නවක වදය දෙන්නන්ට අපරාධ නීතිය යටතේ දඬුවම් කළ යුතුයි | දිනමිණ

නවක වදය දෙන්නන්ට අපරාධ නීතිය යටතේ දඬුවම් කළ යුතුයි

ආචාර්ය අනුෂා එදිරිසිංහ ආසියානු අපරාධ වැළැක්වීමේ සංගමයේ උප සභාපතිනී

මේ දිනවල නිරන්තරයෙන් කතා වෙන මාතෘකා අතරට නැවත වරක් සරසවි නවක වදය එක්ව තිබේ. නවක වදය අපේ රටට අලුත් දෙයක් නොවුණත්, එයට නැවතීමේ තිත තබන්නට විශ්වවිද්‍යාල පද්ධතියට නොහැකිව ඇත. බොහෝ දෙනා මේ ගැන පක්ෂ විපක්ෂ මත පළ කරද්දී අප මේ සම්බන්ධයෙන් කතා කරන්නට ආසියානු අපරාධ වැළැක්වීමේ සංගමයේ උප සභාපතිනී ආචාර්ය අනුෂා එදිරිසිංහ මහත්මිය සම්බන්ධ කර ගත්තෙමු.

 ඔන්ලයින් අධ්‍යාපනයෙන් පසු සරසවි විවෘත වීමත් සමඟ නවක වදය යළිත් කරළියට ඇවිත්. එය ඔබ දකින්නේ මොන විදියටද?

නවකවදය කියන දේ මම දකින්නේ කෙනෙක් අකමැති දෙයක් බලෙන් කිරීමක් විදියටයි. ඇත්තටම එහිදී ප්‍රධාන වශයෙන්ම සිදු වෙන්නේ මේ මේ දේ කරන්න කියා බල කිරීමක්. මේ දේවල් කෙනෙක්ට සෘජුවම මානසිකව බලපෑම් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඒක සමහරුන්ගේ අධ්‍යාපනයටත් බලපාන්න පුළුවන්.

 නවක වද පීඩනය කොහොමද සිසුන්ගේ අධ්‍යාපනයට බලපාන්නේ?

ඔන්ලයින් අධ්‍යාපනය නිසා ළමයි අවුරුදු දෙකක්ම ගෙදර ඉඳලයි දැන් විශ්වවිද්‍යාලවලට ඇවිත් ඉන්නේ. එතකොට විශ්වවිද්‍යාල සම්බන්ධ දැනුම ගොඩක් අඩුයි. සරසවි සිසුවකුගේ පළමු වසර කියන්නේ තීරණාත්මක වසර. දරුවො උපාධියක් තෝරා ගන්නේ පළමු වසර ප්‍රතිඵලවලින්. පළමු වාරය මේවට ගත කළා කියන්නේ දෙවැනි වාරයත් මේ දේවල්වලට ගන්නවා කියන එක. එහෙම ඒ කාලය මේ නවක වද සංසිද්ධීන්වලට ගත කරන්නට වුණොත් දරුවන්ට තමන් සරසවියකට ඇතුළු වීමේ ප්‍රතිඵලය නිසි ලෙස නෙළා ගැනීමේ හැකියාව ගිලිහී යනවා. උදාහරණයකට කොරියන් භාෂාව ඉගෙනගන්න හිතාගෙන කැම්පස් එන දරුවකුට මුල් අධ්‍යයන කාල සීමාව නවක වදයට හිර කර ගැනීම නිසා මාසයක් දෙකක් ගිලිහී ගියොත් ඔවුන්ට ඒ විෂය අල්ලා ගැනීම අපහසු වෙනවා. එය දරුවන් අනාගතයේ කරන්නට යන විශේෂ උපාධියට බලපෑමක් එල්ල කරනවා. භාෂා උපාධියක් කරන්නට එන දරුවන්ගේ මුල් අඩිතාලම දමන්නේ පළමු මාස තුනේදි. ඒ කියන්නේ පළමු සෙමෙස්තරයේදී. මේක දෙවැනි සෙමෙස්තරයටත් ගියොත් විශේෂ උපාධියකට ලියාපදිංචි වීමේ අවස්ථාව දරුවන්ට මගහැරෙනවා. කෙනෙක් අකමැති දෙයක් කරන්නට බල කිරීම, බලෙන් රඳවා තබා ගැනීම ශිෂ්‍ය අධ්‍යාපනයට කරන්නේ බරපතළ හානියක්. ළමුන් විනාඩි 5ක් 10ක් දේශනයක් මගහැරලා මේවාට සම්බන්ධ වුණත් ඒක ළමයාගේ අධ්‍යාපනය පැත්තෙන් ලොකු හානියක්. වසර 4ක සරසවි කාලය නවක වදය නිසා මොහොතක් හරි මිස් වුණොත් ඒකෙන් විශේෂ උපාධියක් ගන්න සිටි කෙනා සාමාන්‍ය උපාධියක් ගෙන සරසවියෙන් පිටවන තැනට පත් කරන්න වුණත් පුළුවන්.

