එක්ලක්ෂ හැටපන්දහස ඉල්ලුවාම අතින් පයින් පොලුවලින් පහරදී මරා දාලා | දිනමිණ

එක්ලක්ෂ හැටපන්දහස ඉල්ලුවාම අතින් පයින් පොලුවලින් පහරදී මරා දාලා

කොස්මෝදර පොලිස් බල ප්‍රදේශයේ කොස්මෝදර ඉලුක්පිටිය ප්‍රදේශයේ දී අතින් පයින් සහ පොලු වලින් පහරදී 36 හැවිරිදි පුද්ගලයකු ඝාතනය කිරීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළුව සැකකරුවන් හතර දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පසුගිය 04 වැනිදා මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මොරවක මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ගිහාන් දුමින්ද බස්නායක මහතා නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කොටපොල කොස්මෝදර වෙලේකුඹුරහේන පදිංචි 35 හැවිරිදි බඹරැන්ද ලියනගේ අජිත් කුමාර හෙවත් කළු අජිත්, කොස්මෝදර වේවැල්වල ඉලුක්පිටිය පාසල අසල පදිංචි 42 හැවිරිදි කොරවගේ ප්‍රදීප්, කොස්මෝදර ඉලුක්පිටිය පදිංචි 36 හැවිරිදි පල්ලෙවෑවලගේ තරංග ඩයස් සහ කොස්මෝදර වේවැල්වල පදිංචි 32 හැවිරිදි හෙට්ටිගේ ප්‍රියන්ත යන අය වලුන්ය.

පැමිණිල්ල වෙනුවෙන් කොස්මෝදර පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක විජිතානන්ද මහතාගේ උපදෙස් මත කොස්තාපල් 84448 මානගේ මහතා අධිකරණයට කරුණු දැක්වීය. කොටපොල,කොස්මෝදර, අරඹකඩේ ලිපිනයේ පදිංචිව සිටී 36 හැවිරිදි කොරවගේ දනුෂ්ක ප්‍රියශාන්ත යන අයට 2022.08.15 දින ඉලුක්පිටිය, තුන්බැවුලහේන ප්‍රදේශයේ තේ වත්තක දලු මඬුවක් අසල දී අතින් පයින් සහ පොලු වලින් පහරදී ඝාතනය කිරීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු තවත් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඝාතනය සම්බන්ධයෙන් පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් පෙට්‍රෝලියම් ආයතනයේ රැකියාවක් ලබාදෙන බවට පවසා දනුෂ්ක ප්‍රියශාන්තගෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබාගෙන ඇති බවටත් රැකියාව ලබා නොදීම නිසා ලබාදුන් මුදල නැවැත ඉල්ලා සිටී අවස්ථාවේ එයින් රුපියල් තිස්පන්දහසක මුදලක් නැවැත සැකකරුට ලබාදී ඇති බවත් ඉතිරි රුපියල් එක්ලක්ෂ හැටපන්දහසක මුදල අවස්ථා ගණනාවකදීම ඉල්ලා සිටියත් නොලැබුණු බවත් ඝාතනයට පෙරදින රාත්‍රි ඉලුක්පිටිය ප්‍රදේශයේ පැවැති පිංකම් නිවසකට දනුෂ්ක පැමිණ සිටී අවස්ථාවේදී මුදල් ඉල්ලා ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදු වූ බවට ප්‍රධාන සැකකරු ප්‍රකාශ කළේය.

දනුෂ්ක ප්‍රියශාන්ත යන අය සමඟි බහින් බස් වීමෙන් අනතුරුව එම නිවසින් ඔහු පිටත්ව යන අවස්ථාවේ අල්ලාගෙන පහරදී ත්‍රිරෝද රථයක දමාගෙන තුන්බැවුලහේන ප්‍රදේශයේ ඇති පාළු දලු මඬුව අසලට රැගෙන ගොස් අතින් පයින් සහ පොලු වලින් පහරදී ඝාතනය කළ බවටත් ඔහු අත තිබූ ජංගම දුරකතනය ඌරුබොක්ක ප්‍රදේශයේ වැවකට වීසිකර දැමූ බවට වැඩි දුරටත් ප්‍රධාන සැකකරු කියා සිටියාය.ප්‍රධාන සැකකරුට මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට ආධාර අනුබල දීම හා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම යන චෝදනා යටතේ සෙසු සැකකරුවන් තුන්දෙනා අධිකරණයට ඉදිරිපත් කළේය.මෙම ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර සැකපිට කොස්මෝදර ප්‍රදේශයේම පදිංචි පුද්ගලයන් දෙදෙනකු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටිනවා. මනුෂ්‍ය ඝාතනය සඳහා යොදාගත් ප්‍රධාන සැකකරුගේ ත්‍රිරෝද රථය ද අධිකරණයට ඉදිරිපත් කරන බවටත් ඝාතනය සම්බන්ධයෙන් තව දුරටත් පරික්ෂණ සිදු කරන බවට වැඩිදුරටත් කරුණු දැක්වීය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කරන සිටින සැකකරුවන් දෙදෙනකු මීට පෙර කොස්මෝදර ප්‍රදේශයේ සිදු වූ මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන් චෝදනා ලබා සාක්ෂි නොමැතිව එම නඩු වලින් නිදහස් වූ අය බවටත්, මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවකුගේ බිරිය කොටපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුත්තව ග්‍රාම නිලධාරිවරියකු ලෙස සේවය කරන බවට විමර්ශන වලදී අනාවරණය වූ බවට පොලිසිය පැවැසීය.

ඌරුබොක්ක විශේෂ - ඒ.පී.දයාචන්ද්‍ර

නව අදහස දක්වන්න