. පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා නීති අණ පනත් ක්‍රියාත්මක කරනුයේ රටේ නිලධාරීන්. 2017 ආදායම් බදු මිලියන 599 යි.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මුලසුනට පැමිණියේය.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා (ශ්‍රී.ලං.පොජ.පෙ.)- ආදායම් අහිමි කළා. ඒ විතරක් නොවෙයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහත්මයා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගෙන්වලා කිව්වා ඔවුන්ගේ ආයතනවලින් එළියට බහින්න එපා තියෙන වැඩ විතරක් කරගෙන ඉන්න කියලා. එහෙම කියල ඒ නිලධාරින්ගේ කොන්ද කැඩුවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයට ගෙදර යන්න එයත් බලපෑවා.

මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා (ශ්‍රී.ලං.පොජ.පෙ.)- මෙරට ආර්ථිකය දුර්වල තත්ත්වයක තිබියදී විදේශ ආයෝජන ගෙන ඒමට පියවර ගත යුතුයි. මේ බදු සහන ලබාදීම සිදු කරන්නේ ඒ නිසයි. ආයෝජනවලින් ඩොලර් බිලියනයක් සංචාකර ව්‍යාපාර ඩොලර් බිලියන 4ක් විදියට ආදායම ලබා ගත හැකියි. මේ ආදායම් ලබා ගත හැකි නම් අපට ආර්ථික අර්බුදයක් නැහැ. සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 4 ක් ඉතිහාසයේ ලැබුණා. වර්තමානයේ එය ලැබෙන්‌නේ නැහැ. විදෙස් ගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් බිලියන 7 ක් ලැබෙන්න තිබුණා.

ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය, නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි සම්මත විය.

 

පාර්ලිමේන්තුව අද (05) උදෑසන 9.30 ට නැවත රැස් වේ.

නව අදහස දක්වන්න