 හැබැයි ඇතැමුන් නවක වදය හෙළා දකිද්දී ඇතැමුන් සාධාරණීකරණය කරනවා?

මම පෞද්ගලිකව නවක වදය කියන දේට සම්පූර්ණයෙන්ම එකඟ නෑ. කෙනෙක්ගෙ නිදහසට බාධා කරන්න කාටවත් අයිතියක් නෑ. නිදහස් අධ්‍යාපනයක් නම් නිදහසේ අධ්‍යාපනය ලබන්න පුළුවන් වෙන්න ඕනෑ. ශ්‍රී ලංකාවේ තියෙන්නෙ නොමිලයේ අධ්‍යාපනයක් මිසක් නිදහස් අධ්‍යාපනයක් නෙවෙයි. සමහර ළමුන් කැමැත්තෙන් මේවාට යනවා. අත්දැකීම් ගන්න යනවා කියනවා. ඒත් සමහරු යන්නේ ඒකට බයෙන්. වචනයක් කතා කරන්න, අහන දේවලට මුහුණ දෙන්න බයේ සමහරු යන්නෙ. එහෙම බලෙන් රඳවා ගැනීම, ප්‍රශ්න කිරීම, බල කිරීම නිසා දරුවන්ගේ පැත්තෙන් විශාල හානියක් වෙන්න පුළුවන්. මේ දේවල් සම්පූර්ණයෙන්ම නවත්වන්න අපහසුයි. ඒත් වළක්වා ගන්න හැකියාව තියෙනවා. මෙහිදී වැළැක්වීම, නිවාරණය සහ ළමුන් සවිබල ගැන්වීමයි වැදගත්. දරුවො දිගින් දිගටම සවිබල ගැන්වෙනවා නම් මේවාට විරුද්ධව කතා කරනවා. තමන්ට බැරි නම් බෑ කියලා කියනවා. සමහරු බයට මේවට යනවා. තාරුණ්‍යයේ කාටත් දේශපාලන මතයක් තියෙන්න පුළුවන්. ඒ මතයම අනෙකාත් දැරිය යුතුයි කියා කාටවත් බල කරන්න බෑ.

 විශ්වවිද්‍යාල තුළ නවක වදය දීමේ සීමාව මොකක්ද?

නවක වදය කියල දෙයක් විශ්වවිද්‍යාලවල තියෙන්න බෑ. නමුත් ඒ හඳුනාගැනීම් තුළ දරුවන්ගේ නිර්මාණශීලීත්වයට ශක්තියක් වෙනවා නම් ඒකෙ ප්‍රශ්නයක් නෑ. ඒත් මෙතැන වෙන්නෙ සමහර ළමුන්ව දේශනවලට නොයවා හඳුනා ගැනීම් කිරීමයි. එහෙම කරන්න බෑ. සමහර තෙවැනි වසර සිසුන් දෙවැනි වසරෙ අයව රැග් කරනවා. දෙවැනි වසර කියන්නේ අපේ විශේෂම කණ්ඩායම. එසේ සිසුන් මේවාට ගොදුරු කර ගෙන අධ්‍යාපනය කඩාකප්පල් කිරීම කිසිසේත්ම අනුමත කරන්න බෑ.

