වසත් සුළඟ | දිනමිණ

වසත් සුළඟ

මේ මොහොත

ඔබ නික්ම යෑමට පෙර මේ මොහොතේදී
මට කිව හැක්කේ කුමක්ද?
ගිම්හානයේ පැහැදුල් ලා පැහැයන් මැකී යමිනි
ඔබේ සම මත වැටුණු හිරු එළිය
වියැකෙමින් තිබුණත්
තවමත් මගේ මුවට උණුසුම්ව දැනේ

පත්‍රවල පැහැයන්
තද පැහැයට හැරෙද්දීම
ශාරදය නම් පිල් මාරු කරන්නා
වනයේ කෙළවර කල්මරමින් සිටී
අප දෙපා පාමුලින්ම
ලෝකය නිවෘත්තියෙන් නිවෘත්තියට
ගමන් කරමින් ඇති බව
මට දැනේ

ආලෝකය එක්ක සම්බන්ධ වීම
සෙවනැලි හැඳිනීමක
පූර්වකල්පනයක් බව
රොත්කෝ කියා ඇත
ඔහු අදහස් කළේ
අප දෙදෙන
ගිම්හානය පුරාවටම
මේ මොහොත එනතුරු බලා සිටීමද?

Linda Pastan
පරිවර්තනය
හෙල්මලී ගුණතිලක


ආදරේ වර්ග දෙකක්

ඔයා ඇවිත් නැවැත්තුවා කා‍ර් එක
ඔෆිස් එකට පා‍රෙන් අනිත් පැත්තෙ
මම බලා හිටියා තත්පරයක්
ඔයා ඇහුවා “ඇයි” කියලා
“මුකුත් නෑ” කියලා හාද්දක් දීලා බැහැලා යද්දි ‍
පොඩි හිනාවක් ආව හිතට

අප්පච්චියි ‍වෙනදට බස්සන්නෙ
කා‍ර් එක හරවන් ඇවිත්
නවත්තන්නෙ ඔෆිස් එක ගාවම
මට පාර පනින්න නැති ‍වෙන්න

තරහ ගි‍යෙ, දුක හිතු‍ණෙ නෑ මට
දන්නවා ආදරේ අඩුවක් නැති බව ‍ඔයාගෙ
“කොරෝනා නිසා එපා බස්වල යන්න”
.
කියලා ඒකයි ආවෙ තකහනියක්
මාව ඇරලවලා යන්න
හවසත් “එනකම් ඉන්න” කිව්වෙ ආදරේට

ඒ අප්පච්චිලගෙ හැටි
මේ මහත්තුරුන්ගෙ හැටි
දෙවිදිහක් වුණත් ආදරෙමයි දෙගොල්ලන්ගෙම
ඔයා මගෙන් දැක්කෙ කැම්පස් කෙල්ලෙක්,
පස්සෙ හිත හයිය ගෑනියෙක්, අම්මෙක්,
ඒත්,
අප්පච්චිට,
තාම රෝස ‍රෙද්දක ඔතා‍ගෙන
ඉස්පිරිතාලෙන් ගෙනා
පොඩි කෙල්ලමයි මම තවම

මාව අනිත් පැත්තේ බැස්සුවට
කවද හරි
අපේ කෙල්ල ක්ලාස් එක්ක යද්දි
ඔයත් බස්සාවි ඒ පැත්තෙම
පාර පනින්න නැති ‍වෙන්න
රස්තියාදු බඹරුන්ගෙ ඇස්වලට
පේන්නෙ නැති වෙන්න

පවිත්‍රා අභයවර්ධන


මාද වසන්තයක්ම නොවේ

සුළඟෙ වියවුලෙට ඇඳෙන හැඩයට
වැටී නොවැටී හැම දෙසට
විසිවෙන වියළි තුරුපත්
අද්භූත කලබලයක ඇස්
එහෙ මෙහෙට දුවවයි

හිටි ගමන් සැඩවෙන ගෝරනාඬුවට
'හෝ' ගා කැරකැවෙන තුරු මුදුන්
ගුප්ත හඬ
සවන් පුරවයි

කෝපයෙන් ගිගුම් දෙන අහස් කුස
ඇස් මානයක
අසිනි එළි දල්වන ඇසිල්ලට
හිත සැලෙයි
හිරිගඬු පිපෙයි
වැඩී එන ළා අඳුර නුහුරු සුසුම් දනවයි
වසන්තයෙ අරුමැසිය
පෙරදිනක මැව් තැනම
මේ කුමන මොහොතක්ද
සියොතුන් ද වේගයෙන් පලා යයි

අනෝරා වැහි ඇද
හැලෙන්නට කලියෙනි
මේ

බුරා ඇද හැළුණු පසු උදාවන
ඒ නිහඬ නිෂ්ක්‍රීය ජුගුප්සා හැඟීමට පෙරාතුව
පලා යා නොහැකි ලෙස
නුඹ සමඟ ගතවූ
තවත් එක් මොහොතක
මතකයකි මේ

