තායිලන්තයේ පෙර පාසලකට වෙඩි ප්‍රහාරයක් | දිනමිණ

තායිලන්තයේ පෙර පාසලකට වෙඩි ප්‍රහාරයක්

  • දරුවන් විසිදෙනකු ඇතුළු 40ක් මරුට
  • සැකකරු හිටපු පොලිස් නිලධාරියෙක්

තායිලන්තයේ ඊසාන දිගින් පිහිටි නොංබූ ලාම්පූ පළාතේ පෙර පාසලක සිදු වූ වෙඩි තැබීමකින් දරුවන් ඇතුළු පුද්ගලයන් 40කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පෙර පාසලක් මෙන්ම දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ලෙසත් පවත්වාගෙන ගිය මේ ස්ථානයේ මියගිය පිරිස අතුරින් දරුවන් 20 දෙනකුට වඩා සිටින බවත්, ඔවුන් අතර අවුරුදු 2ක් තරම් වයසැති කුඩා දරුවන්ද සිටින බවත් වැඩිදුරටත් වාර්තා වේ. තුවක්කුවක් සහ පිහියක් අතැතිව පෙර පාසලට කඩා වැදුණු පුද්ගලයකු විසින් මේ ජන සංහාරය සිදු කර ඇති අතර, දරුවන්ට වෙඩි තබමින් ද, පිහියෙන් අනිමින්ද උන්මත්තකයකු ලෙස හැසිරුණු එම පුද්ගලයා තායි පොලිසියේ හිටපු නිලධාරියකු බව පසුව අනාවරණය වී තිබේ. වෙඩි ප්‍රහාරයෙන් පසු පලා යමින් සිටි සැකකරු පසුපස සන්නද්ධ පොලිස් නිලධාරීන් හඹා ගොස් ඇති අතර, පසුව ඔහු වෙඩි තබා ගෙන සිය දිවි හානි කරගත් බව තායිලන්ත පොලිසිය සඳහන් කළේය. ඔහු පෙර පාසලට පැමිණීමට පෙර ඔහුගේම දරුවා සහ බිරිය ද ඝාතනය කර ඇතැයි තායිලන්තයේ ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි. අදාළ සැකකරු පන්යා කම්රාබ් ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු පසුගිය වසරේදී මත්ද්‍රව්‍ය චෝදනාවක් මත පොලිස් සේවයෙන් ඉවත් කළ පුද්ගලයකු බවත් වාර්තා වේ. සමූහ වෙඩි තැබීම් දුර්ලභ රටක් වන තායිලන්තයේ ඊයේ සිදු වූ මේ ඛේදවාචකය එරට ජනතාව කම්පනයට පත් කළ සිදුවීමකි. මේ සිද්ධියෙන් තුවාල ලැබූ පෙර පාසල් දරුවන් ඇතුළු විසිදෙනකු රෝහල්ගත කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නව අදහස දක්වන්න