 කෙනෙක්ව නවක වදයට ලක් කිරීමට හිතන්නේ හීන පෞර්ෂයක් ඇති අය බව ඇතැමුන් කියනවා. මෙය ඔබ දකින්නේ කොහොමද?

ඇත්තටම කෙනෙක්ට කරදරයක්, හානියක් කරන්න හිතෙන්නේ මානසිකව යම් ගැටලුවක් ඇති අයට පමණයි. මමත් ඒ දේ පිළිගන්නවා. කරන ලද පරීක්ෂණවලින් හා විද්වත් සාකච්ඡාවලින් ඒ බව සනාථ වී තිබෙනවා. මේ සම්බන්ධව යුනිසෙෆ් සංවිධානයෙන් කළ නවතම පරීක්ෂණයෙන් ඒ බව ඉතා හොඳින් පැහැදිලි වී තිබෙනවා. ‍මේ බලපෑම් කරනවා, හිංසනය කරනවා කියන කාරණය වාචිකව, මානසිකව හෝ ශාරීරිකව සිදු කෙරෙන්න පුළුවන්. නරක පිංතූර පෙන්වන්න පුළුවන්, නරක විදියට බණින්න පුළුවන්. මේ මොන දේටත් යොමු වෙන බොහෝ දරුවන්ගේ මොනයම් හෝ දුර්වලකමක් තියෙන්න පුළුවන්. මේ නවක වදය කියන දේ ඇතැම් විට ශිෂ්‍ය නියෝජිතයන්ගෙන් වනවාට වඩා ඇතුළට යන්න යන්න වෙනස් වෙන්නෙ ‍ඒ ඒ අයගෙ පෞර්ෂත්වය මත බව මම විශ්වාස කරනවා.

 කෙනකුට සියදිවි නසා ගන්න හේතුවක් වන තරම් නවක වදය සමාජ ගැටලුවක්ද?

එහෙම වෙන්න පුළුවන්. සමහර ළමයින්ගේ පෞර්ෂත්වය වර්ධනය වී තිබෙන්නේ විවිධ විදියට. සමහර දරුවො කැම්පස් ආවට නොමේරු දරුවො. පෞර්ෂත්වය ශක්තිමත්ම දරුවො නෙවෙයිනෙ කැම්පස් එන්නෙ. සමාජ පරිසරය ගැන අවබෝධයක් නැති, සමාජ අත්දැකීම් නැති අය මේවාට ආවාම ඔවැනි ගැටලු ඇති වෙන්න පුළුවන්. අම්මලත් එක්ක උසස් පෙළ පන්ති යන පිරිමි දරුවොත් ඉන්නවනෙ. ඒ අයගෙ සමාජානුයෝජන ක්‍රියාවලිය අපේ කාලයට වඩා ගොඩක් වෙනස්. අද සමාජ ක්‍රමය වෙනස්. ළමයි හදන විදිය වෙනස්. හයියෙන් කතා කළත් දරන්න බැරි අය ඉන්නවා. මානසික උපදේශනවලට පවා යොමු වන අය ඉන්නවා. වියදම දරන්න බැරිව පීඩාවෙන් ඉන්න අයත් ඉන්නවා. ඇතැමුන් නොකා නොබී ඉන්වා. එවැනි සමහර දරුවන්ට කැම්පස් ඇවිත් මේ දේවල්වලටත් මුහුණ දෙන්න ශක්තිය නැති වෙන්න පුළුවන්.

 එසේ නොවෙන්න මොනවගේ පියවරද අරන් තියෙන්නෙ?