වසන්තෙට වැසී ගිය
ගොරහැඩි කර්කෂය
දැනෙන්නට විඳින්නට
මා මනස පහන් කළ
මොහොතක මතකයකි මේ

රවිඳු මාතරආරච්චි


රෑ බදුලු වත

දහවල නොපෙනෙන
කොළ රොඩු මතින ගුලිවෙන
වංගු ඇතිව ගමන් යනෙන
විදුලි එළිය රෑ විහිදන

ඝන කළු පැහැ ගන්වන
යහළු යෙහෙළි ඇස නොගැටෙන
රෑ අඳුරට ඇලුම් කරන
විදුලි එළිය රෑ දල්වන

මිණි කැටයකි අඳුරෙහි බබළන
සිඟිති ළමෝ සිත සනසන
කණාමැදිරි රහස් මුමුණන
බිලක් නැතිව විදුලි බෙදන

ජේ.එච්. සමන් අතුල කුමාර


පහන

ඔබ
පහන නැති කරගෙන
ඔබටම තෙල් දමා
පාංකඩයකින්
තිරයක් අඹරගෙන
දල්වාගත හැකි
පහන එය ඔබට හිමි
දුර්වලයි තමයි එළිය
ලාවට ඇදෙයි හෙවණැල්ල
ඔබ වටා ඇති සුදු බිත්ති මත
ඒත් ඒ ආලෝකය
ඔබමයි
දැන් ඔබ විදුලි බුබුලක් යට
කොහේ හෝ සිට පැමිණෙන
ධාරිතාවයකින්
පාලනය වන
ඔබ පහන නැති කරගෙන

සුසන්ත මූණමල්පේ


තවදුරටත් නැති හෙයින්

ඔබ තවදුරටත් නැති හෙයින්
ඔබ හදවත තනිව උසුලාගෙන ඇවිදිමි

මිහිරියව අපූරුවූ උදෑසන කාලවල
කෙටියෙන් හුවමාරු වුණු
වචන කිහිපයක් විය,
''හැමදෙයක්ම හොඳින්ද?''
පැහැදිලි ගැඹුරු දෑසක
අපැහැදිලි වචන කිසිවක් නැත.

දැන් තනිව තද ග්‍රීස්ම කාලක
කඳු හිසක් බලා යමි,
සියුම් පිණි බිදු - පා ඇඟිලි තුඩු මත
සෙමෙන් එල්ලෙන අයුරු පෙනුණත්
මොන මොනාදො අසන අයුරු ඇසුණත්
නෑසූ කන් ඇතිව උනුනුත්
දරාගෙන ඇවිදිමි

ඒ සැන්දෑ වරුවට,
ඔබ සෙමෙන් ලකලැහැස්ති වුණු අයුරු පෙනුණත්
ඉතිං මට කරන්න 'මේකයි' යමක්
ඉතිරිව තිබුණේ නැති මුත්,
''මොකක් හරි හොඳක් තියෙනවද?''
නොපැහැදිලි වචනෙන්
පැහැදිලිව අසමි.

කිහිපයක් වරු පසු කළ පසු
උත්තුංග ගිරි හිසට ආමි,
ඔබට යා යුතුව තිබු
දෑතින්ම අතැරූ පසු-ඒ සිනිඳු අළු මිට
ඔබ නිදහසෙ මිදෙනයුරු දැක සැනසෙමි

කාර්‍යබාරයේ හමාර මොහොත ළඟ
ඔබ තවදුරටත් නැති බර දරමි!

හෂාන් අබේගුණරත්න


සෘතු

ඒ තෙතබරිත දවස් ගැන මතකය
අපුල ම සිතට ගෙන එන
ගැඩවිල් පස් පවා
යටිපතුල්වල ඇලවෙන
තෙත තුරුපතක සීතල
සර්පයෙකු සේ දැවටෙන

හො‍ටු දියර ගලන
නාස් පුඩු සුරු සුරු ගාන
ඉස්කාෆ් මෆ්ලර්
නැතුවම බැරිවෙන

ඔබ මවෙත ගැන්නෙන්න හදන ඇසිල්ලෙත්
ඇඟිලි තුඩු සීතල පවා
හිරිකිතට දැනෙන

මේ ඉඩෝරය

මැරුණු තුරුපත් හළා
පොළොව නිරුවත් කරන
තබන පියවර ගානෙත්
වියළි සර සරය නංවන

සළු මුදා හළ අහස
සඳ ද නිරුවත් කරන හැන්දෑව

ඇය ඇවිත්
පඬු ගැහුණු තණ පලස මත
උඩුහුරුව
වැතිර
මේ දැන්ම
සර්පයන් සේ
වෙළෙන්නට

මයිලපත් සමනල්ලු
සුජීව සිරිමෙවන් සන්ථව ප්‍රකාශන

නව අදහස දක්වන්න