දරුවන් ගැන සිතමු! | දිනමිණ

දරුවන් ගැන සිතමු!

දරුවන් උදෙසා ක්‍රියාත්මක වන ව්‍යාපෘතියකට කිසිවකු විරුද්ධ වන්නේ නැත. දරුවා රටේ අනාගතය බවද ඔහු වෙනුවෙන් යොදන ප්‍රතිපාදනය හැමවිටම ආයෝජනයක් වන බවද සියල්ලෝම පිළිගනිති. දරුවන් උදෙසා ක්‍රියාත්මක වන වැඩ සටහන් සඳහා පක්ෂ - විපක්ෂ භේදයක් තිබිය යුතු නැත. ධනවත් - දුප්පත් භේදයක්ද පවතින්නේ නැත. දරුවන්ට හොඳම දේ දිය යුතුය යන සමාජවාදී පාඨය සියලු පාර්ශ්ව එකට ඒකරාශි වී හඬ නඟති.

දරුවන් උදෙසා ලබාදිය හැකි වටිනාම සම්පත අධ්‍යාපනය යැයි කවුරුත් පිළිගනිති. ශ්‍රී ලංකාව නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියක් අනුගමනය කරන රාජ්‍යයක් බැවින් අධ්‍යාපන පහසුකම් සේම දරුවාගේ වෙනත් අවශ්‍යතාද සොයා බැලීමට රජය බැඳ‍ී සිටී.

රටේ පාසල් පද්ධතියට අයත් මුළු ශිෂ්‍ය ප්‍රජාව ප්‍රමාණයෙන් ලක්ෂ හතළිස් හතරකට ආසන්න ය. මෙකී පිරිස සමාජ-ආර්ථික අතින් පත් කළ කණ්ඩායම් කිහිපයකට අයත් වෙති. එක කණ්ඩායමක් රටේ සුපිරි ධනපති පන්තිය නියෝජනය කරයි. තව කණ්ඩායමක් ඉහළ මධ්‍යම පන්තිය නියෝජනය කරයි. තවත් කණ්ඩායමක් පහළ මධ්‍යම පන්තිය නියෝජනය කරයි.

මේ අතරට එකතු වන සුවිශේෂී ශිෂ්‍ය කණ්ඩායම වන්නේ අන්ත දිළිඳු පවුල්වලට අයත් ශිෂ්‍ය ප්‍රජාවය. නිදහස් අධ්‍යාපනය තහවුරු වීමත් සමඟ රටේ දිළිඳුම ජන කණ්ඩායම්වලටත් අධ්‍යාපනයේ අවස්ථා හිමිවිය. කන්නන්ගර මහතා එය හැඳින්වූයේ දුප්පතුන්ගේ නැඟී සිටීමක් හැටියටය.

අපේ රටේ ශිෂ්‍ය ප්‍රජාව වරප්‍රසාද ගණනාවක් භුක්ති විඳිති. නොමිලේ පෙළපොත්, නොමිලේ ඇඳුම් හා නොමිලේ ආහාර පාන වශයෙන්ය. මේ සෑම ප්‍රදානයක් සඳහාම රජය වාර්ෂිකව විශාල මුදලක් වැය කරයි. ඒ සඳහා වැය වන මුදල වාර්ෂිකව ඉහළ යන බව ද සත්‍යයකි. සමස්ත ශිෂ්‍ය ප්‍රජාව දෙස බලන විට සියලු කණ්ඩායම්වලට සහනාධාර අවශ්‍ය නැත. අගනුවර උසස් පාසල්වල ශිෂ්‍ය ප්‍රජාවෙන් බහුතරයකට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සම්පත් තිබේ. ඔවුහු තමන්ගේම සැප වාහනවලින් පාසලට පැමිණෙති. අවශ්‍ය පමණටත් වඩා ආහාර බුදිමින් අධ්‍යාපනයෙහි නිරත වෙති. රජයේ සහන ප්‍රතික්ෂේප කරන පිරිසක් ද ඒ අතර සිටිති. ගැටලුව ඇත්තේ ඒ අය ගැන නොවේ. දෛනිකව ආහාර වේල් තුන සපයා ගත නොහැකි පිරිසක් ද අප අතර සිටිති.