සරසවිවල මානසික උපදේශන තියෙනවා. වෛද්‍යවරු ඉන්නවා. ආචාර්ය, මහාචාර්යවරුන්ට ඕනෑම දෙයක් කියන්න පුළුවන්. අපටත් ආචාර්යවරුන් වශයෙන් ලොකු වගකීමක් තියෙනවා එවැනි දරුවන් හඳුනාගෙන ඔවුන්ව ඒවායෙන් මුදවා ගන්න. කොවිඩ් එක්ක ගතවන මේ කාලයේ පීඩනයෙන් ඉන්න දරුවො වැඩියි. අප මේ ගැන හොයා බලා දරුවන්ට අවශ්‍ය මානසික සුවය සලසා දෙනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනිය වන මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මියගේ උපදෙසින් අප තීරණය කළා රාත්‍රියේ නවක සිසුන්ට නේවාසිකාගාර වැඩසටහන් කරන්න. නවක වදය, ගබ්සා, ඔසප් ප්‍රශ්න, ලිංගික හිරිහැර, බලපෑම් ආදී සෑම මාතෘකාවක්ම අප එහිදී සාකච්ඡා කරනවා. දරුවන්ට මානසිකව උදව්වක් වෙන්න, පීඩනය අඩු කරන්න දිගටම වැඩසටහන් කරනවා. ප්‍රශ්නවලට මුහුණ දෙන හැටි අප කියා දෙනවා. මේවා සෑම සරසවියකම තියෙන්න පුළුවන්.

 නායකත්ව පුහුණු පැවැති පසුගිය කාලයේත් මේ වගේම නවක වද සිදුවීම් වාර්තා වුණාද?

නායකත්ව පුහුණුව හොඳයි. මමත් පොලිස් පුහුණුව පවා ගත්තා. ඉන් ඉගෙන ගන්න කෙනාට ඉන් ගත හැකි දේ බොහෝමයි. ධනාත්මක පුරුදු, පෞර්ෂ වර්ධනය ආදියට ඒක බෙහෙවින් බලපෑවා. නමුත් මේ මොන පුහුණුව ගත්තත් ප්‍රායෝගිකව නැවත පෙර තැනටම වැටෙන අය ගැනයි අප අවධානය යොමු කළ යුත්තේ. උදාහරණයක් තමයි මත්ද්‍රව්‍ය භාවිත කරන්නකු පුනරුත්ථාපනය කළත් ඔහු නැවත පැමිණෙන පරිසරයේ තියෙන්නේ ඒ දේම නම් ඉන් මුදවා ගැනීම පහසු නෑ. එකම බොරුව දිගින් දිගටම කිව්වාම ඇත්තක් වෙනවා. මොන පුහුණුවීම් දුන්නත් වැඩක් නෑ ඇතුළට ඇවිත් එකතු වන කණ්ඩායම සහ ඔවුන් දිගින් දිගටම අහන දකින දේටයි ඔවුන් යොමු වෙන්නෙ. ඒ නිසා මේ නවක වදය ලංකාවෙ තියෙන අපරාධ නීතිය වගේම සාමාන්‍ය නීතිය උල්ලංඝනය කිරීමක් විදියටයි මම දකින්නේ.

 විශ්වවිද්‍යාල ඇතුළෙ වැඩියෙන්ම නවක වදය වාර්තා වෙන්නෙ කුමන පීඨවලද?

සෑම පීඨයකම අඩු වැඩි වශයෙන් වාර්තා වෙනවා. මේකට බලපාන්නෙ ලංකාවේ අධ්‍යාපන රටාව. විශේෂයෙන්ම සමාජයීය විද්‍යා පීඨවල, මානව ශාස්ත්‍ර පීඨවල මේවා වැඩියෙන් වෙන්නෙ ඒ රටාව නිසා. කලා අංශයේ මේවා වැඩියි කියා මට කෙළින්ම කියන්න බෑ. වාණිජ අංශයේත් රැග් තියෙනවා. ළමයින්ට නිකරුණේ කාලය ගත කරන්න වැඩි ඉඩක් තියෙද්දි තමයි මේ දේවල් වැඩි. විශ්වවිද්‍යාල පද්ධතියේම වෙනසක් කළොත් ඉදිරියේදී එන දරුවන්වවත් මේවාට යොමු වීමෙන් වළක්වා ගන්න හැකි වේවි. මොකද ඔවුන් ඔන්ලයින් අධ්‍යාපනයේ වැඩි කාලයක් සිටි අය. ඔවුන්ට පොතේ දැනුම මිස ප්‍රායෝගිත දැනුම නෑ. එවිට මේ දේවල් වැඩි වෙන්න පුළුවන්.

 මෙවැනි දේ වාර්තා වූ විට විශ්වවිද්‍යාලවල නීතිය ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද?

මේක ඉතා රහස්‍යයි. කවුරුත් මේ ගැන දැනගන්නේ නෑ. දැන් ළමයින්ට පෞද්ගලිකවම නවක වදය, ලිංගිකත්වය හා ස්ත්‍රී - පුරුෂ සමාජභාවී හිංසනය පිළිබඳ පැමිණිලි කිරීමට ඇති යන්ත්‍රණයක් (web portal) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ තිබෙනවා. ඊට තමන්ගේ පැමිණිල්ල දාන්න පුළුවන්. තමන්ට මුහුණ දෙන්න සිදු වුණු සිදුවීම, එය කළ අය දන්නවා නම් ඒ සියල්ල ඊට ඇතුළත් කරන්න පුළුවන්. ඉන්පසු යූජීසී එක ඉතා රහස්‍ය විදියට ඒ කාරණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙලා සොයා බලනවා. පැමිණිල්ල දාන කෙනා ගැන කිසිම විස්තරයක් පිටට යන්නෙ නෑ. රහස්‍යභාවය උපරිමයෙන් රකිමින් ගැටලුව ඇතුළේම විසඳනවා. පිටට යන්න කිසිම හේතුවක් නෑ. දරුවො රැග් නිසා දරුණු තීරණයක් ගන්න කලින් ඒ දේවල්වලට රහසේම දඬුවම් දෙන ක්‍රමවේදයක් විශ්වවිද්‍යාල ඇතුළේ තියෙන බව පිළිබඳව දැනුම්වත්ව තමන්ගේ ප්‍රශ්නය තනිව දරා ගන්නෙ නැතිව විසඳා ගැනීමට අප කටයුතු යොදා තිබෙනවා.

 අලුතෙන් සරසවිවලට එන අයට දෙන්න තියෙන උපදෙස මොකක්ද?

මම අනෙක් විශ්වවිද්‍යාල ගැන නම් දන්නෙ නෑ. කැලණියෙ නම් අඳින්න නිශ්චිත ඇඳුමක් නෑ. චීත්ත ගවුම් මහගෙන බොරුවට පීඩාවට පත් විය යුතු නෑ. 2014 රැග් සිද්ධිය එන්නෙ ඩෙනිම් කලිසමක් ඇඳන් ආවා කියලා. ඒක තවමත් උසාවියේ තියෙන නඩුවක්. මේවාට කාලය ගත වෙන එක පමණයි වෙන්නෙ. විශ්වවිද්‍යාලයට එන දරුවන්ට හොඳ දැක්මක් තියෙන්න ඕනෑ. කවුරු මොනවා කළත් මගේ අධ්‍යාපනය මම අවසන් කරන්නේ මෙහෙමයි කියා දැක්මක්, අධිෂ්ඨානයක්, දැනුම්වත් වීමක් තිබිය යුතුයි. මිතුරන් එක්ක වැඩ කරමින්, සංගම් එක්ක සිටිමින් තමන්ගේ ඉලක්කය කරා යන්න හැයාව තියෙන්න ඕනෑ. මොකද ඇතුළෙ ඉන්නෙ විවිධාකාර මත දරන අය. ඒ හැම මතයක්ම ඔබ දැරිය යුතු නෑ. නවකවදය පිළිබඳ පනත ගැන අප විශ්වවිද්‍යාල අත්පොතේ සඳහන් කර තිබෙනවා. ඒ පිළිබඳ දැනුම්වත්ව මේක සෙල්ලමක් කර ගන්නෙ නරතිව, නවක වදය අවුරුදු 7ක් හිරේට යන්න බලපාන කරුණක් බව මතක තබාගෙන විශ්වවිද්‍යාලවලට ඇවිත් ඔබේ අනාගතය හරි මාර්ගයට ගන්න කියා දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.

චාමිකා මුණසිංහ

නව අදහස දක්වන්න