බහුජන දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන මෑතක සිට ළමා මන්දපෝෂණය, ආහාර සුරක්ෂිතතාව හා බඩගින්න ගැන වැඩියෙන් කතා කරන්නට පටන්ගෙන තිබේ. ඒවා වෙතින් නිකුත් වන නිවේදන හා සංඛ්‍යා දත්ත ඇතැම්විට අප විස්මයට පත් කරවන සුලුය.

උදෑසන රැස්වීමේදී දරුවන් ක්ලාන්තය නිසා ඇද වැටෙන බව සමහරු කියති. ඊට හේතුව හාමතයයි. දරුවන් බුද්ධ පූජාව කන බවටද, කුරුම්බා මද දිවා ආහාරය සඳහා රැගෙන එන බවටද, ප්‍රවෘත්ති පළවී තිබේ. මේවායෙහි අතිශයෝක්තියක් තිබිය හැකි වුව දරුවන්ගෙන් සැලකිය යුතු පිරිසකට ප්‍රමාණවත් ආහාර නොලැබෙන බව පිළිගත හැකි කාරණයකි. අප බලවත් ආර්ථික අර්බුදයකට ද ආහාර හිඟයකටද මුහුණ දී ඇති බව පිළිගැනීමට සිදුවේ.

පාසල් දරුවන් උදෙසා නොමිලේ දිවා ආහාරය සැපයීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේ කාලයක සිටය. ඇතැම් පාසල්වල එම වැඩසටහන විධිමත් ලෙස ක්‍රියාත්මක වෙයි. තවත් පාසල්වල එය අවිධිමත්ය. එහෙත් මෑතක සිට අධ්‍යාපන අමාත්‍යාංශයේ දැඩි අවධානය ආහාර වැඩසටහන කෙරෙහි යොමු වී ඇත. එහි අලුත්ම පියවර වන්නේ දරුවන්ගේ දිවා ආහාරය සඳහා තවත් රුපියල් කෝටි හාරසියයක් වෙන් කිරීමය. මේ වන විට පාසල් දරුවන්ගේ දිවා ආහාරය සඳහා වැය කරන සමස්ත මුදල රුපියල් කෝටි අටසියයකට වඩා වැඩිය. මෙයින් ප්‍රතිලාභ ලබන ශිෂ්‍ය ප්‍රජාවේ ප්‍රමාණය මිලියන දෙකයි දශම එකයි හයක් ලෙස සටහන් වී ඇත. එය ශිෂ්‍ය ප්‍රජාවේ ප්‍රතිශතයක් ලෙස ගතහොත් 51%කි.

රාජ්‍ය ආදායම හීන වී රාජ්‍ය වියදම් වැඩි වන පසුබිමක වුව අධ්‍යාපනයේ සහන කපා හැරීමට ආණ්ඩුව පියවර ගත්තේ නැත. මේ ආණ්ඩුව පමණක් නොව පැවැති ආණ්ඩු පවා අධ්‍යාපන සහන කපා හැරියේ නැත. වත්මන් ජනාධිපතිවරයා දරුවන්ගේ අධ්‍යාපනය ගැනත් තරුණ පරපුර සතුවිය යුතු නූතන දැනුම ගැනත් නිතර කතා කරයි. අධ්‍යාපනය ගැන අවධානය යොමු කරන අය දරුවන්ගේ සෞඛ්‍ය ගැන ද සොයා බැලිය යුතුය.

මේ අතින් ඉතා වැදගත් තීරණයක් වත්මන් ආණ්ඩුව ගෙන තිබේ. ජාතික ආහාර ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීම සඳහා කමිටුවක් පත් කිරීමටය. ඉදිරියේදී ආහාර සුරක්ෂිතතාව ගැන වගකීම එම කමිටුව වෙත පැවැරෙනු ඇත.

අතීත ශ්‍රී ලංකාව යනු ආහාර ගබඩාවකි. පෙරදිග ධාන්‍යාගාරය ලෙස අපේ රට හැඳින්විණි. මන්දපෝෂණය රට තුළ පැතිර යන්නේ නම්, ඒ සම්පත්වල හිඟයක් නිසා නොව ප්‍රතිපත්ති හා වැඩසටහන්වල වැරැද්දක් නිසා ඇති වන තත්ත්වයක් බව පිළිගත යුතුය.

නව අදහස දක්වන්න